தமிழ்
English
Contact
Monday 11th December 2017    
කුලියාපිටිය මධ්‍ය විදුහලේ තවත් ගුරුවරයකුට මැර ප්‍රහාරයක් « Lanka Views | Views of the truth

කුලියාපිටිය මධ්‍ය විදුහලේ තවත් ගුරුවරයකුට මැර ප්‍රහාරයක්



කවියක් ලිවීම හේතුවෙන් ගුරුවරයකුට චෝදනා නගා වෙනත් පාසලකට මාරු කිරීම සම්බන්ධව ආන්දෝලනයට තුඩුදුන්  කුලියාපිටිය මධ්‍ය විදුහලේ ගුරුවරයකුට ඊයේ(15) රාත්‍රි 10.00 ට පමණ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පහර දී ඇති බව වාර්තා වේ.

අප කළ විමසීමකදී මැර ප්‍රහාරයට ලක්වූ ගුරුවරයා වන හර්ෂ දෙමටාවල පැවසුයේ විදුහල්පතිවරයාගේ අත්තනෝමතිකත්වය තමන් විසින් ප්‍රශ්න කිරීම හේතුවෙන් උරණ වී කිසිවකු ලවා මෙම පහර දීම සිදු කළ බවට සාධාරණ සැකයක් තමන්ට පවතින බවත් දැනටමත් මෙම පහර දීම පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් සිදු කර ඇති බවත්ය.

ප්‍රහාරයට ලක් වූ ගුරුවරයා තවදුරටත් පවසන්නේ පසුගිය දිනක තම ඉගෙනුම් කාල සටහන ඉවත් කිරීමෙන් පසු ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී විදුහල්පතිවරයා විසින් පවසා තිබුනේ එය විදුහල්පතිවරයකුට අයිති දෙයක් ඒ නිසා කාල සටහන් ඉවත්කර තමා අතිරික්ත ගුරුවරයෙක් බවට පත්කළ බවය.

මේ වන විට පහර කෑමට ලක්වූ ගුරුවරයා කුලියාපිටිය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

මැර ප්‍රහාරයට ලක්වූ හර්ෂ දෙමටාවල ගුරුවරයා අදහස් දක්වමින්.

මෙවැනි සිදුවීම් ගණනාවක් නිසා චෝදනාවට ලක්ව සිටින මෙම විදුහල්පතිවරයා මින් පෙර යූ.ජී. අනුර සුමිත් සහ කුෂාන් ශාලික යන ගුරුවරුන්ද වෙනත් පාසල් වලට පලිගැනීම් ලෙස මාරු කර යවා තිබුනේ ඔහුගේ අත්තනෝමතික තීරණ ප්‍රශ්න කිරීම් හමුවේ ඇතිකරගත් පෞද්ගලික කෝන්තර හේතුවෙන් බව එම ගුරුවරුන් චෝදනා කරයි.

මීට අමතරව මෙම පාසලේ ගුරුවරුන් අවස්ථා ගණනාවකදීම මානසිකව හිරිහැර කිරීම් වලට මුහුණ දී ඇති බවත් අවස්ථා කිහිපයකදී ඒ සම්බන්ධව පොලිසියට පැමිණිලි කිරීමට ද එම ගුරුවරුන් ක්‍රියා කර ඇති බවත් පැවසේ.

අදාළ විදුහල්පතිවරයා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් සමඟ පවතින කිට්ටු සම්බන්ධතාවයක් මත මෙලෙස රාජ්‍ය නීති රීති හා අමාත්‍යංශ ධූරාවලින් අතික්‍රමණය කරමින් අත්තනෝමතිකව ක්‍රියා කරන බවට ගුරුවරු පවසති.

දිවයිනේ අනෙකුත් විදුහල්පතිවරුන්ට නොමැති විශාල වරප්‍රසාද ප්‍රමාණයක් මෙම විදුහල්පතිවරයා භුක්තිවිදින බවත්, හමුදාවේ නිලයක් සහිත මොහු විසින් කුලියාපිටිය මධ්‍ය විදුහල මිලිටරිකරණය කරමින් ඊට එරෙහිවන සියළු දෙනාගෙන් පලිගැනීම පුරුද්දක්ව ඇති බවත් එම පාසලේ ගුරුවරුන් විසින් චෝදනා කර සිටී.

අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛවලට පටහැනිව මෙම විදුහල්පතිවරයාගේ පාවිච්චිය සඳහා පෙජරෝ වර්ගයේ ජීප් රථයක් ලබා දී ඇති බවට ද වාර්තා වේ.

2016 වසරේදී පාසලේ ඉගෙනුම ලැබූ සිසුවකු මෙම විදුහල්පතිවරයාගේ මැදිහත්වීමෙන් අත්තනෝමතික ලෙස ඉවත්කිරීමට අදාලව එම සිසුවා විසින් මානව හිමකම් කොමිසමට කරන ලද පැමිණිලි කිරීමෙන් අනතුරුව කොමිසම දින 3ක් තුළ විදුහල්පතිවරයා විසින් ඉටුකළ යුතු බවට ලබා දුන් තීන්දු පවා ඔහු විසින් ප්‍රතික්ෂේපකර තිබුනේ මානව හිමිකම් කොමිසමද මඟහරිමිනි.

පසුව එම සිදුවීම පිළිබඳ ප්‍රචාරය වීමත් සමඟ අදාළ සිසුවා පාසලට නැවත භාර ගැනීමට පියවර ගෙන තිබුණි. ප්‍රාදේශීය දේශපාලන වෛරයක් මත සිදු වී තිබෙන අදාළ සිදුවීමට ද අමාත්‍යවරයා සෘජුවම සම්බන්ධ බවට එම පාසලේ ගුරුවරු චෝදනා කරයි.

 

අත්තොනෝමතික ලෙස පාසැලෙන් ඉවත්කරන ලද සිසුවා සම්බන්ධව පළවූ ප්‍රවෘත්තියක්.