Posted on 12.10.2017 by Madanayaka in ක්‍රීඩා පුවත් with 0 Comments
අද දින ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ධර්මසාලාහිදී පැවැති ප්‍රථම එක් දින තරගයෙන් කඩුළු 07ක ජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
මුලින්ම කාසියේ වාසිය ලබා ගත් ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා ඉන්දීය කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරධනා කළේය. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ කාර්යය ඉතා මැනවින් ඉටු කළ අතර විශේෂයෙන් සුරංග ලක්මාල්ගේ පන්දු හමුවේ ඉන්දීය පිතිකරුවන් අන්දමන්ද වන තත්වයක් දක්නට තිබුනි.
කෙසේ වෙතත් ඉන්දීය පළමු පිතිකරුවන් 05 දෙනා මුළු ලකුණු 16ට දවා ගැනීමට හැකිවීමෙන් ඉන්දීය ඉනිම අඩාල කිරීමේ හැකියාව ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලබා ගත්තේය.
අවසානයේ ඉන්දීය පිතිකරුවන්ට යම් අස්වැසිල්ලක් ලබා ගැනීමට හැකිවූයේ මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 65 ලබා ගැනීමත් හේතුවෙනි. ඉන්දීය ඉනිම පන්දුවාර 38 පන්දු දෙකකට සීමා කිරීමටත් ඒ සදහා ලකුණු 112ක් පමණක් ලබාදීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් සමත්විය.
පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුළු 04ක්ද ප්‍රදීප් කඩුළු දෙකක්ද සෙසු පන්දු යවන්නන් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් සිය ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 113ක් ලබා ගැනීමේදී කඩුළු තුණක් දැවී ගියේය. ධනුෂ්ක ගුණතිලකට ලබා ගැනීමට හැකි වූයේ එක් ලකුණක් පමණි. උපුල් තරංග ලකුණු 49ක් රැස්කළ අතර ළහිරු තිරිමාන්න ලකුණු නොලබා දැවීගියේය. ඉන් පසු ඇංජලෝ මැතිවුස් ලකුණු 25 ක්ද නිරොෂන් දික්වැල්ල ලකුණු 26ක්ද ලබා ගනිමින් සිය ඉලක්කය වූ ලකුණු113 ලබා ගැනීමට සමත්විය.