අපායේ ඉන්ටවල් එකෙන් පසු
Posted on 08.20.2015 by Sampath in විශේෂාංග with 0 Comments
අපායට ගිය මිනිහෙක් ගැන කතාවක් තියෙනවා. (මේක කතාවක් විතරයි. අපාය-දිව්‍ය ලෝකය පිළිගන්නවද වගේ ප‍්‍රශ්න අහන්න එපා) මිනිහෙක් අපායට ගියාම එයාට දෙන විශේෂ වරප‍්‍රසාදයක් විදියට තමන්ට කැමති දඬුවමක් තෝරා ගන්න අවස්ථාව දුන්නා. මිනිහා අපාය වටේ ඇවිදලා බැලූවා. තියෙන්නේ බොහොම දරුණු දඬුවම්. කටු ඉඹුලේ යාම, ලෝදිය බීම, කියත්වලින් අත් පා කැපීම වගේ ඒවා. ඒ අතර එක තැනක මිනිස්සු ටිකක් අසූචි වලක බැහැගෙන හිනා වෙවී, විහිළු කතා කිය කිය, සිගරට් බිබී ඉන්නවා දැක්කා. මේ දඬුවම ලේසි එකක් කියලා හිතපු අර මිනිහා තමන්ට ඒක දෙන්න කියලා ඉල්ලූවා. යමපල්ලො මිනිහව අරන් ගිහින් අසූචි වළට දැම්මා. වැඩි වෙලාවක් ඉන්න ලැබුණේ නෑ. ”ඉන්ටවල් ඉවරයි, ආපහු ඔළුවෙන් හිට ගනිල්ලා” කියලා කියනවා ඇහුණා.
දැන් මැතිවරණය ඉවරයි. අපායේ ඉන්ටවල් එක ඉවරයි. පහුගිය කාලෙම තිබුණේ ජනතාවට ඉන්ටවල්. ලේසි නෑ, මාස හත අටක් ඉන්ටවල්. ජනාධිපතිවරණෙට ලෑස්ති වෙන හින්දා පහුගිය ඔක්තෝබර්වල අයවැය ඉදිරිපත් කරන වෙලාවේ ඉඳලා මහින්ද රාජපක්ෂට ජනතාව ගැන තිබුණේ පුදුම ආදරයක්. සුදුවෑන් නැවතුනා. උද්ඝෝෂණවලට පහරදීම අඩු වුණා. ජනතාවට පොඩි පොඩි සහන ලැබුණා. ඊට පස්සේ ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් වුණා. ඒ කාලයේ හැම දෙනාගෙම ආදරය දෝරෙ ගියා. ජනාධිපතිවරණයෙන් පස්සේ දින 100 තාවකාලික ආණ්ඩුව ආවා. දින 100 කිව්වට ඒක දින 200ක්ම ගියා. ඒ දින 200 හැමදෙනාම වැඩ කළේ මහ මැතිවරණය ඔළුවේ තියාගෙන හින්දා ජනතාවට සනීප තත්වයක් තිබුණා. ඉස්සරහට වෙන දේවල සලකුණු, සංඥා, පෙරමඟ ලකුණු පහළ උනාට පොදුවේ ගත්තම දැවැන්ත මර්දනයක් හෝ බර පැටවීමක් ක‍්‍රියාත්මක වුණේ නෑ. ඊට පස්සේ මහ මැතිවරණ ප‍්‍රචාරක කාලය. ඒකෙදි නම් ඉතින් ජනතාව ගැන ආදරය ප‍්‍රකාශ කිරීම හිසරදයක් තරමට වර්ධනය වුණා. දැන් ඒ සොඳුරු වසන්තය ඉවරයි. මෙතැනින් පසු කාලයක් යන තුරු කුමන හෝ පාලක කණ්ඩායමක බලය තහවුරු වෙනවා. ආයෙ ජනතාව ගැන මතක් වෙන්නේ ඊළඟ මැතිවරණයට. කෙටියෙන්ම කියනවා නම් 18 වැනිදා දවල් වෙන කොට ඇහෙන සද්දය මේකයි.
”ඉන්ටවල් ඉවරයි. දැන් ආපහු අසූචි ගොඬේ ඔළුවෙන් හිටගනිල්ලා”
රිබෙල් එන්නේ අසූචි බවට පත් කරන ලද සමාජයකට එරෙහිව. වෙනත් ජනතාවක් පත් කර ගැනීම කියන්නේ අසූචි ගොඬේ ඔළුවෙන් හිට ගැනීම ප‍්‍රතික්ෂේප කරන ජනතාවක් නිර්මාණය කර ගැනීම. ඒක කරන්න නම් අපට අසූචි ගොඩ ගැන නිවැරදි කියවීමක් අවශ්‍ය වෙනවා. ඊට කලින් අපි අසූචි ගොඬේ ඉන්න මිනිස්සු ගැන ටිකක් කතා කරමු. පසුගිය කාලෙ මැතිවරණ උද්යෝගය හැමතැනම පැතිරිලා තිබුණා. මිනිස්සු ගෙවල්වල මැතිවරණ කාර්යාල දැම්මා. කොඩිවැල් ඇද්දා. කැන්වසින් ගියා. අසල්වැසියන් සමඟ දේශපාලනය ගැන වාද විවාද කළා. ගහගත්තා. දේශපාලන උද්යෝගය පිටාර ගියා. ඒත් ඒ තිබුණේ ඇත්ත දේශපාලන උද්යෝගයක්ද? ඉදිරි වසර පහ තුළ තමන්ගෙ ජීවිතේ ඉරණම ගැන තීන්දුව ගන්නද මේ උද්යෝගය තිබුණේ? තමන්ගේ ජීවිතය, එහි ආර්ථික-දේශපාලන-සමාජ-සංස්කෘතික පැති ගැන තීරණය ස්වේච්ඡුාවෙන් ගන්නද ඒ උද්ඝෝෂණය තිබුණේ? එහෙමත් නැත්නම් අපිත් දන්නෙ ගැතිව (අවිඥානිකව) මේ ක‍්‍රමය මෙහෙමම පවත්වාගෙන යන්න අපේ ශ‍්‍රමය වැය කිරීමක්ද වුණේ?
දේශපාලනය කියන්නේ ප‍්‍රශ්නවලට උත්තර හොයන ක‍්‍රමයක්. දේශපාලන උද්යෝගයක් තියෙනවා නම් ප‍්‍රශ්න නැනයි, ඒවාට තිබෙන උත්තර ගැනයි කතා බහක් ඕන. නමුත් මේ මැතිවරණ වේදිකාවල අපේ පන්තියේ මිනිස්සුන්ගේ ජීවිතවල ඇත්ත ප‍්‍රශ්න මොනවත් කතා වෙනවාද? උත්තර පැත්තකින් තියමු. ධනේශ්වර හා සුළු ධනේශ්වර පක්ෂ පිටුපස යන අය තමන්ගේ ප‍්‍රශ්නය මේකයි, මේක විසඳන්න කියලාවත් පීඩනයක් ඒ පක්ෂවලට එල්ල කළාද? සමාජයේ ඇත්ත ප‍්‍රශ්න වටහා ගන්න මුල පිරීමක්වත් කළාද? කනගාටුවෙන් වුණත් උත්තරය විදියට කියන්න තියෙන්නේ ‘නෑ’ කියන එක. මැතිවරණයේදී හැම පක්ෂෙකම ආධාරකරුවො විදියට වැඩ කරපු අපේ රටේ පහළ පාන්තික ජනතාව තමන්ගේ ප‍්‍රශ්නය මුළුමනින්ම අමතක කරලා, කවුරු හරි සිංහාසනාරූඪ කරන්නයි වැඩ කළේ. ඇයි එහෙම වුණේ?
මැතිවරණය ගැන පොත්පත්වල තිබෙන නිර්වචනයයි, ඇත්තටම වෙන දේයි අතර ලොකු වෙනසක් තිබෙනවා. පොත්වල තියෙන විදියට, ජනතාවට මතයක් තියෙනවා, මැතිවරණ හරහා කරන්නේ ඒ ජනමතය මනින එක; ප‍්‍රකාශයට පත් කරන එක. නමුත් ඇත්තටම වෙන්නේ මැතිවරණ හරහා ජනමතයක් මනින එක නොවෙයි, විශාල ප‍්‍රාග්ධනයක්, විශාල මාධ්‍ය බලයක් භාවිත කරලා ජනමතයක් හදන එක.
අලූතෙන් මතයක් වාත්තු කරලා ඒක තමයි ජනතාවගේ මතය කියලා ජනතාවට ඒත්තු ගන්වන එක. ඒ නිසා මේ වන විට මැතිවරණ ක‍්‍රියාවලිය මහ කර්මාන්තයක් බවට පත් වෙලා. ඇඞ්වටයිසිං හෙවත් වෙළෙඳ ප‍්‍රචාරක සමාගම්, මුද්‍රණ කර්මාන්තය, කාර්යාල සඳහා ස්ථාන කුලියට ගැනීම්, ජාත්‍යන්තර උපදේශක සමාගම්, ඒ හැම තැනකම දෛනික වැටුපට සේවය කරන ශ‍්‍රමිකයෝ, මේ වගේ පැති ගණනාවක පුළුල් වුණු කර්මාන්තයක් මේක. මේ කර්මාන්තය තුළ කෝටි ගණන් මුදල් එහාට මෙහාට සංසරණය වෙනවා. අන්තිමට ජනමතය කිව්වට ජනතාව කරන්නේ ජාත්‍යන්තර උපදේශක සමාගම්, මාධ්‍ය හිමිකරුවන්, වෙළෙඳ ප‍්‍රචාරණ උපක‍්‍රම සකසන්නන් හා බලලෝභී දේශපාලකයන් ඇතුළු හැමදෙනාම එකතු වෙලා අඹරන ගුලිය ගිලින එක.
මේ මහා මුදල් කන්දරාවෙන්, ප‍්‍රචාරක ඇස්බැන්දුම්වලින්, සල්ලි වියදම් කරගෙන සෙනඟ පෙන්වීමෙන්, දිනන බවට මත හැදීමෙන් ආදී විවිධ ආකාරවලින් මේ අය බලය පෙන්වනවා. දැන් තිබෙන්නේ බලයට ප‍්‍රතිචාර දක්වන සමාජයක් මිස මතයට ප‍්‍රතිචාර දක්වන සමාජයක් නොවෙයි. සල්ලි මිටි ගණන් වැය කරලා, බලය පෙන්නුවම ඒ බලය ඉස්සරහා තමන්ගේ මතය පාවා දෙන්නේ ඒ නිසා. මේ තත්වය මුළුමනින් වෙනස් කරන්න නම් සමහරු කියන විදියට මැතිවරණ ක‍්‍රමය විතරක් වෙනස් කරලා වැඩක් නෑ. මුළු සමාජයම වෙනස් කරන්න වෙනවා. බලයට ප‍්‍රතිචාර දක්වන සමාජය වෙනුවට මතයට ප‍්‍රතිචාර දක්වන සමාජයක් හදා ගන්න වෙනවා. ”වෙනත් ජනතාවක් පත් කරගැනීම” වැදගත් වෙන්නේ ඒ නිසා. ඒ වැඬේට මැතිවරණ කාලය තුළ කරන්න පුළුවන් ප‍්‍රමාණයක් තිබෙනවා වගේම වැඩි කොටසක් කළ හැකිව තිබෙන්නේ මැතිවරණවලින් පසුව. අපායේ ඉන්ටවල් එක ඉවර වීමෙන් පසුව. ඒකට මෙතෙක් අනුන් සිහසුනට ඔසවා තබන දේශපාලනයක් කළ අපේ ජනතාව තමන්ගේම දේශපාලනය ආරම්භ කරන්න වෙනවා. තමන්ගේ ඇත්ත ප‍්‍රශ්න හා ඒවාට විසඳුම් දේශපාලන වේදිකාවට කැඳවන්න වෙනවා. ඒ සඳහා වැඩ කරන පන්තියේ ජනතාව වේදිකාව යටට වෙලා හුරේ දැමීම නවත්වා දේශපාලන වේදිකාවට ගොඩ වෙන්න වෙනවා.
දැන් ඉන්ටවල් ඉවරයි. අපි ඒ මෙහෙයුමට ලෑස්ති වෙමු.
Related News