කෲරත්වය සහ මරණය -එ.ජනපද පොලිස් රාජ්‍යයෙහි
Posted on 10.31.2015 by Madanayaka in විදෙස් විශේෂාංග with 0 Comments
එක්සත් ජනපදයෙහි පොලිස් කෲරත්වය සහ ගිනි අවි භාවිතය සමඟ බැඳි මරණ ක‍්‍රමිකව වර්ධනය වෙමින් පවතින බව නවතම වාර්තා මඟින් හෙළිදරව් වෙමින් පවතී.
ගාඩියන් පුවත්පත අඛණ්ඩව සිදු කරන සමීක්ෂණ සහ ගණනය කිරීම් අනුව වසරෙහි මේ දක්වා වන කාල පරිච්ෙඡ්දය තුළ පුද්ගලයන් 940ක් පොලිස් වෙඩි තැබීම් හේතුවෙන් මරුමුවට පත්ව තිබේ. එය 2015 වසර අවසන් වන විට 1100 දක්වා ඉහළ යා හැකි බව එම පුවත්පතෙහි පුරෝකථනයයි.
ඉහත සංඛ්‍යාලේඛන අනුව දිනකට එක්සත් ජනපද පොලිසිය එරට වැසියන් තිදෙනකුට වඩා වැඩි පිරිසක් මරා දමමින් සිටින බව අපට පැහැදිලි වෙයි. මෙය යුරෝපා සහ උතුරු අමෙරිකානු රාජ්‍යයන් අතර ඉහළම අගය බව සඳහන් කළ හැකිය.
එමෙන්ම එකී සංඛ්‍යාලේඛන හෙළි කරන තවත් එක් බියකරු යථාර්ථයක් තිබේ. එනම් එහි ඇති වාර්ගික පීඩනයයි. මරා දැමෙන පිරිස් අතර බහුතරය වනුයේ කළු ජාතිකයන්ය. තවද ඔවුන්ගෙන් 30්‍රක් පමණ නිරායුද පුද්ගලයන්ය. සුදු වාර්ගිකයන් අතරදී එම අනුපාතය 16්‍රකි.
බොහොමයක් මරණවලට හේතුව පොලිස් අණ නොතැකීම නැතහොත් ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීම ආදි සුළු කාරණාවන්ය. මෙහි ඇති බරපතළම කරුණ වනුයේ අදාළ මිනී මැරීම් සම්බන්ධව නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක නොවීමය.
ආත්මාරක්ෂාව යන සාධකය යටතේ බොහෝ පොලිස් මිනීමරුවන් නිදොස් කොට නිදහස් කෙරෙති. පසුගිය කාල වකවානුව තුළ වාර්තා වූ මයිකල් බ‍්‍රවුන්, එරික් ගාර්නර්, වෝල්ටර් ස්කොට් සහ ෆ්රෙ ඩි ග්රේම ඇතුළු සිය ගණන් වූ කළු ජාතිකයන්ගේ මරණ ඒ සම්බන්ධව දිය හැකි නිදසුන්ය.
එපමණක් නොව කළු ජාතික කාන්තාවන්ද මෙකී පොලිස් ම්ලේච්ඡුත්වයෙහි ගොදුරු බවට පත්ව සිටිති. නටාෂා මැකේන්, ජනිෂා ෆොන්විල්, ටනිෂා ඇන්ඩර්සන් මෙන්ම සැන්ඞ්රා බ්ල ආදී විශාල පිරිසකගේ මරණ සම්බන්ධව අදටත් යුක්තිය විසඳී නොමැත.
ඒ අතරම එක්සත් ජනපදය තුළ විවිධ චෝදනා යටතේ සිරගත කෙරෙන ප‍්‍රමාණයද ක‍්‍රමිකව ඉහළ යමින් පවතී. පසුගිය වසර 30 තුළ එම ප‍්‍රමාණය 5 ගුණයකින් ඉහළ ගොස් තිබේ. නවතම සංඛ්‍යාලේඛන අනුව මිලියන 2.3ක පමණ පිරිසක් එක්සත් ජනපදය තුළ සිර ගත කරනු ලැබ සිටිති.
එය ලෝකයේ විශාලතම සිරකරු ගහනයයි. තවත් ආකාරයකින් පැහැදිලි කළහොත් එ.ජනපදය තුළ ලක්ෂයකින් 724 දෙනෙක් සිරකරුවන්ය. තවද බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයන් අතරින් මරණ දඬුවම පවත්වාගෙන යන එකම රාජ්‍යායතනයද එ.ජනපදය බව සඳහන් කළ යුතුය. පසුගිය වසරේදී පමණක් එය පුද්ගලයන් 35ක් විෂයෙහි මරණ දඬුවමට පමුණුවා තිබේ.
ගිනි අවි භාවිතය ආශ‍්‍රිත මරණ සහ අනතුරු සංඛ්‍යාවද එ.ජනපද වැසියන් මුහුණ පා සිටින සමාජ ඛේදවාචකයෙහි තවත් කැඩපතකි. gunviolencearchive නම් වෙඩි අඩවියට අනුව, මෙම වසරෙහි ඔක්තෝබරය දක්වා වූ කාල පරිච්ෙඡ්දයේදී ගිනි අවි භාවිතය සමඟ බැඳි හිංසන ක‍්‍රියා 42,991ක් එරටින් වාර්තා වී තිබේ.
ඉන් මියගිය සංඛ්‍යාව 9,956කි. ඊට ළමුන් 550ක්ද ඇතුළත්ය. ඒ අනුව එ.ජනපදය තුළ දිනකට පුද්ගලයන් 35ක් පමණ වෙඩි තබා මරා දැමෙන බව පැහැදිලි වෙයි. ඒ අතරම තවත් 20,000ක පමණ පිරිසක් අදාළ සිදුවීම්වලදී තුවාල ලබන බවද අප අමතක නොකළ යුතුය.
මෙකී සංඛ්‍යාලේඛන ඇසුරෙහි ඉස්මතු වන තවත් බරපතළ සාධකයක් තිබේ. ඒ සමූහයන් ඉලක්ක කොට ගෙන පොදු ස්ථානවල සිදු කෙරෙන වෙඩි තැබීම්ය. ප්ිි ියදදඑසබටිෆග වර්ෂ 2015ට අදාළව ගත් විට එම සංඛ්‍යාව 294ක් වන අතර ඒවායින් මිය ගිය සංඛ්‍යාව පමණක් 300කට ආසන්නය.
එ.ජනපදය ගත් විට එය ලෝකයේ ඉහළම ඒක පුද්ගල ගිනි අවි හිමිකාරිත්වය සහිත රාජ්‍යද වෙයි, නිදසුනක් ලෙස එහි වැඩිහිටි ජනගහනයෙන් 31%කට ගිනි අවියක හෝ කිහිපයක හිමිකාරිත්වය ඇත.
සමස්තයක් ලෙස ගත් විට ගිනි අවි මිලියන 270ක් එරට පුද්ගල සන්තකයෙහි පවතී. අමෙරිකානු සිවිල් යුද්ධය, ජනපදකරණය තුළදී ආදිවාසීන්ට එරෙහිව ගෙන ගිය සංහාරක ප‍්‍රතිපත්තීන් මෙන්ම සමාජය යුදකරණයට ලක් කිරීම ආදී කාරණා මත ගිනි අවි භාවිතාව එ.ජනපද ජන සමාජයට තදින්ම බද්ධ වී තිබේ. දශක ගණනාවක් තිස්සේ සමාජ සාමූහිකත්වය බිඳ දමමින් පෞද්ගලිකත්වය ඉස්මතු කරලීමට පාලක ප‍්‍රභූතන්ත‍්‍රය ගත් උත්සාහයද මීට තදින්ම බලපා තිබේ.
එමඟින් මනුෂ්‍ය සබඳතා බිඳවැටී අනෙකා පිළිබඳ ආත්මාර්ථය මත පදනම් වූ වෛරයක් ගොඩනැඟී තිබේ. ඒ අතරම ගිනි අවි භාවිතය ආශ‍්‍රිත මරණ සහ අනතුරු පිළිබඳ පොදු සමාජ මතයද ස්ථානගතව ඇත්තේ අතිශයින්ම පටු සීමාවකය. මානසික විකෘතීන්ද ඇතුළු සෞඛ්‍ය ගැටලූ වෙත එය බැර කරනු ලැබ තිබේ.
පාලක ප‍්‍රභූවරුන්ද අදාළ මතය වගා දිගා කරනු දක්නට හැකිය. නමුත් ඇත්ත සාධකයන් ඇත්තේ ඊට ඔබ්බෙනි. අද වන විට සමස්ත එ.ජනපද ජන සමාජයම නිරන්තරව උස් පහත් වන ආර්ථික අර්බුදයන්ගෙන් මෙන්ම පරිභෝජනවාදය සමඟ බැඳි අසමානතාව සහ අනවරත සූරාකෑම ඇතුළු අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ගෙන් ආතුරව සිටියි.
බලාපොරොත්තු විරහිත බව සහ අසංතෘප්තිය මෙන්ම පරාරෝපණය එහි ප‍්‍රතිඵලයන්ය. එම කාරණා බැහැර කොට අපරාධ හෝ මිනී මැරුම් පිළිබඳව කතා කිරීම ඇති තතු වසන් කිරීමක් පමණි.
සැබැවින්ම එ.ජනපද රාජ්‍යය යනු ලොව පුරා ජන සංහාරයෙහි යෙදෙන ම්ලේච්ඡු වධක යාන්ත‍්‍රණයකි. එය ඇෆ්ගනිස්ථානයෙහි සිට කෙන්යාව දක්වා වූ විශාල භූමි පරාසයක මිලියන ගණන් ජනයා අවතැන් කරමින් සහ මරා දමමින් ප‍්‍රාග්ධනයට මං පෙත් සකසමින් සිටියි.
ආවෘතව සහ වෙනස් ආකාරයකින් තම රට තුළද එය අනුගමනය කරමින් සිටිනුයේ ඊට සමාන ප‍්‍රතිපත්තියකි. සැබැවින්ම එ.ජනපද පාලක ප‍්‍රභූවෙහි තථ්‍ය අරමුණ වනුයේ ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොව ජනගහනයේ ඉහළින්ම සිටින සියයට එකක් පමණ වූ පරපුටුවන් අත සමාජ ධනය රඳවා ගැනීම පමණි.
ඒ සඳහා ඇති පමණින් සාහසික වන්නට එය කිසි විටෙක පසුබට නොවෙයි. වර්ධනය වන එ.ජනපද පොලිස් රාජ්‍ය සහ ඊට අදාළ අපරාධ එහි එක් පිළිබිඹුවකි.
Related News