SIATM රකින ආණ්ඩුවට ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ විරෝධය
Posted on 06.29.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
SAITM ආයතනය සම්බන්ද ගැටළුව හුදු සිසුන්ගේ ගැටලුවක් නොව ජාතික ප්‍රශ්නයක් බවත්, ව්‍යාජ විසදුම් ලබා දෙමින් වගකීම් විරහිතව උද්ධච්ච අන්දමින් හැසිරෙන ආණ්ඩුවට සිය විරෝධය ඵල කරන බව ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව අද(29) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
පසුගිය 21වන දා සෞඛ්‍ය අමාත්‍යංශය තුලදී සිසුන්ගේ ඔළු පලමින් සිදුකළ ම්ලේච්ඡ පහරදීම සිය ඒකමුතුව පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත්, සිසු මර්ධනය සහ වෘත්තීය සමිති මර්ධනය නතරකොට SAITM ගැටළුව සඳහා නිවැරදි විසඳුම් නොදෙන්නේ නම් භීෂණයට හා මර්ධනයට විරුද්ධව සෑම ක්ෂේත්‍රයකම වෘත්තීය සමිති සමඟ එකතුවී දැඩි ක්‍රියාමාර්ගවලට එළඹෙන බව මෙම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දී ඇත.
ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය.
විශ්ව විද්‍යාල සිසුන්ට අමානුෂික ලෙස පහරදීම හා ශිෂ්‍ය මර්ධනයට විරෝධය
සයිටම් ගැටලුව සම්බන්ධයෙන් වෛද්‍ය සිසුන් 6000 කට අධික සංඛ්‍යාවක් පංති වර්ජනය අරඹා මාස ගණනාවක් ගතව ඇත. ඉදිරියේදී රජයේ වෛද්‍ය විද්‍යාලවලින් නියමිත කාලයට වෛද්‍යවරුන් පිටනොවීම සමඟ සමස්ථ රෝහල් පද්ධතියම අර්බුදයට යනු ඇත. මෙය හුදු සිසුන්ගේ ගැටලුවක් නොව ජාතික ප්‍රශ්නයක් ලෙස ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව ලෙස අපි දකිමු.
මෙම ගැටලුව නියමිත ගැඹුරින් විශ්ලේෂණය කොට සාකච්ඡා මාර්ගයෙන් ප්‍රායෝගික විසඳුමක් කරා වගකීම් සහිතව එළඹීම වෙනුවට වගකීම් විරහිතව උද්ධච්ච අන්දමින් හැසිරෙමින් සිසුනට පහරදෙමින් රජය ගෙනයන මර්ධන ප්‍රතිපත්තියට අපගේ දැඩි විරෝධය පළකරමු.
පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය තුලදී සිසු සිසුවියන් විශාල පිරිසකගේ ඔළු පලමින් සිදුකළ ම්ලේච්ඡ පහරදීම ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව පිළිකුලෙන් යුතුව හෙළා දකියි. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සියළුම සිසුන් කොන්දේසි විරහිතව නිදහස්කරන ලෙස රජයට බලකර සිටිමු.
තවද වහා මෙම සිසු මර්ධනයත් වෘත්තීය සමිති මර්ධනයත් නතරකොට මෙම ගැටළු සඳහා සදාචාර සම්පන්න ලෙස සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් නොදෙන්නේ නම් සෑම ක්ෂේත්‍රයකම වෘත්තීය සමිති සමඟ ඒකාබද්ධව භීෂණයට හා මර්ධනයට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදුවන බවද ප්‍රකාශ කර සිටිමු.
ස්තූතියි.
මෙයට,
ඩී. ජේ. රාජකරුණා
කැඳවුම්කරු
Related News