தமிழ்
English
Contact
Wednesday 27th December 2017    
ණය වෙනුවෙන් මූල්‍ය අරමුදල ඉල්ලන්නේ මොනවාද? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ණය වෙනුවෙන් මූල්‍ය අරමුදල ඉල්ලන්නේ මොනවාද?



ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමැතිය ලබා දී තිබෙන බව ජුනි 4වැනිදා මාධ්‍ය වාර්තා කළා. මේ ණය මුදල ගැන සාකච්ඡුා කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හෙවත් අයි. එම්. එෆ්. සංවිධානයේ නියෝජිත පිරිසක් ලංකාවට ආවේ මේ වසරේ මාර්තු 31වැනිදා. ඉන් අනතුරුව ඔවුන් අපේ‍්‍රල් 11වැනිදා එම නියෝජිත පිරිස ලංකාවෙන් පිටත්ව ගියා. අපේ‍්‍රල් මාසයේ දෙවන සතියේ මුදල් ඇමති රවී කරුණානායක සහ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියේ ඊට අදාළ සාකච්ඡුා වල ඊළඟ වටය සඳහා බව රජයේ ආරංචි මාර්ග වාර්තා කළා. අපේ‍්‍රල් මාසය අවසානයේ මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු වසන්ත සාකච්ඡුා පැවැත්වුණු අතර ලංකාවේ ආණ්ඩුවේ නියෝජිත පිරිස මේ ණය මුදල වෙනුවෙන් සාකච්ඡුා කරන්න තෝරා ගත්තේ එම මොහොත. ආණ්ඩුව මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා ණය මුදල ඩොලර් බිලියන 3 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා සිටියත් ඔවුන් එකඟ වී තිබෙන්නේ ඩොලර් බිලියන 1.5ක් සඳහා පමණයි. කෙසේ වෙතත් දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තිර්ණ අරමුදල් පහසුකම යටතේ මාස 36කින් ගෙවීමේ පදනමින් මෙම ණය මුදල ලංකාවට ලබා දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජුනි 4වැනිදා නිකුත් කළ නිවේදනයේ සඳහන් වී තිබුනා.

 

කොන්දේසි සහ ‘ප‍්‍රතිසංස්කරණ’

මුදල් ඇමති වරයා මේ ණය ලැබෙන්නේ කිසිදු කොන්දේසියකින් තොරව බවට සහතික කර කිව්වත් එම කොන්දේසි මොනවාදැයි රජයේ සහ මූල්‍ය අරමුදලේ නිවේදන වලින්ම සොයා ගන්න පුළුවන්. ඒ සඳහා ලංකාවට පමණි මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ නායක ටොඕ ෂ්නීඩර් විසින් අපේ‍්‍රල් 11වැනිදා නිකුත් කළ නිවේදනයත්, ණය මුදල ලැබීමෙන් පසු ජුනි 4වැනිදා මහ බැංකුව නිකුත් කළ නිවේදනයත් භාවිතා කර අධ්‍යනය කරන්න පුළුවන්. මේ නිවේදන දෙකේම ‘ආර්ථික ප‍්‍රතිසංස්කරණ’ පිළිබඳ සඳහනක් කර තිබෙනවා. මොනවද මේ කොන්දේසි ලෙස ඉදිරිපත් කරන ආර්ථික ප‍්‍රතිසංස්කරණ? නිවේදනවල එවැනි ‘ප‍්‍රතිසංස්කරණ’ කිහිපයක් නිශ්චිතව සඳහන් කර තිබෙනවා.

 

ජනතාවට බදු බර

මේ ඩොලර් බිලියන 1.5ක ණය මුදල සඳහා පළමු කොන්දේසිය ලෙස නිවේදන දෙකේම සඳහන් වෙන්නේ ‘රාජ්‍ය මූල්‍ය අවකාශය පුළුල් කර ගැනීම සඳහා බදු ප‍්‍රතිපත්තිය සහ බදු කළමනාකරණය සඳහා මූලික හා පුළුල් ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දීම’ යන කොන්දේසිය. මේ බොහොම බරපතල වාක්‍යයෙන් කියවෙන දේ අපට මෙහෙම සරල භාෂාවෙන් කියන්න පුළුවන්. රජයේ ආදායම් වැඩි කර ගැනීම සඳහා අය කර ගන්නා බදු ප‍්‍රමාණය වැඩි කිරීම‘ ඒ කියන්නේ මූල්‍ය අරමුදල රජයේ ආදායම වැඩි කර ගැනීම සඳහා යෝජනා කරන්නේ රජය ආර්ථිකයට මැදිහත්වීම මගින් බදු නොවන රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම නෙවෙයි. මූල්‍ය අරමුදල කියන්නේ තව තවත් රජය ආර්ථිකයට කරන මැදිහත්වීම අඩු කරලා බදු වලින්ම මුදල් සොයා ගන්න කියලා. අනෙක මේ බදු ආදායමින් ඉහළ ආදායම්
ලාභීන්ගෙන් ආදායම මත අය කරන සෘජු බදු තිබෙන්නේ 22%ක් පමණයි. රජයේ සමස්ත බදු ආදායමින් 78%ක්ම ඒ කියන්නේ 80%ක් පමණ උපයන්නේ ජනතාවගේ භාණ්ඩ හා සේවා මත පටවන වක‍්‍ර බදුවලින්. මෙය භාණ්ඩ හා සේවා මත කෙලින්ම පනවන බදු හරහා වගේම වරාය බදු සහ තීරු බදු හරහාත් පැනවෙනවා. කෙසේ වෙතත් අන්තිමේදී ඒ සියලූ බදු භාණ්ඩයේ සහ සේවාවේ මිලට එකතු වෙනවා. ජනතාවගේ ජීවන බර වැඩි වෙනවා. පසුගිය අයවැය ගත්විට මේ ආකාරයට ජනතාව මත පටවා ඇති බදු බර රුපියල් බිලියන 1000කට වැඩියි. මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගන්නත් කලින්ම ණය අනුමත කර ගැනීම සඳහා ආණ්ඩුව ජනතාව මත බදු බර පැටෙව්වා. දැන් සියල්ලේම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යද ඇතුළු සියල්ලේම මිල වැඩිවෙලා.

 

වියදම් කැපීම

ණය ලබාදීම සඳහා මූල්‍ය අරමුදල පනවන මීළඟ කොන්දේසිය රජයේ වියදම් කපා හැරීම. අයවැය හිඟය 2020 වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5% දක්වා අඩු කිරීම සඳහා රාජ්‍ය වියදම් ක‍්‍රමානුකූලව කප්පාදු කරන ලෙසද එම නිවේදනයේ සඳහන් වෙනවා. මෙසේ රාජ්‍ය වියදම් අඩු කිරීම ලෙස කරන්නේ අනවශ්‍ය නාස්තිකාර වියදම් අඩු කිරීම නෙවෙයි. සුබසාධන සේවාවන් සහ සමාජ ආරක්ෂණ සේවාවන් සඳහා වන ප‍්‍රතිපාදන කප්පාදු කිරීම. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඉදිරිපත් කළ 2016 අයවැය ලේඛනයේ බරපතල ලෙස කප්පාදු කර තිබු ජනතාවගේ ජීවිත වලට සමීපම අමාත්‍යංශ ගණනාවක
ප‍්‍රාග්ධන වියදම් තවදුරටත් කපා දමමින් තිබෙනවා. මූල්‍ය අරමුදල ණය ලබා දුන්නේ මෙලෙස සමාජ සුබසාධන සේවාවන් කප්පාදු කිරීම සඳහා වන ‘කැපවීම’ ලංකාවේ ආණ්ඩුව ප‍්‍රදර්ශනය කිරීමත් සමග.

අපේ‍්‍රල් මාසයේදී ආණ්ඩුව අමාත්‍යංශ 30ක ප‍්‍රාග්ධන වියදම් කපා හැරීමට තීරණය කළා. ඒ අමාත්‍යංශ 30 මොනවාද යන්න විමසා බැලීමේදී මූල්‍ය අරමුදලේ අභිප‍්‍රාය සහ ආණ්ඩුවේ අභිප‍්‍රාය පැහැදිලි වෙනවා. ඒ අමාත්‍යංශ අතර අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, ප‍්‍රවාහන, ජල සම්පාදන, කෘෂිකර්ම, කම්කරු, වතු යටිතල පහසුකම් සංවර්ධන, මහවැලි සංවර්ධන, මහාමාර්ග, ග‍්‍රාමීය ආර්ථික වැනි අමාත්‍යංශ තිබෙනවා. මේ හැම අමාත්‍යාංශයක්ම ජනතාවගේ එදිනෙදා ජීවිත සමග තදින් බැඳී තිබෙනවා. ජනතාව මත පටවන බදු වැඩි කරන අතරේම මෙලෙස සමාජ ආරක්ෂණ සේවාවන් කප්පාදු කිරීම නිසා ජන ජීවිත ඇද වැටෙන අන්දම අමුතුවෙන් පැහැදිලි කළ යුතු නෑ. ණය ලබා ගැනීමට සුදුසුකම් පෙන්වීමට මේ කළ දේවලින් ණය ලබාගත් පසුව කොන්දේසි ඉටු කිරීමේදී කරන දේවල් ගැන අදහසක් ගන්න පුළුවන්. කොහොම වුනත් මේ හැම ක‍්‍රියාමාර්ගයකම අවසන් ප‍්‍රතිඵලය වෙන්නේ වැඩකරන ජනතාව කබලෙන් ලිපට වැටීම.

විවෘත කර කාබාසිනියා කිරීම

මූල්‍ය අරමුදල ඉදිරිපත් කර තිබෙන අනෙක් කොන්දේසි ගැනත් කෙටියෙන් හෝ පැවසිය යුතුයි. එකක් ලාභ නොලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීමේ කොන්දේසිය. අපේ‍්‍රල් 11වැනිදා නිකුත් කළ නිවේදනයේ පොදුවේ කොන්දේසිය ඉදිරිපත් කරන ගමන් ශ‍්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳ විශේෂයෙන් සඳහන් කර තිබුනේ මූල්‍ය ඇපකරයක් ලබා දීමටනම් අභ්‍යන්තර ගුවන් තොටුපල සියල්ල පුද්ගලීකරණය කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ග‍්‍රීසියට පැනවූ කොන්දේසිය සිහිපත් කරමින්. 2016 ඔක්තෝබර් මාසය වනවිට රාජ්‍ය ආයතන ගණනාවක් පුද්ගලික සමාගම් වලට විකුණා දමන බවට ආණ්ඩුව පොරොන්දුවී තිබෙනවා.
මෙවර අලූතින් නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වෙනවා. ‘අනෙකුත් මූලික ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණ තුළ වෙළඳ ආරක්ෂණය අඩු කිරීම සහ නව වෙළඳ ගිවිසුම් වලට එළඹීම තුලින් ජාත්‍යන්තර වෙළඳාම සඳහා පහසුකම් සැලසීම ඇතුලත්වේ’ වෙළඳ ආරක්ෂණය අඩු කිරීම කියන්නේ ආර්ථික විද්‍යා භාෂාවෙන් කියනවානම් ජංගම ගිණුම විවෘත කිරීම, ඒ කියන්නේ ආනයන සහ අපනයන සඳහා ඇති සීමාවන් අහෝසි කිරීම. මූල්‍ය අරමුදල කොන්දේසි පනවා ඇති ආකාරයට තව තවත් නව වෙළඳ ගිවිසුම් හරහා සහ වෙළඳ ආරක්ෂණ නීති අහෝසි කිරීම හරහා සිදුකරන විවෘතකරණය මගින් විශාල හානියක් සමාජයේ පහළ ස්ථරවල සිටින ගොවීන්ට, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සිදු වෙනවා. ඒ වගේම පාරිභෝගිකයාට විදේශ සමාගම් වල එකාධිකාරයේ ගොදුරක් බවට පත්වී තව තවත් ජීවන බර වැඩි කර ගැනීමට සිදු වෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජංගම ගිණුම පමණක් නොව
ප‍්‍රාග්ධන ගිණුමත් විවෘත කිරීමට යෝජනා කරනවා. ඔවුන්ගේ නිවේදනයේ මෙසේත් සඳහන්. ‘මේ අතර මහ බැංකුව සිය මුදල් ප‍්‍රතිපත්ති රාමුව ලෙස නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණය වෙත යොමු වීමට අපේක්ෂා කරන අතර, නම්‍යශීලී විනිමය අනුපාත ප‍්‍රතිපත්තිය තවදුරටත් පවත්වාගෙන යනු ඇත’. රුපියලේ අගය පාලනය කිරීමේ වගකීමෙන් මහ බැංකුව ඉවත්වී එය වෙළඳපල ඉල්ලූම-සැපයුම මගින් පාලනය වීමට ඉඩ හැරීම කොන්දේසියක් ලෙස තිබෙනවා. එමගින් වෙන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටී විදේශ වලින් ආනයනය කරන භාණ්ඩ වල මිල ඉහළ යාම බව තේරුම් ගන්න ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් අවශ්‍ය නෑ. මේ සියල්ලේ අර්බුදයට මුහුණ දෙන්න වෙන්නේ වැඩකරන ජනතාවට. ඒ නිසා මූල්‍ය අරමුදල ඉදිරිපත් කර තිබෙන සහ ආණ්ඩුව එකඟ වී ඇති කොන්දේසි ආර්ථික අර්බුදයට පිළිතුරක් සම්පාදනය නොකරනවා පමණක් නොව ඒ අර්බුදය උග‍්‍ර කරනවා. මේ අර්බුදයේ මූලයත් අධිරාජ්‍යවාදී ආර්ථික උපායමාර්ගයේ ප‍්‍රතිපලයක්. උගුලේ ඇතුලට ගිහින් තව තවත් ඒ උගුලේ පැටලිලා උගුලෙන් ගැලවෙන්න බෑ.




Related News