පක්ෂ, වෘත්තිය සමිති හා සමාජ ක්‍රියාකාරිකයෝ සයිටම් විරෝධී ප‍්‍රකාශයට අත්සන් කරති!
Posted on 08.09.2016 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
‘සයිටම් උපාධි කඩය අහෝසි කිරීමට බලකිරීම‘ යන තේමාවෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ පෙත්සම් අත්සන් කිරීමේ ව්‍යාපාරයක් අද කොළඹ ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.
සයිටම් විරෝධී ඒකාබද්ධ ප‍්‍රකාශයට අත්සන් තැබීම සිදුකළ මේ අවස්ථාවට දේශපාලන පක්ෂ නියෝජිතයන් සිවිල් ක‍්‍රියාකාරින් කලාකරුවන් ඇතුලූ විශාල පිරිසක් සහභාගී වී සිටියහ. මේ අතර ප‍්‍රගති ගුරු සංගමය වෙනුවෙන් මයුර සේනානායක, රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය වෙනුවෙන් ජෝසප් නිශාන්ත මෙන්ඩිස්, ආණ්ඩුවේ එක්සත් කම්කරු සම්මේලනය වෙනුවෙන් එම්.ඞී.ආර්. අතුල ජෙයරාජ් ගමගේ, ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය වෙනුවෙන් කේ ඞී ලාල් කාන්ත, ජාතික හෙළ උරුමය වෙනුවෙන් හැඩිගල්ලේ විමලසාර, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් බිමල් රත්නායක, ස්වාධීන ලංකා ගුරු සංගමය වෙනුවෙන් සරත් කහගල්ල, මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් සිසිර ජයකොඩි, වමේ හඬ සංවිධානය වෙනුවෙන් ධර්මසිරි ලංකාපේලි, ලංකා සම සමාජ පක්ෂය වෙනුවෙන් අනිල්ද සොයිසා , රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වෙනුවෙන් වෛද්‍ය නිමල් කරුණසිරි , ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් ජී.වී.ඞී.තිලකසිරි, ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලය වෙනුවෙන් සෝමවීර චන්ද්‍රසිරි , සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් ගිශාන්ත දසනායක , පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් චමීර කොස්වත්ත, කම්කරු අරගල මධ්‍යස්ථානය වෙනුවෙන් දුමින්ද නාගමුව , රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය වෙනුවෙන් සිරි කෝසල ගමගේ , සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීනගේ සංගමය වෙනුවෙන් ජයන්ත බණ්ඩාර , ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය වෙනුවෙන් දිනුක සපුතන්ත‍්‍ර , ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය වෙනුවෙන් ධම්මික මුණසිංහ , එක්සත් කම්කරු සම්මේලනය වෙනුවෙන් ලීනස් ජයතිලක, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ආචාර්ය අනුරුද්ධ ප‍්‍රදීප්, අචාර්ය හරිනි අමරසූරිය, නීතීඥ සුනිල් වටගල,ලක්ෂාන් මධුරංග, ශාක්‍ය වීරසිංහ, ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමී, සමස්ත ලංකා දුම්රිය සේවා පොදු සේවක සංගමය වෙනුවෙන් ගාමීනි රත්නසිරි සමරසිංහ, භූපති නලින් වික්‍රමගේ, සරත් ලාල් පෙරේරා, එක්සත් කළමණාකාරන සහකාර සංගමය වෙනුවෙන් ටී ඞී සරණපාල, රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවාක සංගමය ආර් ජි විජේසේන, වංගීස සුමනසේකර, ජල සම්පාදන සේවක සංගමය වෙනුවෙන් නිසල් ප‍්‍රනාන්දු සහ වින්ද්‍යා වීරණායක යන අය මේ අවස්ථාවට සම්බන්ධ වෙමින් ඒකාබද්ධ ප‍්‍රකාශයට අත්සන් තැබුවා.
මෙහිදී අරමුණ පැහැදිළි කරමින් අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සඳහන් කළේ සයිටම් ආයතනයට විරුද්ධව තමන්ගෙන යන අරගලය සඳහා අද වන විට විවිධ අදහස් දරන අය එකතු වී ඇති බවයි. මේ සියලූ දෙනා එක්කාසු කරගනිමින් විශාල මර්දනයක් මැද්දේ නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහස් වෙනුවෙන් ගෙන යන අරගලය ඉදිරියටම ගෙන යන බවත් එහිදී සයිටම් ආයතනය විරුද්ධ අරගලය යනු එහි සිසුන්ට එරෙහි අරගලයක් නොවන බවත් මේ හඬ නගන්නේ ඔවුන්ගේද අයිතීන් වෙනුවෙන් බවත් ඔහු කියා සිටියා. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ සයිටම් ජනසතු කිරීම පිළිබඳ තමන්ගේ යෝජනාව ජනාධිපතිපතිවරයාට අගමැතිවරයාට මේ වන විට යොමු කර ඇති බවයි නමුත් ඒ බාග ජනසතුවක් නොව පූර්ණ ජනසතුවක් බවයි ඔහු කියා සිටියේ. නමුත් මේ කිසිදු කරුණක් පිළිබඳ කිසිදු තැනක ඔවුන් විවෘත සාකච්ඡුාවකට පැමිණෙන්නේ නෑ. ඒ වෙනුවට එක එක අය විවිධ තැන්වල මේ ගැන කතා කරනවා. අපි කියන්නේ එන්න ඕන තැනක අපි මේ ගැන විවෘතව කතා කරන්න සූදානම්. අපි විතරක් නෙවෙයි අද විශාල බලවේගයක් සයිටම් ආයතනයට විරුද්ධව එකතු වෙලා තියෙනවා. ඒ අන් කිසිවක් සඳහා නොව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් බවද ඔහු අවධාරණය කළා.
මෙහිදී පැමිණි සිටි අය පෙත්සම අත්සන් තැබීමෙන් පසු අවස්ථාවට සම්බන්ධ වූ කිහිපදෙනෙක් පළ කළ අදහස් මෙසේ කෙටියෙන් සටහන් කරමු.
මහාචාර්ය සුමනසිරි ලියනගේ
“මෑතකදී ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් සඳහන් කළා. ලාභ ලබන්න නම් මේ කාලේ ව්‍යාපාර දෙකයි කරන්න තිබෙන්නේ එක්කෝ අධ්‍යාපනය නැතිනම් සෞඛ්‍යය ක්ෂේත‍්‍රයට මුදල් යොදවන එක කියලා. දැන් මේ දෙකේම තියෙනවා සාරධාර්මික ප‍්‍රශ්නයක්. අපේ රටේ මිනිස්සු අධ්‍යාපනය සෞඛ්‍ය කියන දේවල් මුදල් දීල ගන්න ඕන දේවල් විධියට නෙවෙයි දකින්නේ. එහෙම පුරුද්දක් නෑ. නමුත් මේ ආණ්ඩු පහුගිය කාලේ පුරාම උත්සහ කළේ ඒක කරන්න. ආර්ථික පැත්තෙන් ගත්තත් මේකට ඉඩ දෙන්න හොඳ නෑ. දැන් ප‍්‍රග්ධන හිමියෝ වැඩිපුර මේ ක්ෂේත‍්‍ර වල ආයෝජනය කළොත් කොයිද නිෂ්පාදන ක්ෂේත‍්‍රය වර්ධනය කරන්න සල්ලි. ඒ නිසා ආර්ථික වර්ධනයේ දෘෂ්ඨියෙන් ගත්තත් මේක වැරදියි. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය බොහෝ දුරට තනිව ගෙන ගිය සටන මේ හැමෝගේම සහය ලැබිල ඉදිරියට ගියොත් දැනටත් පෞද්ගලීකරණය කර තිබෙන බොහෝ දේවල් නැවත හරවන්න අවස්ථාව ලැබෙයි කියලා මම හිතනවා.“
ජෝසප් ස්ටාලින් – ලංකා ගුරු සංගමය
“අධ්‍යාපනයට 6% ක් දෙනවා කිව්ව ආණ්ඩුව දැන් අධ්‍යාපනය පුද්ගලීකරණය නීතියානුකූල කරමින් ඉන්නේ. ජාත්‍යන්තර පාසල් නීතිගත කරනවා. පාසල් තුළ දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම නීතියානුකූළ කරනවා. ආණ්ඩුව එක්ක දැන් මේ ව්‍යාපෘතියට අලූත් කණ්ඩායමක් එකතුවෙලා. ඒ අය කියනවා මුදල් තියෙන අයටත් අධ්‍යාපනයේ අයිතිය දෙන්න ඕන කියලා. මේ මොණ විහිලූවක්ද? මේ රටේ අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය බවට පත් වුනේ පෞද්ගලිකව තිබූ අධ්‍යාපනය රජයට පවරගෙන. මේක ඓතිහාසික අරගලක්. පහුගියකාලේ වගේම මේ ඇවිත් තියෙන පෞද්ගලීකරණ ව්‍යාපෘතියත් ඒ වෙනුවෙන් පෙනී ඉන්න අයත් දෙගොල්ලන්ම පරාජය කළ යුතුයි. ඒ වෙනුවෙන් එක්වෙමු.“
වෛද්‍ය ගිශාන්ත දසනායක – සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
“ප‍්‍රමාණවත් තරමට ජන බලයක් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය ශක්තිමත් වෙන වෙලාවක. මුල් අවස්ථාවේ සිටම මේ වෙනුවෙන් පෙනී සිටි සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විධියට අපි බොහෝම සතුටු වෙනවා. අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලයේ මේ උත්සහය අප අගය කරනවා.
සයිටම් වෙනුවෙන් පෙනී ඉන්න බොහෝ දෙනෙක් ඉදිරිපත් කරන තර්කයක් තමයි. ඉන්ජිනේරු ආදී අනෙකුත් ක්ෂේත‍්‍රවලට මුදලට දීමේ අයිතිය තියනවා නම් වෛද්‍ය ක්ෂේත‍්‍රයටත් එය තිබිය යුතුයි කියන එක. නමුත් අපි අහනවා එහෙම අනිත් ක්ෂේත‍්‍ර වුණත් මුදලට දෙන එක හරිද කියලා.
ඕන කෙනෙකුට අයිතිය තියෙනවා තමන් හදන නිවෙසක ගෘහනිර්මාණ ශිල්පියා කව්ද කියා තෝරන්න. නමුත් ලෙඩක් හැදුනට පස්සේ රජයේ රෝහලකට ගියාම එහෙම තේරීමක් නෑ. ජ්‍යේෂ්ඨම වෛද්‍යවරයාගේ සිට කණිෂ්ඨ වෛද්‍යවරයා දක්වා කාගෙන් ප‍්‍රතිකාර ගත්තත් ප‍්‍රශ්නයක් නෑ. නමුත් හොරට බාගෙන ඉගෙනගත් වෛද්‍යවරු ආවොත් එතැනදීත් තෝරාගැනීමක් කරන්න වෙනවා. මෙතනදී නැතිවන්නේ මිනිස් ජීවිත.
ඒ වගේම ටියුෂන් ගැන කතා කරනවා. ඒ අයට අපි කියන්නේ ටියුෂන් ගියාට විභාග කරන්න ඕන ආණ්ඩුවේ ඉස්කෝල වලින්. ඒ හින්ද ඕන නම් ඒ අයට පුළුවන් රජයේ වෛද්‍ය පීඨ ලඟින් වෛද්‍ය උපාධිය සඳහා ටියුෂන් දෙන ආයතන හදන්න. මේවා විහිලූ. ඒ හින්දා ටියුෂන් කියන එකයි වෛද්‍ය උපාධිය විකිණිම කියන එකයි සම කරන්න බෑ. මේක මිනිස්සුන්ගේ ජිවිතය සම්බන්ධ ප‍්‍රශ්නයක්. ඒ නිසා මේ අරගලය ජයග‍්‍රහණය කරන්න සියලූ දෙනා එකතු වෙන්න ඕන.“
ලාල් කාන්ත – ජනතා විමුක්ති පෙරමුණ
“සැමට අධ්‍යාපනය කියන කාරණය අපි පිළිගන්නවා. දැන් බොහෝ දෙනෙක් නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා. මම කියන්නේ මේක නොමිලේ අධ්‍යාපනය විය යුතුයි කියලා. මොකද දැන් අධ්‍යාපනය මුදලට දෙන දෙයක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපට තියෙන්නේ ඒක නොමිලේ දෙන එකක් බවට පත් කරගන්න සටනක්. අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. මෙතනින් ඉදිරියටත් ගන්නා ක‍්‍රියාමාර්ගයන්ට අප සහය දෙනවා. ධනපති ක‍්‍රමය ඇතුලේ සියලූ දේ වෙළඳ භාණ්ඩ වෙලා තියෙන්නේ. ඒ නිසා ධනපතික‍්‍රමයට ඕන නෑ අධ්‍යාපනය නොමිලේ දෙන දෙයක් බවට පත් කරන්න. ඒ නිසා මේ ක‍්‍රමයත් තියාගෙන අධ්‍යාපනය සෞඛ්‍ය වෙළඳභාණ්ඩයක් බවට පත් කරලා තියෙන එක වලක්වලා නොමිලේ දෙන එකක් බවට පත් කරගන්න. වෘත්තිය සමිති ව්‍යාපාරය විධියටත් අපි මේ අරගලය ඉදිරියට ගෙන යන්න තීරණය කරලා ඉන්නේ. ආණ්ඩුවට දේශපාලන අභියෝගයක් බවට පත් කළොත් මේක ජය ගන්න පුළුවන්. ඒ සඳහා හැමෝම එකතු වෙමු යනුවෙන් යෝජනා කරනවා.“
චමීර කොස්වත්ත – පෙරටුගාමී සමාජවාදී පක්ෂය
“අපේ සමාජයට සටන් කරන්නේ කොහොමද කියන එක ගැන අන්තර්විශ්වවිiාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සටන ආදර්ශයක්. පසුගිය කාලයේ පෞද්ගලීකරණයට සියල්ල යටපත් වෙලා තිබුනේ. මේ සටන ආරම්භයේදී ශිෂ්‍ය ව්‍යාපාරයට බොහෝ චෝදනා එල්ලවෙද්දී පවා මේ වෙනුවෙන් බොහෝ අය පෙනී සිටියේ නෑ. නමුත් මේ සටන, සටන් කරන්නේ කොහොමද?, ඒ සටනට අනෙකුත් බලවේගයන්ගේ සහය ලබාගන්නේ කොහොමද කියන එක ගැන ආදර්ශයක් දීල තියෙනවා. ඒ නිසා සයිටම් හොර උපාධි සටන තීරණාත්මක තැනකට ගේන්න ශිෂ්‍ය ව්‍යාපාරයට හැකි වෙලා තියෙනවා. අපි ඒකට සතුටුයි. ආචාර කරනවා.
දැන් විවිධ අය සයිටම් වෙනුවෙන් පෙනී ඉන්න කිහිපදෙනෙක් ඇවිලා තියෙනවා. නමුත් ශිෂ්‍ය ව්‍යාපරය මැදිහත්වීම නොවුනානම් ඒ සුලූ පිරිස ලොකු පිරිසක් වෙන්න තිබුණා. ඒ නිසා මේ සටන ඉතා වැදගත්.
මේක මේ රටේ ආර්ථික දේශපාලන වැඩපිළිවෙල හා සම්බන්ධයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා සම්බන්ධයි. අධිරාජ්‍යවාදය හා සම්බන්ධයි. ඒ නිසා අදත් හෙටත් කවදත් ශිෂ්‍ය ව්‍යාපරය වගේ පීඩිත පන්තියෙන් පැන නගින ව්‍යාපරයන්ට මේ සටන් කරන්න වෙනවා.
නමුත් මෙතනින් මේක නවතින්නේ නෑ. මෙතනින් එහා අධියරක් තියෙනවා. මේ ආණ්ඩුවල නව ලිබරල් වැඩපිලිවෙල බිත්තියට හේත්තු කරලා. ජනතාවගේ අයිතීන් දිනාගන්න සටනක් ඒ වෙනුවෙන් සියලූ දෙනා එකතුවිය යුතුයි කියලා අපි කියනවා.“
හැඩිගල්ලේ විමලසාර හිමි.
“විවිධ පරස්පර මත දරන අය මේ සටනට එකතු කිරීම පිළිබඳ අපි අන්තර්විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට ස්තුති වෙනවා. නිදහස් අධ්‍යාපනය අපට ලැබුනේ රිදී බන්දේසියක තියලා නෙවෙයි. 1943 සිට දියත් කළ විශාල අරගලයක ප‍්‍රථිඵලයක් විධියටයි නිදහස් අධ්‍යාපනය බිහිවුනේ. මේ සටනේදී යක්කඩුවේ පඥ්ඥාරාම හාමුදුරුවෝ. කොටහේනේ පඥ්නාකිත්ති හාමුදුරුවෝ. වල්පොල රාහුල හාමුදුරුවෝ වගේ අය පෙරමුණේම සිටියා. ජනතාවට වැටහීමක් නැති නිසා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය එදා මැදිහත් වෙලා එක්සත් ලංකා භික්ෂු බලමණ්ඩලය පිහිටුවලා. රැුස්වීම් පවත්වමින් ජනතාව දැණුවත් කළා. ඒ රැස්වීම් වලට සම්බන්ධ වෙච්ච වල්පොල රාහුල හාමුදුරුවන්ට එදා දේශපාලන මැරයන් විසින් ලේ ගලන තුරු පහරදුන්නා. නමුත් ඒ සටන දිනුවා. පනත පාර්ලිමේන්තුවට ගෙන එන දවසේ පාර්ලිමේන්තුව වටකලා.එහෙමයි මේ සටන දිනුවේ. අපි ඒ සටනේ දරුවෝ. ඒ සටන නිසයි අපි නිදහස් අධ්‍යාපනය ලැබුවේ. ඒ නිසා අපි ඒක ආරක්ෂා කරන්න පෙනී ඉන්නවා. මේ සයිටම් ආයතනය බිහි කරපු මහින්ද රාජපක්ෂගේ කාලෙත් ඒ ආණ්ඩුව තුල සිට අපි විරුද්ධ වුණා. අදත් ආණ්ඩුවේ අපි ඉන්නවා අදත් මේකට අපි විරුද්ධයි. මේ සටනේ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අපි සූදානම්. අපි මේ සටනට සුභ පතනවා.“
ආචාර්ය අනුරුද්ධ ප‍්‍රදීප්
“සයිටම් ආයතනය විතරක් නෙවෙයි පුද්ගලික විශ්වවිද්‍යාල සාධාරණීකරණය කරන්න පෙනී ඉන්න අය ඉතා බරපතල ලෙස වැරදි මතයක් වපුරනවා. බොරු කියනවා. බහුතරයක් මේක පිළිගන්නවා. ලෝකෙම පුද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා. ලංකාවේ ඉන්න අන්තගාමියෝ ලිංමැඩියෝ ටිකක් මේකට විරුද්ධ වෙනවා කියලයි ඒ අය කියන්නේ.
මම කියනවා ලෝකේ එහෙම පුද්ගලික විශ්වවිද්‍යාල නෑ. ලංකාව කියන්නේ මේ විධිය ගොඩක් මිත්‍යා මත ප‍්‍රසිද්ධ වෙන තැනක්.
පුද්ගලික විශ්වවිද්‍යාල කියන්නේ ව්‍යාපාරිකයන් පවත්වාගෙන යන ලාභ බෙදන ව්‍යාපාරික ආයතන. එහෙම ඒවා ලෝකෙ තියෙන්නේ ඉතාම අතලොස්සයි. බටහිර දියුණු රටවල ඒවා නෑ. එංගලන්තේත් එහෙම එකක්වත් නෑ. පුද්ගලික නමින් තියෙන්නේ බකිංහැම් විශ්වවිද්‍යාලය විතරයි. ඒක ලාභ නොලබන ආයතනයක්. හරියට ලංකාවේ ශාන්ත තෝමස් විදයාලය වගේ.
නවසීලන්තේ සියලූ විශ්වවිද්‍යාල රජයේ. ඔස්ටේ‍්‍රලියාවේ දෙකක් තිබෙනවා පුද්ගලික නමින් පවත්වාගෙන යන නමුත් ඒවා ලාභ ලබන ආයතන නෙවෙයි. ඒ කියන්නේ ඒවට අයිතිකාරයෝ නෑ. ලාභ ගෙදර ගෙනියනනේ නෑ. ඒවාට සල්ලි දාන්න පුළුවන්. නමුත් සල්ලි ගන්න බෑ. ප‍්‍රංශෙත් නෑ. ඇමරිකාවේ හාවඞ් වගේ පුද්ගලික කියන නම තියෙන ඒවා තියෙනවා නමුත් ඒවා වෙනස්. ඇමරිකාවේ ලිබරල්වාදය තහවුරුවුනේ වෙනම ආකාරයකට. ඇමරිකානු නිදහස් සටනේදී රාජ්‍යට විරුද්ධවයි පෙළගැසුනේ. ඒ නිසා එතැනදී පුද්ගලික කියන එකෙන් කියවෙන්නේ රාජ්‍යට අයිති නැති කියන එක. සමාජයට අයත් කියන එකයි ඒකෙන් කියවෙන්නේ. නැතිව මිනිහෙක්ට අයිතියි කියනඑක නෙවෙයි. හාවඞ්, යේල්, බර්ක්ලේ මේවට අයිතිකාරයෝ නෑ. ඒවා සමාජ ආයතන. ඒවා කලින් කිව්වා වගේ ශාන්ත තෝමස් වගේ පාසල්.
පුද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා ජපානේ. නමුත් අපේ රටේ අධ්‍යාපනයේ තියෙන්නේ උතුරු යුරෝපානු මොඩල් එකක්. ඒ අනුව පුද්ගලික විශ්වවිද්‍යාලය මෙහෙ තියෙන්න බෑ. එහෙම වුනොත් ඒවා මහා දූෂිත ආයතනය වෙනවා. උදාහරණ තියෙනවා ඉන්දියාවේ. එහෙත් එහෙම හිතු මතේ මේවා දාන්න බෑ. අවුරුදු ගානක් රෝහලක් පවත්වාගෙන යන්න ඕන. ලංකාවේ නෙවිල් ප‍්‍රනාන්දුට රෝහලක් තිබුණා. එයා ඒක විකුණලයි සයිටම් දැම්මේ.
ඉන්දියාවේ අර කලින් කිව්වාවගේ නීති තියෙද්දීත් ඒවගේ තත්වය අද රොයිටර් හා එන් ඞී ටී පුවත් වලින් වාර්තා කරනවා. ඒවා බලන්න. ඒවායේ අද ලෙඞ්ඩු නෑ. කතිකාචාර්යවරු නෑ. මේවා මම කියන ඒවා හරි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ලය කියන දේවල් නෙවෙයි. ඒවා බලන්න. මේ ඒජන්සි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඒවා බලන්න එන දවස්වල රුපියල් 500 ගානේ දිලා රෝගීන් ගේනවා. ගෙනල්ලා බොරුවට පෙන්නලා අනුමැතිය ගන්නවා. ලංකාවේ මොකක්ද තත්වේ. ලංකාවේ පරීක්ෂාකරන්නේවත් නැතිව අවසර දෙනවා.
ඒනිසා බය නැතිව මේ පුද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ වෙන්න.
අපිත් බයෙන් හිටියේ ලංකාවේ මේක දිනයි කියලා. නමුත් දැන් තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. අපි අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලයට සම්පූර්ණ සහය පළ කරනවා. විිවිධ කරුණු සම්බන්ධයෙන් වෙනස් කම් තිබුණත් මේ සටනෙදී අපි සම්පූර්ණ සහය දෙනවා. පොඩි පොඩි කෑලි අල්ලගෙන දඟලන අයටත් අපි කියන්නේ. මේක සමාජ අරමුණක් වෙනුවෙන් කරන අරගලයක්. ඒ සඳහා සියලූ දෙනා එකතු වෙන්න.“
සිරිතුංග ජයසූරිය – එක්සත් සමාජවාදී පක්ෂය
“මේ සටනට අපි ධෛර්ය එකතු කරන්න ඕන. දැන් සයිටම් පටන්ගත්ත අය ඒකට විරුද්ධව එනවා. අද මේ සටන තම පටු දේශපාලන ව්‍යාපෘතීන් වෙනුවෙන් කොල්ලකන්න උත්සහ කරනවා. මට කිසි සැකයක් නෑ මහින්ද රාජපක්ෂ මෙතනට ආවත් මම පුදුම වෙන්නේ නෑ. මොකද ඒ බලයට එන්න තියෙන කෑදරකමට. නමුත් අපි මේ සටන වාමාංශික ව්‍යාපරය විධියට. වෘත්තිය සමිති ව්‍යාපාරය විධියට නැවත මේ රටේ ධනපතියන්ට බලේට එන්න බැරිවෙන විධියට වාමාංශික බලයක් ශක්තිමත් කිරීම සඳහායි මෙහෙයවිය යුත්තේ. ඒ නිසා ඒ පිළිබඳ අපි සැලකිලිමත් වෙන්න ඕන.“
සහභාගිවූ තවත් කිහිපදෙනෙක් මෙහිදී අදහස් දැක්වූහ.
Related News