தமிழ்
English
Contact
Monday 30th April 2018    
යුද්ධයෙන් පීඩිත ජනයාගේ ඉල්ලීම් ඉටු කරනු – සම අයිතිය ව්‍යාපාරය « Lanka Views | Views of the truth

යුද්ධයෙන් පීඩිත ජනයාගේ ඉල්ලීම් ඉටු කරනු – සම අයිතිය ව්‍යාපාරය



යුද්ධයෙන් පීඩිත උතුර හා නැගෙනහිර ජනයාගේ ඉල්ලීම් ඉටු කරමින් යුක්තිය හා සාධාරණත්වය ලබාදෙන ලෙස ආණ්ඩුවට බලකරන්නට සම අයිතිය ව්‍යාපාරය තීරණය කර තිබේ.

එම ව්‍යාපාරය විසින් වෙනත් සහෝදර සංවිධාන සමග එක්ව අද (13) යාපනයේදී පැවැති ජනමාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරිණි.

2009 යුද්ධය අවසන්වීමෙන් සත්වසරක් ගෙවී ඇත. එවකට පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වෙනුවට රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩුවක් බලයට පත්ව තිබේ. එහෙත් උතුරේ හා නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට එහි කිසිදු වෙනසක් ඇති වී නැත. ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන බවත් යුද වින්දිතයන්ට සහන සලසන බවත් කී වත්මන් ආණ්ඩුව උතුරේත් නැගෙනහිරත් පොදුවේ රටපුරාම පීඩාවට පත් ජනයාගෙන් ඡන්ද ලබාගෙන බලයට පත් වූ බව රහසක් නොවේ.

එහෙත් විශේෂයෙන් උතුරේ හා නැගෙනහිර යුද කාලයේ පැවැති මිලිටරිවාදී හා මර්දනකාරී තත්වය තවදුරටත් වෙනස් වී නැත.

යුද්ධය නිසා ඥාතින් දහස් ගණනක් අහිමි වූ උතුරේ හා නැගෙනහිර ජනයා තවමත් ඒ පිළිබද යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සිටී. යුද්ධයෙන් පසුව වසර 7ක් ගෙවුණද මර්දනකාරී මහින්ද රාජපක්ෂ වෙනුවට පාලනය රනිල් – මෛත්‍රී අතට පත්වුවද තවමත් ඔවුන්ට හමුදාවේ හා බුද්ධි අංශවල හිරිහැරවලට මුහුණ දෙන්නට සිදුව තිබේ. ජාතික ආරක්ෂාවේ නාමයෙන් සාමාන්‍ය ජනතවගේ ඉඩම්වල හමුදාව රැකවල් යොදා එහි යාමට තහනම් කර ඇත. අක්කර දහස් ගණනක් මෙසේ කොටුකරගෙන සිටින්නේ එක්කෝ හමුදාව පදිංචි කරන්නටය. නැතිනම් විදේශ සමාගම්වලට පවරා දෙන්නටය. එසේත් නැතිනම් හමුදා භටයන් යොදා කරගෙන යන විශාල ගොවිපළ සදහාය. ජනතාවගේ ඉඩම් අහිමි කිරීම පිළිබද ආණ්ඩුවට ජනතාවගේ විරෝධය නැග එමින් තිබේ.

නිවාස අහිමි වූ ජනයාට ඉන්දිය හෝ වෙනත් රටවල ආධාර ඇතිව නිවාස පහසුකම් සලසන බවට ආණ්ඩුව විසින් පොරොන්දු දී ඇත. එහෙත් එය ඉටුකර ඇතිතේ අල්ප වශයෙනි. දහස් ගණන් ජනයා තවමත් නිසි නිවසක් නැතිව පැල්පත්වල වාසය කරති. තවත් සමහරු ඥාති නිවෙස්වලහෝ කුලී නිවාසවල වාසය කරති.

යුද්ධය සමයේත් ඉන්පසුවත් ආරක්ෂක හමුදාවලට භාරවූවන් පිළිබද නිසි තොරතුරු ඥාත්න්ට ලැබී නැත. එසේ භාරවූ ඇතැමුන් අතුරුදන් වී තිබේ. එපමණක් නොව, අත්තනෝමතික ලෙස හිටි ගමන් අත්අඩංලුවට ගත්, රාත්‍රියේ කඩා වැදී පැහැරගෙන ගියවුන් හෝ සුදුවෑන් කල්ලියට හසුවූවන් පිළිබද නිසි කරුනු ආණ්ඩුව විසින් හෙළිදරව් කළ යුතුව තිබේ. එහෙත් ඒය ඉටු කරන බවක් දක්නට නැත. අත්අඩංගුවට පත් වූවන් පවා බන්ධනාගාරවලදී මරා දමන ලද බව රහසක් නොවේ. මෙවැන අපරාධකාරී අතීතය පිළිබද සැකයෙන් බියෙන් අවිනිශ්චිතතාවයෙන් වාසය කරන්නට එම පීඩිත ජනයාට තවදුරත් සිදුව ඇත. එහෙත් එය වෙනස් කළ යුතුව ඇත.

සම අයිතිය ව්‍යාපාරය ගොඩ නැගීමේ එක් අරමුණක් වන්නේ මෙසේ යුද්ධයෙන් පීඩාවට පත්ව තවමත් යුක්තිය අහිමි කර සිටින උතුරේත් නැගෙනහිරත් ජනයාට යුක්තිය ඉල්ලා අරගල කිරීමය. එහිදී මේ තාක් ආණ්ඩුව විසින් සිය ඉල්ලීම් ඉටු නොකිරීම නිසා පීඩාවටත් අසහනයටත් පත් ජනයා වෙනුවෙන් සම අයිතිය ව්‍යාපාරයෙන් සත්‍යග්‍රහයක් සංවිධානය කර තිබේ. ඉඩම් අයිතිය, අතුරුදන්වූවන් පිළිබද මැදිහත්වීම හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම වෙනුවෙන් මෙම සත්‍යග්‍රහය කොළඹදී පැවැත්වීමට සම අයිතිය ව්‍යාපාරය තීරණය කර ඇත. මේ අතර යුද්ධයෙන් පීඩිත වූවන්ට යුක්තිය ඉල්ලා අද වවුනියාව, ත්‍රිකුනාමලය, මන්නාරම, කිලිනොච්චිය හා මුලතිව්හිදී ජනතාව විසින් උද්ඝෝෂන සංවිධානය කර තිබිණි. සම අයිතිය වයාපාරයේ ආරම්භයේ සිටම ඔවුන්ගේ මෙම අරගලයට සහාය දක්වයි. එසේම රාජපක්ෂ පාලනය විසින් එම අරගල ව්‍යාපාරයේ පුරෝගිමින් වන ලලිත් කුමාර් හා කුහන් මුරුගානන්දන් අතුරුදන් කරනු ලැබූ බවද අමතක කළ නොහැකිය. කෙසේවෙතත් මේ සාධාරණ අරගලය ජයග්‍රහණය කළ හැකි වන්නේ අතුරේත් නැගනෙහිරත් ජනයා මෙන්ම සෙසු පළාත්වල සහෝදර ජනයා ඒකරාශි වී සිදුකරන අරගලයක් තුළින් පමණි. ඒ වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස සම අයිතිය වයාපාරය දිවයිනේ සයලු පීඩිත ජනයාගෙන් ඉල්ලා සිටී.

නව මාක්ස් ලෙනින්වාදී ජනතා පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් කේ. සෙන්දිවේල් අදහස් දැක්වීය. එසේම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් එස්. ශ්‍රීධරන් මෙම ජනමාධ්‍ය හමුවට එක් විය.

සම අයිතිය ව්‍යාපාරය වෙනුවෙන් මෙම ජනමාධ්‍ය හමුවේදී අදහස් දැක්වූයේ කපිලන් චන්ද්‍රකුමාර් විසිනි.

සමාජ සාධාරනත්වය සංවිධානය නියෝජනය කරමින් ඇන්ටන් මෙහිදී අදහස් දැක්වීය.

යාපනයේ කලාකරුවන්, ජනමාධ්‍යවේදින් නියෝජනය කරමින් මෙම මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට කරුනාහරන් එක් විය.

 




Related News