தமிழ்
English
Contact
Friday 26th January 2018    
ලෝක වැඩකරන ජනතා ව්‍යාපාරය යළි ගොඩනැගීම - Beverly J. Silver | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලෝක වැඩකරන ජනතා ව්‍යාපාරය යළි ගොඩනැගීම – Beverly J. Silver



beverly-silver1-140x140බෙවර්ලි ජේ. සිල්වර් -The Roar සගරාවට සැපයූ,The Remaking of Global Working Class නමැති ලිපියේ පරිවර්තනයකි. එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක වන මෙම ලේඛිකාව ලෝක පරිමාණ කම්කරු අරගල හා පන්ති අරගල අධ්‍යයනය කරමින් ලියූ කෘති විවිධ භාෂාවලට පරිවර්තනය වී තිබේ.

……………………………………………………………………………………………………
ලෝක වැඩකරන ජනතා ව්‍යාපාරය අවසන් ගමන් යාමක් ගැන සිතනවා නම් එය තව බොහෝ දුරය. 2008 සිට පැන නගින කම්කරු අරගල සහ පන්තිමය සංවිධානයවීම් විසින් සංඥා කරන්නේ උදම් රළ නැග එන බවකි.

1980 දසකයේ සිට සමාජ විද්‍යාවන්ගේ අරක්ගත් එළඹුම වූයේ ශ‍්‍රමය හා පන්තිය මත පදනම් වූ සංවිධානාත්මක රාශිකරණ මාදිලිය නෂ්ටාවශේෂ ලෙස අතීතයට එක්ව ඇති බවයි. එමගින් පුළුල් ලෙස තර්ක කරණු ලැබුවේ  ගෝලීයකරණය විසින් ලෝකයේ කම්කරුවන් වෙත මුදාහැරි තරගකාරිත්වය විසින් වැඩකරන ජනතා බලය හා සුභසාධනය අවගාමී සර්පිලයකට ගමන් කළ බවයි.

නිෂ්පාදනය ප‍්‍රතිව්‍යුහගතකිරීම, කම්හල් වසාදැමීම, ස්වයංක‍්‍රියකරණය, බාහිරින් කඳවන ශ‍්‍රමිකයන් අඩු වැටුප් මත යෙදවීම යන සාධක නිසා කේන්ද්‍රයේ දියුණු ධනපති රටවල මෙතෙක් පැවැති මහා නිෂ්පාදන කර්මාන්තවල තීරණාත්මකභාවය අහෝසි වූ බවද කියනු ලැබිණි. මේ නිසා සෑම තැනකම වැඩ කරන ජනතාව සංවිධානාත්මකව රාශිකරණය කිරීමට නොහැකි මහා බාධකයක් බිහිවූ බවද කියනු ලැබිණි.

මෙම අදහස දැරුවන් කරකියාගත නොහැකි තත්වයට පත්විම පටන් ගත්තේ 2008 සිට ලෝක පරිමාණයෙන් වැඩකරන ජනතා නැගිටීම් හා පන්තිය පදනම් කරගත් රාශීකරණයන් ඇතිවීමත් සමගය. මෙම නව පුපුරායාම වෙනස් වෙනස් ආකාරයෙන් සිදුවනු දක්නට ලැබිණි.
චීනයේ හා වෙනත් ආසියානු රටවල කම්හල් සේවකයන්ගේ වැඩවර්ජන රැුල්ල, දකුණු අප‍්‍රිකානු ප්ලැටිනම් ආකර කම්කරුවන්ගේ හදිසි වැඩවර්ජන කි‍්‍රියාදාමය, උතුරු අප‍්‍රිකාවේ හා එක්සත් ජනපදයේ රැුකියා විරහිත හා අඩු වැටුප් රැුකියා සහිත තරුණ ප‍්‍රජාව නගර අත්පත් කරගැනීමේ විරෝධතාවන්ට එක්වීම සහ යුරෝපයේ කප්පාදුවලට එරෙහිව යුරෝපා කම්කරුවන්ගේ අරගල මේ තත්වය වඩා හොඳින් නිරූපනය කරවීය. මේවා රළ පෙළ නැග එන බවට දන්වන සලකුණු පමනකි. අප මේ සිටින්නේ ශ‍්‍රම බලකායේ හා පන්ති පදනම් සහිත එකරාශිවීමේ වඩාත් ලෝක ව්‍යාප්ත ක‍්‍රියාදාමයක ආරම්භක අවස්ථාවේය.

  • පන්තිමය එකරාශිවීම ලෝක ව්‍යාප්ත ක‍්‍රියාදාමයක් ලෙස

අප ඉදිරිපිට සිදුවෙමින් තිබෙන්නේ කුමක්දැයි යන්න වටහා ගන්නට නම් මේ වන විට නිෂ්පාදන සංවිධාන ක්ෂේත‍්‍රයේ සිදුවන විප්ලවකාරී වෙනස්කම් හඳුනාගත යුතුව ඇත. නිෂ්පාදන සංවිධානයේ සිදුවන එම වෙනස්කම් නිසා සංවිධිත කම්කරු පන්තිය විසුරුවා හරිනවා පමණක් නොව, නව කම්කරු පන්තියක් ලෝක පරිමාණව පිහිටුවයි.

පන්තියක් ලෙස වැඩකරන ජනතාව අහෝසි වන බවටත්, කම්කරු ව්‍යාපාරය මියයන බවටත් ඒකමානිව පැවසූවන් දැක්කේ පන්තිමය තත්වයන් විසිර යාමය. මේ වනවිට ලෝක කම්කරු ව්‍යාපාරය හා කම්කරු සංවිධාන බිහිවීම, විසිරයාම හා යළි සංවිධානයවීම යන පාර්ශවයෙන් සලකා බලන විට කම්කරු ව්‍යාපාරය මියගොස්යැයි වේලාසනින්ම කියන ප‍්‍රවණතාවයට බලවත් පිළිතුරු ලබාදිය හැකිය.  මේ අකාරයෙන්ම කම්කරු ව්‍යාපාරයේ මරණයක් ගැන 20 වැනි සියවස ආරම්භයේදීද ප‍්‍රකාශයට පත් කරනු ලැබිණ. එහිදී අත්කම් ශිල්පීන්ගේ ශක්තිය අවතක්සේරු කරමින් මහා නිෂ්පාදන කර්මාන්ත ශාලා බිහි විය. එසේම නැවතවරක් 20 වනි සියවස අවසානයේදීද මෙවැනි අදහසක් ප‍්‍රකාශයට පත් කරන ලදී.

කම්කරු පන්ති සංවිධාන බිහිවීම, විසිරයාම හා යළි සංවිධානයවීම පිළිබඳ අවධානය යොමු කිරීමේදී නව අරගල බිහිවීම පිළිබඳ සලකා බැලිය යුතුව ඇත. මෙම අරගලවලදී බිහිවෙමින් පවතින නව පන්තිමය ඒකරාශිකරණයෙන්ද විසිරී යමින් පවතින පැරණි පන්තිමය ආකෘතියෙන්ද දායකත්වයක් ලැබේ. ප‍්‍රාග්ධන සංකේන්ද්‍රණ ක‍්‍රියාවලියේ නිර්මාණශීලී පාර්ශ්වය හා විනාශකාරී පාර්ශ්වයන් එසේය. මා විසින් මෙම ආකෘති දෙක මාක්ස් පන්නයේ කම්කරු අරගල (Marx Type Labour Unrest) හා පොලනි කම්කරු අරගල (Polanyi Type Labour Unrest)ලෙස හඳුන්වා ඇත. අලූතින් බිහිවෙමින් පවතින කම්කරු පන්තිය විසින් සිය අස්ථාවර රැුකියා සහ ජිවිතය ඇද දමා ඇති යටත් හා පහත් තත්වයට එරෙහිව කැඳවනු ලබන වෘත්තිය සටන් මාක්ස් පන්නයේ අරගල ලෙස හඳුන්වා දිය හැකිය. එහෙත් තමන් මේ වනවිට බුක්ති විඳින ජිවන විලාසය ආරක්ෂා කරගැනීම උදෙසා රාජ්‍යට හා ප‍්‍රාග්ධනයට එරෙහිව මෙතෙක් කළ අරගලවලදී දිනාගත් සුබසාධනය හා අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගතානුගතික වෘත්තිය සමිති විසින් කැඳවන වෘත්තිය අරගල පොලනි කම්කරු අරගල ලෙස හැඳින්විය හැකිය.

ලෝක පරිමාණව පැන නගින වැඩ කරන ජනතාවගේ සටන් සලකා බලන විට මේ දෙආකාරයේම අරගල දැකිය හැකිය. චීනයේ නව සංක‍්‍රමනික කම්කරුවන් විසින් ගෙන යන අරගල රැුල්ල වඩාත් සමීප වන්නේ බිහිවෙමින් තිබෙන නව කම්කරු පන්තික අරගලයටයි. යුරෝපය පුරා ඇති කප්පාදුවට එරෙහි අරගල රැල්ල සමීප වනුයේ විසිර යමින් තිබෙන ස්ථාපිත කම්කරු පන්ති අරගලයටයි.

  • නිෂ්පාදන ක‍්‍රියාවලියේදී අරගලය

‘ප‍්‍රාග්ධනය ගමන් කරන්නේ කොතැනටද, ප‍්‍රාග්ධනය හා ශ‍්‍රමය අතර ගැටුම ඉක්මනින් එහි ළඟා වේ’ යනුවෙන් වන ප‍්‍රසිද්ධ අදහස චීන අරගල රැුල්ල විස්තර කිරීමට යොදාගත හැකිය. එය වෙනත් ආකාරයකින්ද ප‍්‍රකාශ කළ හැකිය. 20 වැනි සියවස මැද භාගයේ සිට වර්තමානය දක්වා වරින්වර නැවත නැවත ලෝකය පුරා පැතිර ගිය මහා නිෂ්පාදන ක‍්‍රියාදාමය විසින් ලොව පුරා වැඩ කරන ජනයා පන්තිමය වශයෙන් සංවිධානය කිරීමේ හා මාක්ස් පන්නයේ අරගල ජනිත කිරීමේ ප‍්‍රතිඵල උද්ගත කරවීය. කර්මාන්ත ප‍්‍රාග්ධනය ලාභ හා යටහත් ශ‍්‍රමය සොයා නව භෞමික ප‍්‍රදේශ කරා යන්නේ එකම දේ නැවත නැවත අත්දකිමින්ය. ප‍්‍රාග්ධනය පළායන විට එම ප‍්‍රදේශවල ශ‍්‍රමය දුර්වල වනවා වෙනුවට නව කම්කරු පන්තියක් බිහි කරමින් වැඩ කරන ජනතාවගේ ශක්තිමත් නව කම්කරු ව්‍යාපාරයන් බිහි වේ.
‘කර්මාන්ත ආශ්චර්යයන්’ (Miracles of Manufacture) ලෙස හඳුන්වාදෙන ලද මෙම ගතිකත්වය 1960 දසකයේදී දකුණු අප‍්‍රිකාවේ හා බ‍්‍රසීලයේද 1970 දසකයේ දකුණු කොරියාවේද දක්නට ලැබිණි. පරම්පරාවක් තුළ ’කම්කරු ව්‍යාපාර ආශ්චර්යයන්’ (Miracles of Labour Movement) බිහි කරමින් ලාභ හා යටහත් ශ‍්‍රම බලකායක් වෙනුවෙන් කම්කරුවන් වෙත මර්දනය මුදා හැරි ආණ්ඩු පවා පෙරලා දැමුණි. මේ තත්වයට අද චීනය මුහුණ දී ඇත.

චීනයේ කම්කරු අරගල රැල්ලට ධනපතියන් විසින් දැක්වූ එක් ප‍්‍රතිචාරයක් වන්නේ කම්හල් ඉවත්කරගෙන බංග්ලාදේශය, වියට්නාමය, කාම්බෝජය වැනි ලාභ ශ‍්‍රමිකයන් බහුල ආසියාවේ වෙනත් දිළිඳු රාජ්‍යයන් කරා මාරු වීමය. එසේ වුවත් ඒ හැම අවස්ථාවකදීම ‘ප‍්‍රාග්ධනය ගමන් කරන්නේ කොතැනටද, ප‍්‍රාග්ධනය හා ශ‍්‍රමය අතර ගැටුම ඉක්මනින් එහි ළඟා වේ’ යන අදහස යළි යළිත් සනාථ විය. ආයෝජනය සඳහා වඩාත් ආකර්ෂණයක් ඇති කලාපවල කම්කරු අරගල පිළිබඳ දැන් වාර්තා වෙමින් තිබේ. එය දැන් ප‍්‍රාග්ධනයට පළායාමට ලෝකයේ වෙනත් තැන් ඉතිරිව නැති තත්වයක් කරා ළඟාවෙමින් තිබේ.
ධනපතියන් විසින් කම්කරු අරගලවලට දෙන තවත් ප‍්‍රතිචාරයක් නම් නිෂ්පාදන ක‍්‍රියාවලිය ස්වයංක‍්‍රීයකරණය (Automation of Production) සඳහා පැවැති ක‍්‍රියාවලිය ශීඝ‍්‍ර කිරිමය. එවිට කම්කරුවන් පාලනය කිරීම පිළිබඳ ප‍්‍රශ්නය විසඳනු ඇත්තේ නිෂ්පාදන ක‍්‍රියාවලියෙන් කම්කරුවන් පළවා හැරීමෙනි. එසේවුවද නිෂ්පාදන ක‍්‍රියාවලියේ කම්කරු අරගල යනු සමස්ත කම්කරු අරගල ක්ෂේත‍්‍රයටම බලපාන කාරණයකි. එසේවුවද නිෂ්පාදන ක‍්‍රියාදාමයෙන් මිනිස් ශ‍්‍රමය පූර්ණ වශයෙන් පළවා හැරීම තවමත් කළ නොහැකි දෙයකි. එපමණක් නොව, පශ්චාත් ෆෝඞ්වාදී කර්මාන්ත සැකැස්ම විසින් නිෂ්පාදන ක‍්‍රියාවලියේ ඇතැම් අංශවලදී කම්කරුවාට හිමි තීරණාත්මක බව අහිමි කර කම්කරු අරගලවල කේවල් කිරීමේ බලය දුර්වලකර ඇතැයි සාහිත්‍යමය වශයෙන් අවධානය යොමු කර තිබියදී පවා ඇත්ත වශයෙන් එම බලය ඉහළ නංවා තිබේ.

නිදසුනක් ලෙස නිෂ්පාදන ක‍්‍රියාවලියේදී සිදුවන ප‍්‍රමාදයන්, අකාර්යක්ෂමතා සාධක, කාලය, අමුද්‍රව්‍ය හා ශ‍්‍රමය අපතේ යාම වැනි අඩුපාඩු අවම කරන්නට හඳුන්වා දුන් න්‍මිඑ සබ ඔසපැ ඡුරදාමජඑසදබ ක‍්‍රමවේදය නිසා කම්කරුවාට නිෂ්පාදන ක‍්‍රියාදාමය අහෝසි කිරීමේ හැකියාව ඉහළය. ඒ නිසාම එහිදී කම්කරුවන්ගේ තීරණාත්මක බලය ඉහළ දමා ඇත. රථවාහන නිෂ්පාදන කර්මාන්තයේදී එකලස් කම්හල් වෙත කොටස් යවනු ලබන්නේ නිෂ්චිත ඇණවුමකට අවශ්‍ය ප‍්‍රමාණවලින් පමණකි. එසේ කොටස් සැපයුම වෘත්තිය ක‍්‍රියාමාර්ගයක් ලෙස නතර කළහොත් ඒ තීරණාත්මක අංශයේ නැවතීම විසින් රථවාහන කම්හල් ගණනාවක ක‍්‍රියාවලිය දිනයක හෝ අඩු කාලයකදී සම්පූර්ණයෙන් ඇණහිටුවීමේ හැකියාව කම්කරුවන්ට හිමි වේ. 2010 චීනයේ සිදුවූයේ එයයි. හොන්ඩා අමතර කොටස් සැපයුම් නතර කිරීමෙන් මුළු මහත් චීනයේම හොණ්ඩා රථවාහන නිෂපාදන කම්හල් අඩපණ කිරීමට හැකි විය.

ඒ ආකාරයටම නිෂ්පාදනය හා වෙළෙඳාම ගෝලීය ක‍්‍රියාවලියක් බවට පත්වීමෙන් පසු ප‍්‍රවාහන හා සන්නිවේදන ක්ෂේත‍්‍රයේ සේවකයන් සතු කේවල් කිරීම් හැකියාව ඉහළ නැගුණි. එයින් කලාපීය හෝ ජාතික මට්ටමේ පමණක් නොව ලෝක පරිමාණ සැපයුම් බිඳවැට්ටවීමක් සිදු කළ හැකිය. 2011 ඊජිප්තුවේ ජනතා නැගිටීම පිළිබඳ ප‍්‍රධාන කතාව තහීර් චතුරශ‍්‍රය අත්පත් කරගැනීම හා වීදියේ විරෝධතා ඔස්සේ පෙළ ගැසි ඇති නමුත් හොස්නි මුබාරක්ට ඉල්ලා අස්වීමට බලපෑමක් අන්තර්ජාතික මට්ටමෙන් ආවේ සූවස් ඇලේ කම්කරුවන් වැඩ නැවැත්වීමෙන් පසුවය.

  • වීදියේ අරගලය

වර්තමානයේත් අනාගතයේත් නිෂ්පාදන ස්ථානයේ අරගලවලදී කම්කරුවාගේ භූමිකාව අවතක්සේරු කිරීම වරදක්වනු ඇත. එසේම වීදියේ සිදුවන අරගලයේ භූමිකාව අවතක්සේරු කිරීමද වරදක් වනු ඇත. මේ අරගල බිම් දෙකේ අන්තර්සම්බන්ධිත ස්වභාවය පිළිබඳ මාක්ස් විසින් ලියූ ප‍්‍රාග්ධනය කෘතියේ පළවෙනි පරිච්ෙඡ්දයෙන් වටහා ගත හැකිය.

කර්මාන්තමය නිෂ්පාදනයේ සැඟවුණු තත්වය හෙළිදරව් කිරීමට ප‍්‍රාග්ධනයේ 1 වැනි පරිච්ෙඡ්දයේ මැද කොටසේදී මාක්ස් උත්සාහ දරා ඇත. වැඩකිරීමේ කාල පරාසය, ප‍්‍රබලතාවය හා වේගය යන සාධක මත ප‍්‍රාග්ධනය හා ශ‍්‍රමය අතර ගැටුමේ ආවේනික ආකාරය එහිදී මාක්ස් විසින් හෙළිදරව් කළේය. එදා එසේ හෙළි කළ නිෂ්පාදන ස්ථානයේදී ප‍්‍රාග්ධනය හා ශ‍්‍රමය අතර ගැටුමේ ආවේනික ස්වභාවය අදටත් එක සේ අදාළය. අනෙක් අතට මාක්ස් විසින් ප‍්‍රාග්ධනයේ 25 වැනි පරිච්ෙඡ්දයේදී ආකාරයට ධනපති සංවර්ධනය විසින් වැඩබිමේ නොනවතින අරගල ඇති කරනවා පමණක් නොව, වඩා පුළුල් තලයේ සමාජ ගැටුම් ඇති කරයි. ප‍්‍රාග්ධන සංකේන්ද්‍රණය විසින් දුක්ඛිතභාවයද සංකේන්ද්‍රනය කරයි. රැුකියා විරහිතයන්, අඩු මට්ටමේ රැුකියා හිමිවූවන් හා අවදානම් සහිත රැකියා සහිතවූවන් යන මේ සියල්ලෝ එකී දුක්ඛිතභාවය තුළ ගිලී යති.

මෙම දෘෂ්ටිකෝණයෙන් බැලූවිට ඓතිහාසික ධනවාදය යනු නිර්මාණශීලී බිඳහෙලීම් සහිත චක‍්‍රිය ක‍්‍රියාවලියක් පමණක් නොව එහි ඇත්තේ නව ජීවිතයක් ගොඩනැගීමට වඩා වේගයෙන් ජීවිත බිඳහෙලීමේ ප‍්‍රවණතාවකි. මේ නිසාම පෙනී යන්නේ දැනට පවතින මාක්ස් පන්නයේ කම්කරු අරගල හා පොලනි පන්නයේ කම්කරු අරගලවලට අමතරව තුන්වැනි අරගල ආකාරයක්ද අවශ්‍ය බවයි. මෙම තුන්වැනි අරගල ආකාරය හැඳින්වීමට නමක් මා නොදනිමි. එහෙත් එම අරගලය සමන්විත වන්නේ ප‍්‍රාග්ධනය විසින් අමතක කර ඉවත දමනු ලබන කම්කරුවන්ගේ විරෝධතාවයන්ගෙනි. මේ කියන කම්කරුවන්ටද සිය ශ‍්‍රම ශක්තිය හැර විකිණීමට අන් යමක් නැත. එහෙත් ඔවුන්ට ජීවිතකාලය පුරාම එම ශ‍්‍රම ශක්තිය විකිණීමේ අවස්ථාව හිමිවන්නේ අවම වශයෙනි.

මේ තුන්  ආකාරයේ කම්කරු අරගල යනු ධනපති සංර්ධනය නමැති එකම ක‍්‍රියාදාමයේ විවිධ ප‍්‍රකාශවීම්ය. මෙම තුන් ආකාරයේම කම්කරු අරගල ලොව පුරා දක්නට ලැබෙන ශ‍්‍රමය හා පන්තිය පදනම් කරගත් අරගලයන්ය. ලොව පුරා රැුකියා විරහිත තරුණයන්ගේ දැවැන්ත විරෝධතා තුන්වැනි ආකාරයේ අරගල සඳහා ඇති ලාක්ෂණික උදාහරණ වේ. කෙසේවෙතත් අවසානයේ මේ තුන් ආකාරයේ අරගලවල ඉරණම එක් එක් අරගලවල ඉරණම සමග අන්තර්සම්බන්ධිතය.

  • වැඩකරන පන්තිය එක්සත් කිරිම

කම්කරුවන්ගේ ජාත්‍යන්තර සමගිය සහ නිර්ධනයන්ගේ අරගලවල ඇති විපර්යාසකාරී බලය කෙරෙහි මාක්ස් බැලූවේ සුභවාදී ලෙසය. ධනපති සංවර්ධනය තුළ ද්‍රව්‍යමය ප‍්‍රසාරණයේදී වැටුප් ශ‍්‍රමිකයන් ලෙසත්, ප‍්‍රතිව්‍යුහගතකිරීම්වලදී පිටමං කෙරෙන ශ‍්‍රමිකයන් ලෙසත්, ප‍්‍රාග්ධනයට අනවශ්‍ය අතිරික්ත ශ‍්‍රම බලකාය ලෙසත් මේ තුන් ආකාරයේ ජනකායක් මාක්ස් පැවසූ වැඩකරන පන්තිය තුළ ඇතුළත් විය. ඔවුහු එක්ව ජිවත් වෙමින් එක්ව අරගල කළහ.
වැඩ කරන ජනතාවගේ අන්තර්ගත රැකියා නියුක්ත හා රැකියා විරහිත එසේ නැතිනම් ක‍්‍රියාකාරී හා අතිරික්ත ශ‍්‍රම බලකාය අතර වෙනස පිළිබඳ අදහස මාක්ස් සතු විය. නිෂ්පාදන ක‍්‍රියාවලියේදී ප‍්‍රාග්ධනය සමග ගැටෙන්නට හැකියාවක් ඔවුන්ගෙන් එක් පිරිසක් සතුය. අනෙක් පිරිසට වීදියේදී අරගල කරමින් සාමය කඩ කිරීමේ හැකියාව ඇත. පුරවැසිභාවය, ජාතික අනන්‍යතා, ආගමික වෙනස්කම් හා් ස්ත‍්‍රී පුරුෂ බේද එහිදී වැදගත් නොවිණි. ඒ නිසා අරගලකාරී අරමුණු පැත්තෙන් තුන් ආකාරයක පැවැත්මක් තිබුණද ඔවුහු එකම වැඩකරන පන්තික ජනකායකි. ඔවුහු සතු බලය මෙන්ම දුක් පීඩාවන් එක හා සමානය. එසේම ලෝකයේ වැඩකරන ජනතාව ලෙස සාමුහිකව ක‍්‍රියාත්මක විමෙන් විමුක්තිය හිමිකරගැනීමේ හැකියාව හා දැක්ම ඔවුන් සතු වේ.

කෙසේවෙතත්, ඓතිහාසික වශයෙන් ධනපති ක‍්‍රමය වර්ධනය වූයේ යටත්විජිතවාදය, ජාතිවාදය, පීතෘමූලිකත්වය වැනි වැඩකරන පන්තිය බෙදා වෙන්කරන සාධකයන්ද සමගය. ලිංගික, පුරවැසි, වාර්ගික හා ජාතික අනන්‍යතා නිසා එසේ පන්තියක් ලෙස විමුක්තිය උදාකරගැනීමේදී අවශ්‍ය දැක්ම දුර්වලවීමක් එහිදී සිදු විය.

අද වනවිටත්, එවැනි බෙදුම් රේඛා සවිමත්වීමේ තත්වයක් උදාවෙමින් තිබේ. විදේශිකයන් කෙරෙහි සතුරුභාවය, සංක‍්‍රමණික ශ‍්‍රමිකයන්ට එරෙහිවීම වැනි හැඟීම් වර්ධනය වෙමින් පවතී. සංක‍්‍රමණික ශ‍්‍රමිකයන් සීමා කිරිමේ හා පුරවැසි වරප‍්‍රසාද සවිමත් කිරීමේ ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ. එසේ වුවත් එහි අනෙක් පැත්තද දක්නට ලැබේ. බෙදුම් රේඛා බිඳීයාම කෙසේ වෙතත් ඒවා බොඳවෙමින් තිබේ. ප‍්‍රාදේශික, ජාතික හා ජාත්‍යන්තර තලයේ වැඩකරන ජනතා ඒකරාශිවීම් තුළ සාමාන්‍ය ප‍්‍රතිවිරෝධතා සමනය කරමින් සහයෝගිතාවය ගොඩනැගෙමින් තිබේ. ඒ නිසා ඉහත සටහන් කළ තුන් ආකාරයේ කම්කරු අරගලවලදී ජනනය කරනු ලබන්නේ විසි එක්වැනි සියවසේ විපර්යාසකාරී හා විප්ලවකාරී විමුක්ති අරගල විභවයයි.

(Beverly J Silver – The Roar )

 




Related News