ශිෂ්‍ය මර්දනය උග්‍රවේ – සිසු මව්පියොත් පොලීසියට
Posted on 06.09.2016 by Madanayaka in දේශීය පුවත් with 0 Comments
ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට පොරොන්දු වී බලයට පැමිණි මේ ආණ්ඩුව දැවැන්ත ශිෂ්‍ය මර්දනයකට පිඹුරුපත් සකසන බවට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරයි. මෙහි අලුත්ම පියවර ලෙස වීශ්වවිද්‍යාල කිහිපයක සිසු නායකයින් කිහිප දෙනෙකුගේ දෙමාපියන් පසුගිය දින වලදී පොලිසියට කැඳවා ඇති බවද එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර පවසයි.
රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් සභාපතිවරයාගේ සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් සභාපතිවරයාගේ පියවරුන් මෙලෙස පොලිස් ස්ථාන වෙත කැඳවා තිබු අතර ආරක්ෂක අංශ නිවෙස් වලට ගොස් තවත් ශිෂ්‍ය නායකයන් ගණනාවකගේ ඥාතීන් බියවද්දා තිබේ.
එහිදී අදාළ පොලිස් ස්ථාන වලින් පියවරුන්ට තර්ජන කර ඇත්තේ තම දරුවා විශ්වවිද්‍යාල තුල දේශපාලන ක්‍රියාකාරකම් වලට් සම්බන්ධ බවත්, වහාම එම ක්‍රියාවන්ගෙන් වැළකී සිටින ලෙසත්ය. එසේම ශිෂ්‍ය නායකයන් පිලිබඳ තොරතුරු සෙවීමට ඔවුන්ට අණ ලැබී ඇති බවත් දන්වා ඇත. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ප්‍රසිද්ධියට පත් කර ඇති එවැනි සිදුවීම් මෙසේය.
*රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් ලේකම් – 16.05.23(ආරක්ෂක අංශ විසින් නිවෙස අවට නිවෙස් වලින් තොරතුරු විමසා විශ්වවිද්‍යාලය තුල දේශපාලනය කරන බවට ප්‍රචාරය කිරීම )
*රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් සභාපති – 16.05.25(පියා පොලිසියට කැඳවා තර්ජනය කිරීම )
*සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති – 16.05.28 (දරුවා දේශපාලනය කරන බව පවසා පියා පොලිසියට කැඳවීම)
*රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් ලේකම් – 16.05.23(ආරක්ෂක අංශ විසින් නිවෙස අවට නිවෙස් වලින් තොරතුරු විමසා විශ්වවිද්‍යාලය තුල දේශපාලනය කරන බවට ප්‍රචාරය කිරීම )
*ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම සභාපති 16.06.03(ආරක්ෂක අංශ නිවෙසට ගොස් තොරතුරු ලබා ගැනීමට උත්සහ කිරීම )
*ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් උප සභාපති16.05.29 (ආරක්ෂක අංශ නිවෙසට ගොස් තොරතුරු ලබා ගැනීමට උත්සහ කිරීම )
*රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ සභාපති 16.05.24(ආරක්ෂක අංශ නිවෙසට ගොස් තොරතුරු ලබා ගැනීමට උත්සහ කිරීම )
*බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් සභාපති හිමියන් 16.06.06(ආරක්ෂක අංශ නිවෙසට ගොස් තොරතුරු ලබා ගැනීමට උත්සහ කිරීම )
*මීට පෙර පේරාදෙණිය සරසවියේ පමණක් සිසු ක්‍රියාකාරීන් 40 දෙනෙකුගේ නිවෙස් වලට ආරක්ෂක අංශ වල පුද්ගලයින් ගොස් තර්ජනය කිරීම් වාර්තා විය. *එසේම මේ වන විට කැළණි විශ්වවිද්‍යාලයේද සිසු ක්‍රියාකාරීන් විශාල ප්‍රමාණයකගේ නිවෙස් වලට ගොස් හා දුරකථන මාර්ගයෙන් තර්ජනය කිරීම් හා බිය වැද්දීම් සිදු කර ඇත.
පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේද මෙවැනි සිදු වීම් ගණනවක් සිදු වූ අතර සිසු ක්‍රියාකාරීන් තිදෙනෙක් ඝාතනය කිරීමද සිදු විය. වත්මන් ආණ්ඩුව නිර්මාණය කිරීමට එම මර්දනයෙන් නැගුනු විරෝධය පාවිච්චි කලද මේ වන විට එම මර්දන ක්‍රියාවලීන් තවදුරටත් වඩා වේගවත්ව සිදු වන බව පවසන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කවර දුෂ්කර තත්වයක් හමුවේ වුවද අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් සටන් වදින බව පවසයි.
Related News