කෝටි 162කට අධික මුදලක් ගනුදෙනුකරුවන්ගෙන් වංචනික ලෙස පරිහරණය කළ ‘සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන්’ සමාගමට අදාළ ලිපි ගොනු සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් අතුරුදන්වීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න අද (11දා)අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
මුල්‍ය සමාගම් පනතට පටහැණි ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ ඇතුළු සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය දෙමින්, ඔක්තෝබර් මස 10 වැනිදා එය විභාග කිරීමටද විනිසුරුවරයා තීරණය කළේය. මීට හත් වසරකට පෙර ආරම්භ කර ජනතාවගෙන් මුදල් වංචනිකව ලබාගෙන ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ. මෙලෙස චෝදනා ලබාසිටිනුයේ චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ, ජඹුරුතුඩු ගමගේ කුමාරි අනුරාධිනී, ඩබ්.ඒ. දර්ශනී මධුවන්ති, දිමන්ති සන්දීපිකා අධිකාරම්, නීතිඥ ජේ.ඒ. උපේකෂා සංකේතා ජයසූරිය, බී.ඒ. අසිත ප්‍රභාත්, නාලක තුෂාර කරුණානායක, චතුරි අප්සරා සරත්චන්ද්‍ර, සිත්රුවන් ධනංජය හේවාගම, චානක සුරේෂ් සිරිවර්ධනසහ කේ.බී. කේසර සාමකුමාර නමැත්තන්ය.