ලාභ ඉපදවීම අරමුණින් ලාංකීය ස්ත‍්‍රීන් ශ‍්‍රම වහලියන් ලෙස විදේශයන්ට විකිණීමට එරෙහිවත් කාන්තාවන්ගේ වහල්භාවය අහෝසි කිරීම සඳහාත් පාලකයන්ට බල කරමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද (17) දින කොළඹ කොටුවේදී විරෝධතාවක් පැවැත්වීය.
විදෙස් ගෘහ වහල් සේවයේ යෙදී සිටින ලාංකීය කාන්තාවන්ට සිදුවන හිරිහැර, අසාධාරණකම්, හිංසා පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අරමුණු කරගෙන ගෙන යන වැඩසටහන් මාලාවේ එක් උද්ඝෝෂණික පියවරක් මෙසේ සටහන් විය. එහිදී සටන් පාඨ ලෙස ගනු ලැබුවේ මේවාය.
-
ලාභ ශ්‍රමයට ස්ත්‍රිය විදේශයට විකිණීම නවතනු!
-
විදෙස් වහල් රැකියා වෙනුවට සුරක්ෂිත රැකියා තහවුරු කරනු!
-
විදෙස් ගත ස්ත්‍රියගේ ජිවිත ආරක්ෂාව තහවුරු කරනු!
-
විදෙස්ගතව අතරමන්වුවන් වහා ගෙන්වාගනු!
-
අතවර සහ හිංසනයන්ට ලක්වූවන්ට වන්දි ගෙවනු!
මැද පෙරදිග ඇතුළු විදෙස් රටවල සේවයේ නියුතු කාන්තාවන් විවිධ අතවරවලට, අඩත්තේට්ටම්වලට ලක්ව ඇති බවත් එහෙත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට රජය කිසිදු උත්සාහයක් නොගන්නා බවත් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න පවසයි. විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා එවැනි රටවලට ගොස් සති ගණන් සාකච්ඡා පවත්වන ආණ්ඩුව විදෙස්ගත ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් සිදුකර නොමැති බව ද ඇය පෙන්වා දෙයි.


