தமிழ்
English
Contact
Wednesday 4th April 2018    
කම්කරුවන් මර්දනය ආපස්සට හැරවීමට එක් වෙමු! - කම්කරු අරගල මධ්‍යස්ථානය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කම්කරුවන් මර්දනය ආපස්සට හැරවීමට එක් වෙමු! – කම්කරු අරගල මධ්‍යස්ථානය



හම්බන්තොට වරාය සේවකයන් විසින් සේවය ස්ථිර කරන ලෙසත් පෞද්ගලිකකරණය නොකරන ලෙසත් ගෙන ගිය වැඩ වරර්ජනය මැඩලීමට සේවයට නොපැමිනෙන සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීමට ගත් තීරණය ආපසු හැරවීමට එක්ව සටන් කළ යුතු බව කම්කරු අරගල මධ්‍යස්ථානය පවසයි.

එම සංවිධානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව විසින් ඊයේ නිකුත් කළ මෙම නිවේදනය අනුව අවධාරනය කෙරෙන්නේ 1980 ජූලි වර්ජකයන් දඩයම් කිරීමට ගෙන ආ උපක්‍රමය මෙලෙස වත්මන් ආණ්ඩුව ගෙන ආ මෙම තීරණය පරාජය කළ යුතු බවයි.

පහත පළ වන්නේ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සම්පූර්ණ නිවේදනයයි


හම්බන්තොට වැඩවර්ජිත වරාය කම්කරුවන් සේවය හැර ගියා සේ සැලකීමට ගෙන ඇති තීරණය ආපස්සට හැරවීමට එක් වෙමු!

තමන්ගේ සේවය ස්ථිර කරන ලෙසත් හම්බන්තොට වරාය චීන සමාගමකට විකුණා නොදමන ලෙසත් බල කරමින් වැඩවර්ජනයක නිරතව සිටින හම්බන්තොට වරායේ සේවකයන්ට හෙට (15) ප.ව. 2.00ට පෙර සේවයට වාර්තා කරන ලෙසත් එසේ සේවයට වාර්තා නොකරන සේවකයන් සේවය හැර ගියා සේ සලකන බවත් මාගම්පුර වරාය කළමනාකරණ සමාගම සහ ආණ්ඩුව ප‍්‍රකාශ කර තිබේ. වරාය භාර ඇමැතිවරයා වන අර්ජුණ රණතුංග ප‍්‍රකාශ කර තිබෙන්නේ හම්බන්තොට වරායේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය ගෙන ඇති තීරණයකට අනුව මෙම නියෝගය සිදු කර තිබෙන බවයි. ඒ අනුව පිළිගත් කම්කරු නීතිවලින්ද තහවුරු කර තිබෙන වැඩවර්ජනය කිරීමේ අයිතිය උල්ලංඝනය කරමින් හම්බන්තොට වරායේ සේවකයන් වෙත නිකුත් කර තිබෙන නියෝගය ආණ්ඩුවේ අවශ්‍යතාවට නිකුත් කළ එකක් බව පැහැදිලිය. එනම්, රටේ පිළිගත් නීති උල්ලංඝනය කර තිබෙන්නේද ආණ්ඩුවමය.

ආණ්ඩුව වැඩකරන ජනතාවගේ මූලික අයිතීන්ද උල්ලංඝනය කරමින් වැඩවර්ජනය කඩාකප්පල් කිරීමට උත්සාහ කරන්නේ වැඩවර්ජිත කම්කරුවන් මුහුදුකොල්ලකරුවන් ලෙස හඳුන්වමින් නාවික හමුදාපතිවරයාද පෞද්ගලිකවම මැදිහත්වී සිදු කරන ලද තිරිසන් ප‍්‍රහාරය අසාර්ථක වීමෙන් පසුවය. වැඩවර්ජිත කම්කරුවන් මුහුදුකොල්ලකරුවන් ලෙස හැඳින්වීම ආණ්ඩුවේ විසුළුකාරී තකතීරු කතාවක් ලෙස අප තේරුම් නොගත යුතු අතර එම ප‍්‍රකාශයේ ඇති සැබෑ අර්ථය වටහා ගත යුතුය.

2017  වර්ෂය සඳහා ආණ්ඩුවේ අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මුදල් ඇමැතිවරයා ප‍්‍රකාශ කළේ ලංකාවේ පවතින කම්කරු නීති ආයෝජකයන්ට හිතකර නොවන බැවින් ඒවා සංශෝධනය විය යුතු බවයි. ඊට අදාළ සාකච්ඡා සහ උත්සාහයන් කාලයක් තිස්සේ දියත් වෙමින් තිබේ. කම්කරු අයිතිවාසිකම් යම් හෝ මට්ටමකට ආරක්ෂා කෙරෙන පනත් 14ක් සංශෝධනය කිරීමට සැරසෙන්නේ ඒ අනුවයි. එමෙන්ම පසුගිය අපේ‍්‍රල් 18 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය භාර ඇමති සාගල රත්නායක සඳහන් කළේ, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර එහි ඇති බලතල වෙනත් පනත් තුනක් හරහා ක‍්‍රියාත්මක කරන බවයි. එම පනත් අතරට ‘අත්‍යවශ්‍ය සේවා  අඛණ්ඩව පවත්වාගෙන යාමේ පනත’ නමින් නව නීතියක්ද ඇතුළත් වේ. මේ සමස්ත ක‍්‍රියාවලිය දෙස බැලීමේදී ආණ්ඩුව නමැති ගොනා හැරෙන්නේ කම්කරු අයිතිවාසිකම් නමැති පොල් පැලය කා දැමීමට බව පැහැදිලිය.

වැඩවර්ජනයේ නිරත සේවකයන් සේවය හැර ගියා සේ සැලකීමේ අත්තනෝමතික ක‍්‍රියාමාර්ගය මුලින්ම ගනු ලැබුවේ වත්මන් අගමැතිවරයාගේ මාමා වූ ජේ.ආර්. ජයවර්ධන විසින් 1980 ජූලි වර්ජකයන්ට එරෙහිවය. පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් තබා ගෙන එදා ජේ.ආර්. ජයවර්ධන විසින් අනුගමනය කරන ලද අත්තනෝමතික, ජනතාද්‍රෝහී පිළිවෙත ඉන් පසු බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම විවිධ මාත‍්‍රාවෙන් ක‍්‍රියාත්මක කළ අතර වත්මන් එජාප-ශ‍්‍රීලනිප හවුලද එම මාවතේම ගමන් කරමින් සිටින බව පෙනේ. විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩවර්ජනය මර්දනය කිරීම සඳහාද මෙලෙස සේවයට වාර්තා නොකරන සේවකයන් සේවය හැර ගියා සේ සලකන බව ප‍්‍රකාශ කරමින් ආණ්ඩුව උඩුබුරු ලෑ නමුත් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ වෙනත් සංවිධානද එක්ව දැක්වූ විරෝධය නිසා ආණ්ඩුවට වලිගය දෙපා අස්සේ රුවාගෙන පල්ලම් බැසීමට සිදු විය. ඒ අවස්ථාවේ අසාර්ථක වූ ක‍්‍රියාමාර්ගය නැවතත් අත්හදා බැලීමට එජාප-ශ‍්‍රීලනිප හවුල අරඅඳිමින් සිටී.

යම් හෙයකින් මෙම නියෝගය ජයග‍්‍රහණය කිරීමට ආණ්ඩුව සමත් වුවහොත් එය ඉතා අහිකර පූර්වාදර්ශයක් වීමට ඉඩ තිබේ. එම නිසා මෙම අත්තනෝමතික, ජනතා ද්‍රෝහී ක‍්‍රියාමාර්ගය කිසිසේත්ම ජයග‍්‍රහණය කිරීමට ආණ්ඩුවට ඉඩ නොදිය යුතුය. ඒ සඳහා සියලූ භේද පසෙක තබා සමස්ත වැඩකරන ජනතාව, වෘත්තීය සමිති සහ සංවිධාන පෙළ ගැසිය යුතු බව අවධාරණය කරනු කැමැත්තෙමු.

දුමින්ද නාගමුව – සංවිධායක ලේකම්

කම්කරු අරගල මධ්‍යස්ථානය

2016.12.14




Related News