Posted on 09.29.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ලේකම් ලලිත් වීරතුංගට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට නියම වූ දඩ මුදල භික්ෂුන් පිරිසක් විසින් සිගා යාමෙන් උපයාගත් මුදල් එම කාරණය සදහා නොදී රණවිරු සුබසාධනයට ලබාදෙන බව ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි ප්‍රකාශ කරයි.
රාජ්‍ය අරමදුල් රු. මිලියන 600ක් අවභාවිත කිරීමේ වරදට සිරගත කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිටට නියම වූ දඩමුදල් ගෙවීම සඳහා පිහිටුවා ගනු ලැබූ සිල් රෙදි සිරකරුවන් සුරැකීමේ අරමුදලට රු. 287,828 ක මුදලක් එකතු වූ බව එම අරමුදලේ භාණ්ඩාගාරික පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කළා.
අද (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ එම මුදල් රණවිරු සුබසාධනය සඳහා යෙදවීමට තීරණය කළ බවයි.
සිල්රෙදි නඩුවට අදාළව මහාධිකරණය විසින් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සහ අනූෂ පැල්පිටට වසර 3 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ අතර, රුපියල් ලක්ෂ 20 බැගින් දඩ සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට රුපියල් මිලියන 50 බැගින් වන්දියක් ගෙවන්නට නියෝග කෙරිණි. අදාළ දඩ සහ වන්දි මුදල් ගෙවීම සඳහා සිල්රෙදි සිරකරුවන් සුරැකීමේ අරමුදල පිහිටුවා ගනු ලැබූ අතර, භික්ෂුන් පිරිසක් කොළඹ දී සහ කිරිබත්ගොඩදී අදාළ මුදල් එක්රැස් කිරීම සිගායන චාරිකාවල නිරත වූහ.
ඉන්පසුව රාජපක්ෂ පාර්ශ්වයට පක්ෂපාත භික්ෂුන්ගේ මෙම සිගායාම රාජපක්ෂවරුන්ගේ කලු සල්ලිවලින් දඩය ගෙවීම සුජාතකරණය කිරීමේ උපක්‍රමයක් ලෙසද ඇතැමුන් විසින් චෝදනා එල්ලකරන ලදී. එහිදී කියැවුණේ සිගායාමෙන් විශාල මුදලක් ලැබුනු බව පවසමින් ඇත්ත වශයෙන්ම පසුගිය සමයේ වංචනික ලෙස ඉපයූ එහෙත් මූලාශ්‍ර හෙලිකරල නොහැකි ධනයෙන් එම දඩමුදල් හා වන්දි ගෙවා දැමිමේ උත්සාහයක් ඇති බවයි. කෙසේවෙතත් උපයාගත් මුදල රනවිරු අරමුදලක් ලෙස ලබාදෙන්නේ ඇයිද යන්න මැදගොඩ අභයතිස්ස හිමි ප්‍රකාශ කලේ නැත.
