தமிழ்
English
Contact
Thursday 14th December 2017    
මරණ සහතික අතැති හෘද රෝගීන් අනතුරට හෙළා ඇත්තේ සෞඛ්‍ය ඇමති – වෛද්‍ය ගිෂාන්ත දසනායක « Lanka Views | Views of the truth

මරණ සහතික අතැති හෘද රෝගීන් අනතුරට හෙළා ඇත්තේ සෞඛ්‍ය ඇමති – වෛද්‍ය ගිෂාන්ත දසනායක



කොළඹ ජාතික රෝහලේ හෘද හා උරස් ශල්‍යාගාර තවදුරටත් රෝගි ජිවිතවලට අවදානම් සහගත බැවින් එම සැත්කම් නතර කරමින් ශලයාගාර වසා දමන්නට එහි සේවය කරන වෛද්‍ය විශේෂඥවරු තීරණය කරණ ලදී. මෙ තත්වය නිසා හෘද හා උරස් රොගින්ට විශාල ගැටලු රැසක් ඇතිව තිබෙන බව ‘නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය‘ පවසයි.  දෙසැම්බර් 5 වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ බව සදහන් කලේ එම ව්‍යාපාරයේ කැදවුම්කරු වෛද්‍ය ගිෂාන්ත දසනායක විසිනි.

වෛද්‍ය ගිෂාන්ත දසනායක කළ අදහස් දැක්වීමේ කෙටි සටහන් පහත පළ වේ.

“මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය ඒකක වසා දමා තිබෙන බව ඔබ දන්නවා. දෙසැම්බර් 1 වැනිදා සිට ඒවා වසාදැමුවත් මෙහි ගැටලුව මීට වඩා බොහෝ කාලයක් ඇදී ආව ගැටලු රාශියක වර්තමාන ප්‍රකාශනය විතරයි. ශල්‍ය වෛද්‍යවරු මේ සම්බන්ධව බලධාරින්ට කළ දැනුවත් කිරීම් සම්බන්ධ නිසි අවධානයක් නොතිබීම නිසා අවසානයේ රෝගි ජිවිත අනතුරට පත්ව තිබෙනවා. දැන් මේ වසා දැමීමට පෙර 2016 අප්‍රේල් සිට මාස 18ක් තිස්සේ හෘද රෝග සම්බන්ධ අනෙක් ශල්‍යාගාරය වසා දමා තිබෙනවා.

මෙසේ දෙසැම්බර් 1 වැනිදාවනවිට අනෙක් ශල්‍යාගාරය වසා දැමුවෙ රෝගී ජීවිතවලට හානියක් නැතිව සැත්කම් කරන්න හැකි තත්වයක් තවදුරටත් නැති නිසයි. අබලන් ශල්‍යාගාර අලුත්වැඩියාව භාරගත් කොන්ත්‍රාත්කරුවා එය සම්පූර්න නොකර ඉන්නෙ මුදල් නොගෙවීම නිසා. නමුත් ඔහු වැඩ ප්‍රමාද කිරීම හේතුවෙන් ඔහුට විරුද්දව ක්‍රියාත්මක වෙන්නෙ නැත්තෙ ඔහු දේශපාලන හෙංචයියෙක් නිසා වියයුතුයි. කොන්ත්‍රාත්කරුවා වැඩ අවසන් කරන බවට දින නියම කළ අවස්ථා 5ක් තිබුනා. අවසාන දිනය පසුගිය සැප්තැම්බර්. නමුත් තවමත් එම කටයුතු අවසන් කර නෑ.  දෙසැම්බර් 1 වැනිදා අනෙක් ඒකකය වසා දමන්න වෛද්‍යවරු තීරණය කර තිබෙන්නේ සාධාරන හේතු ඇතිවයි. ඒ ශල්‍යාගාරය 1923 හදපු එකක්. ශල්‍යාගාරයේ වහලය අබලන්ව දිරා යනවා. යාබද දැඩි සත්කාර ඒකකයත් තෙමෙනවා. යාබද ඖෂධ ගබඩාව වැසි ජලය නිසා පවත්වා ගෙනයාමේ අවදානමක් තිබෙනවා. මාස 9ක් අබලන්ව අති මධ්‍ය වායුසමීකරණ පද්ධතිය අබලන් නිසා වතුර ගලා යනවා. අබලන් වායු සමීකරණ පද්ධතියෙන් දූවිලි කුට්ටි වශයෙන් කඩා වැටෙනවා. ශලයාගාරවල බිමට ඇල්ලූ ටෙරාසෝ කැඩිලා දිය රැදෙනවා. මේ නිසා ශල්‍යාගාරයක් තුල ජිවානුහරණය කල නොහැකි තත්වයක් තිබෙන්නෙ. කාලයක් තිස්සේ මේ තත්වය නොසලකා ශල්‍යකර්ම කරගෙන ආවා. නමුත් ඒ රෝගින් ගැන හිතලා කළා වුණාට දැන් තත්වය අවදානම්. ශල්‍යකර්ම කලත් රෝගින් ආසාදන නිසා මිය ගියා. ශල්‍යකර්මවල ඌණතා නිසා නොව ආසාදන නිසා මරණ සිදුව තිබෙනවා. දෙැසම්බර් 1 සිට මෙම ශල්‍යාගාර වසාදමන්න සිදුව තිබෙන්නෙ මෙම ගැටලුවලට විසදුමක් නැති නිසයි. සෞඛ්‍ය ඇමතිට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයට, රෝහල් අධ්‍යක්ෂ ඇතුළු වගකිවයුත්තන්ට මේ පිළිබද කළ දැනුම්දීම් නිෂ්ඵලවීම නිසා වෙන කරන්න දෙයක් නැතිව ශල්‍යකර්ම කිරීමෙන් රෝගි ජිවිත අවදානමට වැටෙන නිසා එම ශල්‍යාගාර වසා දමන්න ඔවුන් තීණය කර තිබෙනවා. කොළඹ පමනක් නෙවෙයි කරාපිටිය හෘද සැත්කම් ඒකකය විටින්විට සැත්කම් නතරවන තැනක්. කාර්ය මණ්ඩල අතර පාලකයන් විසින් කල මැදිහත්විම නිසා ඇති වූ අසමගියක් ලෙසයි දකින්න තියෙන්නෙ.

මේ සියල්ල මෙසේ අක්‍රමවත්ව තිබියදී ආන්ඩුව ප්‍රකාශ කළා යාපනය හා කුරුනෑගල රොහල් ආශ්‍රිත හෘද සැත්කම් ඒකක පිහිටුවන බව. නමුත් එවැනි ඒකකවලට ගොඩනැගිලිවත් පහසුකම්වත් නොදී මුලින්ම කලේ හෘද ශල්‍ය විහේෂඥ වෛද්‍යවරුන් පත්කර යැවීමයි. නමුත් ඒ විහේෂඥ හැකියාව තිබියදී කරන්න වැඩ නැති නිසා එවුන් වෙනත් ඒකකවල සේවය කරමින් හිටියා. දැන් එක් වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වී පෞද්ගලික සේවයේ යෙදෙමින් අධික ලෙස මුදල් උපයමින් ඉන්නවා. ඔන්න ඒකයි සෞඛ්‍ය සේවයේ තත්වය.

දැන් මේ අලුතින් පිහුටවන බව කියන හෘද සැත්කම් ඒකකවලට යන්න හිටිය රෝගින් කොළඹ සහ නුවර හෘද රෝග ශල්‍යාගාරවල පොරොත්තු ලේඛනවල ඉන්නවා. මේ නිසා හෘද රෝගියෙක් කොයි තරම් අවදානමක හිටියත් සැත්කමක් කරන්න අඩුම ගානෙ අවුරුදු දෙක හමාරක් බලා ඉන්න වෙලා තියෙනවා. මේ ශලයාගාර වහන්න කලින් තතිවය. දැන් වැහුවට පස්සෙ පොරොත්තු ලේඛනයෙ කාලය කොයි තරම් වෙයිද කියලා කියන්නත් බෑ. නමුත් අද වනතුරුත් මේ වසා දැමූ ශල්‍යාගාර ප්‍රතිසංස්කරණය කරලා දෙන්න සෞඛ්‍ය අමාත්‍යංශයට වැඩපිලිවෙලක් නැති බව තමයි අපි කියන්නෙ. සෞඛ්‍ය ඇමතිවරයා පම්පෝරි ගැහුවට මේව කරන්න හොයා බලන්න වෙලාවක් නෑ. එයාගෙ කතාවෙම තියෙන්නේ ආණ්ඩුව මේවා කරනවට වඩා පුද්ගලික අංශයට දෙන එක ලාබයි කියලා. දැන් අපට ආරංචි විදියට මේ හෘද රෝග සැත්කම් සදහා පොරොත්තු ලේඛනයේ ඉන්න රෝගින් පුද්ගලික ශල්‍යාගාරවලට යවලා ඒවගේ වියදම් ආණ්ඩුන් ගෙවන්න සූදානමක් සෞඛ්‍ය අමාත්‍යංශයේ තියෙනවා. ඒ පුද්ගලික අංශයට ගෙවන්නෙ ඇමතිවරයගෙ මුදල්වත් ආණ්ඩුවෙ නායකයන්ගෙ මුදල්වත් පරිත්‍යාග කරලා නෙවෙයි. මේ මහජන අරමුදල්වලින් රෝහල් නගා සිටුවන්නෙ නැතිව ඒ සැත්කම්වලට පහසුකමු දෙන්න අඩුපාඩුවට වියදම් කරන්නෙ නැතිව සැත්කම්වලට වියදම් ගෙවන්න යන්නෙ.

මේවනවිට ආණ්ඩුවට හෘද සැත්කම් ඒකක තියෙන්නෙ කොළඹ ජාතික රෝහලේ, කොළඹ ළමා රෝහලේ,  කරාපිටිය රෝහලේ, නුවර රෝහලේ සහ අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස ජයවර්ධනපුර රෝහලේ පමණයි. දැන් කොළඹ රෝහලේ ඒකක වසාදැමීම නිසා තියෙන්නෙ හතරක් පමනයි. නමුත් පෞද්ගලික රෝහල්වල කොළඹ ශල්‍යාගාර 6ක්, යාපනය සහ ගාල්ල තව දෙකක් වශයෙන් 8ක් තිබෙනවා. ඒ නිසා සාමාන්‍ය ජනතාවට ආන්ඩුවෙ රෝහල්වල හෘද ශල්‍ය ඒකක 4යි. නමුත් ආණ්ඩුවෙ අනුග්‍රහයෙන් පෞද්ගලික අංහයෙ හෘද් සැත්කම් ඒකක 8ක් ලබාගෙන තියෙනවා. ලංකාවෙ ජනගහණය මිලියන 20කට හෘද සැත්කම් කළ හැකි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු ඉන්නෙ 22යි. දළ වහයෙන් මිලියනයට එක හෘද ශල්‍ය වෛද්‍යවරයයි. හෘද සැත්කම් වෛද්‍යවරුන්ට තනියම කරන්න බෑ. ඒ වෙනුවෙන් පුහුනු කාර්ය මන්ඩල හිගයක් තිබෙනවා. සමහර අවස්ථාවල වෛද්‍යවරයා හිටියත් සැත්කම් කරන්න බැරි වෙන්නෙ සෙසු කාර්ය මන්ඩල ප්‍රමානවත් නැති නිසයි. ආණ්ඩුව මේ විශේෂඥ වෛද්‍යවරු සහ සෙසු කාර්ය මණ්ඩල පුහුණු කිරීමේ අරමුණකින් වැඩපිළිවෙළකින් කටයුතු කරන බවක් පෙනෙන්නෙ නෑ. ඒ ගැන ඇහුවොත් කියන්නෙ මුදල් නෑ කියලා. නමුත් 2016 අයවැයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන්කළ මුදලින් බිලියන 31ක් ආපහු හරවා යවලා තියෙනවා. ඒ කියන්නෙ වෙන් කළමුදල් ප්‍රමානයෙන් පහෙන් එකක්. මෙහෙම වෙන්නෙ සෞඛ්‍ය ඇමතිවරයාට අවශ්‍යතාවක් නෑ මේ ආපහු යවන මුදල් මේ ශල්‍යාගාර අලුත්වැඩියා කරන්න හෝ යාපනේ, කුරුනෑගල ශල්‍යාගාර හදන්න යොදවන්න. ඒ වෙනුවට එයාගෙ සංකල්පය වෙන්නෙ පෞද්ගලික අංශයට දෙන්න. ප්‍රයිවෙට් පබ්ලික් පාට්නර්ෂිප් තමයි එයාගෙ ඔලුවෙ වඩකරන්නෙ. මුල්ලේරියාව රෝහලය ගියාම එයාට කල්පනා වෙන්නෙ මාලබේ නෙවිල් ප්‍රනාන්දුගෙ හොර ඉස්පිරිතාලෙට ඒක එකතු කරන්නෙ කොහොමද කියන කාරනේ. කොළඹ හෘද ශළ්‍යාගාර පවත්වාගෙන ය්න ප්‍රමුඛතාව දෙනවට වඩා ඒ සැත්කම් කරන්න එන රෝගින් කොහෙම පුද්ගලික රෝහල්වලට යවන්නෙ කියන කල්පනාව එයාට තියෙන්නෙ.

දැන් මේ වසාදැමු ශල්‍යාගාරවල විහේෂඥ වෛද්‍යවරුන්ට නොකියා කියන්නෙ උඹලත් පුලුවන් නම් පුද්ගලික අංහයේ සැත්කම්වලට ගිහිල්ලා කීයක් හරි වැඩියෙන් හම්බ කරගනිල්ලා කියන එකයි. එක අතකින් ජාත රෝහලශෙල්‍යාගාර වසා දමලා තියෙන නිසා ඒ රෝහල්වලට යන්නෙ මරණයක අනතුර ඇති රෝගින්. ඒ අයට පුද්ගලික අංශයෙන් හරි ජිවිතය රැක දෙන්න වෛද්‍යවරු වැඩකරන එක හොදයි. නමුත් මේ නිදහස් සෞඛ්‍ය සේවය තියෙද්දි මුදල්වලට ඒ සැත්කම් කිරීම දිරිගැන්වීම තමයි රජයේ නිදහස් සෞඛ්‍ය ක්‍රියාදාමය අඩපන කිරීම හරහා කරමින් ඉන්නෙ. ආණ්ඩුවට අවශ්‍ය වෙන්නෙ පෞදගලික අංශයට වාසි ලබා දෙන්න නිසා වසා දැමු කොළඹ හෘද රෝග ශල්‍ය ඒකක ප්‍රතිසංස්කරණය කරලා විවෘත කරන්න හෝ යාපනය සහ යෝජිත කුරුනෑගල හෘද ශල්‍ය ඒකක ආරම්භ කරන්න හෝ විශේෂඥ වෛද්‍යවරු ඇතුලු කාර්ය මණ්ඩල පුහුනු කරන්න ආන්ඩුවට අවශ්‍යතාවක් නැති බව පෙනී යනවා. ඒ නිසා මුදල් නොගෙවා ජිවිත බේරාගැනීමට හෘද රෝගින්ට ඇති අයිතිය ඔවුන්ගෙන් උදුරාගනිමින් ඉන්නවා.

නමුත් අපි ආණ්ඩුවට බලකර සිටිනවා නිදහස් සෞඛ්‍ය අයිතිය කප්පාදු නොකර මේ හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය ඒකක පිලිසකර කිරීමට මුදල් යොදවලා රෝගි ජීවිත බේරාගන්න හැකි පරිදි ඒ ශල්‍යාගාර ඉක්මනින් භාවිතයට ගැනීමට සැලසිය යුතුයි. ඒ වගේම අපි ආණ්ඩුවට බලකරනවා මෙම ක්‍රියාදාමය දියුනු කරන්න අවශ්‍ය කාර්ය මණ්ඩල ප්‍රමානවත් ලෙස පුහුනු කළ යුතුයි. දැනට එම ශල්‍යාගාරවල සේවයට සිටින ප්‍රමානවත් කාර්ය මන්ඩල යොදවා රෝගි ජිවිත ආරක්ෂා කිරිම වහාම ආරම්භ කළ යුතුයි. අපි නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය ලෙස මේ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරනවා වගේම දැනට මරන සහතික අතේ තියාගෙන බලා ඉන්න සිදුවෙලා තියෙන රෝගි ජිවිත වෙනුවෙන් ඔවුන් සමග සහ වෙනත් බහුජන සංවිදාන සමග මේ පිළිබද හඩක් නගන්න සූදානම්.“