தமிழ்
English
Contact
Friday 26th January 2018    
විදුලි වර්ජනයට තවත් සමිතියක් එක් වේ - වර්ජනය නවතා සාකච්ඡාවට එන ලෙස ඇමති ඉල්ලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විදුලි වර්ජනයට තවත් සමිතියක් එක් වේ – වර්ජනය නවතා සාකච්ඡාවට එන ලෙස ඇමති ඉල්ලයි



විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති විසින් දියත් කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වන අතර විදුලි බල මණ්ඩල සභාපතිවරයා පවසන්නේ වර්ජනය අසාර්ථක බවයි.

විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සහායෙන් විදුලිය සේවා පවත්වාගෙන යන්නට හැකි බව සභාපතිවරයා පවසයි. එසේම විදුලි ඉංජිනේරු සංගමය චෝදනා කරන්නේ තම සමිතිය වර්ජනයට සම්බන්ධ නොවන බවත් වංචා දූෂණ හා සේවක ඉල්ලීම් පිළිබද කුමක් කීවත් වැඩවර්ජනය කරන්නේ වැටුප් ඉල්ලීම් මත බවයි.

ඉල්ලීම් ලබාදෙනතුරු විදුලි සේවක වර්ජනය අඛණ්ඩව සිදු කරන බව ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් ජනමාධ්‍ය වෙත  පැවසීය. විදුලිබල මණ්ඩලයේ සෝවකයන් කරන රාජකාරී සියල්ල යුද හමුදාවට කළ නොහැකි බවත් හැකිනම් යුද හමුදාව යොදවා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දෙන්නැයි බලධාරීන්ට අභියෝග කරන බවත් ඔහු පැවසීය.

මේ අතර  හෙට(18) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයට එක්වීමට ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය තීරණය කළ බව එම සංගමයේ සභාපති අජිත් මුණසිංහ පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරීවරුන්, සිවිල් අධිකාරීවරුන්, යාන්ත්‍රික ඉංජිනේරුවරුන් සහ අභ්‍යන්තර උසස්වීම් ලැබූ අධිකාරීවරුන් ඇතුළු පිරිස්  සිය සංගමයට අයත් වන බවයි.

කෙසේවෙතත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අභ්‍යන්තර වැටුප් විෂමතා සාකච්චාමය වශයෙන් විසදා ගන්නා ලෙසත් ජනතාව දුෂ්කරතාවට පත් නොකර නැවත සේවයට වාර්තා කරන ලෙසත් විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගෙන් ඉල්ලා ඇත. විදුලිබල මණ්ඩල සේවකයින් වර්ජනයේ යෙදුනු දින දෙක වැටුප් සහිත නිවාඩු දින ලෙස සේවකයන්ට ලබාදීමට පාලන අධිකාරියට උපදෙස් ලබාදුන් බවද ඔහු ප්‍රකාශ කරන ලදී. රජය සමඟවත්, අමාත්‍යාංශය සමඟවත් ඇමතිවරයා ලෙස තමන් සමඟවත් ගැටළුවක් ‍ වර්ජිත සේවකයන්ට නොමැති බව ඔහු පිළිගෙන තිබේ.කෙසේවෙතත් ආයතනික වශයෙන් අභ්‍යන්තරව පවතින ගැටළුවක් බවද ඒ නිසා රටේ ආර්ථිකයට සෘජුවම බලපාන විදුලිය, විසන්ධි වීමකින් තොරව ලබාදීම සඳහා සියලු සේවකයන්ට හෙට දිනයේ සේවයට වාර්තාකරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියි.