தமிழ்
English
Contact
Wednesday 24th January 2018    
අලි - මිනිස් ගැටුම් ‘පාලනය’ වෙනුවට ‘ප්‍රවර්ධනය’ කාගේ උවමනාවක්ද ? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අලි – මිනිස් ගැටුම් ‘පාලනය’ වෙනුවට ‘ප්‍රවර්ධනය’ කාගේ උවමනාවක්ද ?



මෙරට අලි ඇතුන් සම්බන්ධයෙන් කලක සිටම අසන්නට දකින්නට ලැබෙන්නේ සතුටුදායක පුවත් නොවේ. ගල්ගමුවේ දළ පූට්ටුවා සහ තවත් දළ ඇතුන් හා වන අලින් ගණනාවක් ඝාතනයවූ පුවත් පසුගිය ඉතා කෙටි කාලසීමාව පුරවාටද වාර්තාවුනේ එහි ප්‍රතිපලයක් වශයෙනි. ඒ මතුද නොව වන අලි වාසභූමි අවට දිවි ගෙවූ අසරණ ගැමියන්ගේ ජීවිත හා දෙපොළ වන අලින් අතින් විනාශවීම පිළිබඳව නැගෙන චෝදනාද අඩුවක් නැත. මෙවැනි තත්වයක් තුල ආණ්ඩුව විසින් අලි – මිනිස් ගැටුම පාලනය සඳහා ක්රි යාවට නගනු ලබන කෙටි – මාධ්‍ය හා දීර්ඝකාලීන විසඳුම් යෝජනා පිළිබඳව සියල්ලෝම විමසති. නමුත් ආණ්ඩුව පැත්තෙන් ක්රිටයාවට නැගෙන බොහෝ අමනෝඥ තීරණ අලි – මිනිස් ගැටුම් ‘පාලනය’ වෙනුවට ‘ප්‍රවර්ධනය’ කිරීමට ඉවහල්වන බව කණගාටුවන් නමුත් ප්‍රකාශ කිරීමට සිදුවේ. එහි ආසන්නතම සිදුවීම වශයෙන් රටක් හඬවමින් ඝාතනයට ලක්වූ අන්ධ ඇත් රජු උපන් බිමේම උපන් ගල්ගමුවේ තනි දළයා හෙවත් ‘චන්ඩි’ තුන්වෙනි වරටත් උගේ පාරම්පරික වාසභූමියෙන් අල්ලා හිරකරුවෙකු බවට පත්කිරීම හැඳින්විය හැකිය.
පසුගිය කාලය පුරාවට වනජීවී දෙපාර්තමේන්තුව සිදුකලේ මිනිස් ජීවිත හා දේපොළවලට තර්ජන එල්ල කරන බවට චෝදනා ලබන අලි ඇතුන් තමන් වෙසෙන වාස භූමිවලින් නිර්වින්දනය කර අල්ලා බැඳ දමා ලොරියක් වැනි ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කරගනිමින් එම සතුන්ගේ පාරම්පරික වාසභූමියෙන් ඉවත් කර වඩාත් දුරබැහැර ආගන්තුක පරිසරයක පිහිටි වනජීවී රක්ෂිතයකට පිටමං කිරීම ය. එය හඳුන්වන්නේ පරිස්ථාපනය (Translocation) ලෙස ය. මේ ආකාරයෙන් පරිස්ථාපනයට ලක් කරන ලද අලි ඇතුන් විශාල සංඛ්යාුවක් චන්ද්‍රිකා තාක්ෂණ කරපටි පැලැඳවීම මඟින් අධ්යරයනය කිරීමට දෙස් විදෙස් ප්‍රකට වනජීවී විද්වතෙකු වන සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ සභාපති ආචාර්ය පෘථිවිරාජ් ප්රෙනාන්දු මහතා සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරනු ලැබූහ. එම දත්ත මගින් මේ පරිස්ථාපන ක්‍රියාවලියේ අසාර්ථක බව මොනවට පැහැදිලිවූ බැවින්දෝ මේ වනවිට මෙසේ වන අලින් පරිස්ථාපනය කිරීම වෙනුවට වනජීවී දෙපාර්තමේන්තුව සිදුකරන්නේ එම අලි – මිනිස් ගැටුමට දායකවන බවට චෝදනා ලබන අලින් අල්ලා හොරොව්පතාන ප්රසදේශයේ ඉදිකර ඇති ‘අලි රැඳවුම් මධ්යවස්ථානය’ නමින් හඳුන්වන එළිමහන් සිර කඳවුරට ගාල් කර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දීමය. නමුත් කණගාටුවට කරුණ නම් අලි ඇතුන් පරිස්ථාපනය මෙන්ම අලි රැඳවුම් මධ්‍යස්ථානයද අලි මිනිස් ගැටුම පාලනය වෙනුවට ප්රටවර්ධනය කරන මධ්යිස්ථානයක් ලෙස ක්රි්යාකිරීමයි.
වර්ග කිලෝමීටර් දහයක පමණ කුඩා භූමි ප්රවමාණයක් වන අලින්ට පැන යාමට නොහැකි බව කියන භෞතික බාධක වලින් ආවරණය කර සකස්කර ඇති මෙය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම එළිමහන් හස්ති සිර කඳවුරක් බව කීම වරදක් නොවේ. සාමාන්ය යෙන් වර්ග කිලෝමීටර් පනහක පමණ ප්‍රදේශයක සංචාරය කරමින් ජීවත්වන වනගත පිරිමි අලින් මද කිපෙන සමයේදී වර්ග කිලෝමීටර් හයසියයක (600 km2) පමණ පුළුල් ප්ර දේශයක ගමන් කරයි. එවැනි හැසිරීමක් සහිත අලින් මෙවැනි පටු බිම් කඩකට කොටුකර තැබීම සැබවින්ම සිරගතකර තැබීමක් බව නොකිව මනාය. සිර කරනු ලබන වන අලින්ට ආහාර පිටතින් ලබා දීමට මුලදී තීරණය කෙරුණද මේ වනවිට අලි සිරකරුවන්ට එවැනි ආහාර සපයීමක්ද නොමැති අතර උන්ට සිදුවී ඇත්තේ සිර කඳවුරු භූමියේ ඇති දෙයකින් සෑහීමකට පත්වීමටය. දරාගත නොහැකි කුසගින්න හා මානසික ආතතියෙන් බැට කන මෙම අසරණ අලි ඇතුන්ට ඇති එකම විකල්පය වන්නේ කඳවුර බිඳගෙන පලායාම වුවත් ඒ සඳහා දරන සෑම උත්සාහයක්ම වෙඩි උණ්ඩ මගින් ව්යයර්ථකරණ බව දැනගන්නට ලැබී තිබේ. එසේම අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගාල් කරන අලි ඇතුන්ගේ හැසිරීම් රටාවන් අධ්යැනය කිරීමට, සෞඛ්යර හා ශුභසාධන තත්වය සොයා බැලීමට ආදී කිසිඳු සාධනීය ප්‍රවේශයකට මෙහිදී අවධානය යොමුකර නොමැති අතර ඒ සඳහා අඩු තරමින් සැලසුමක් හෝ නොමැති බව අප අවධානය කල යුතුය. ඕනෑම දෙයකට දරාගත හැකි උපරිම ධාරිතාවයක් ඇතත් බලධාරීන් මෙම අලි සිරගෙදරට එවැනි උපරිම ධාරිතාවයක්වත් නිර්ණයකර ඇති බවක් පෙනෙන්නට නැත. ඒ මන්ද යත් සිර කඳවුරේ ගාල් කර ඇති අලින් සංඛයාව පිළිබඳව වනජීවීය සතුව පිළිගතහැකි සංඛ්යානලේඛන හෝ වාර්තා නොමැති බැවිණි. එවැනි අවාසනාවන්ත තත්වයක් තුල අලි ගාලේ සිටින සතුන් මිය යද්දී (මේ වනවිට මෙම සිර කඳවුරේ ගාල් කෙරුණු අලි පස්දෙනෙකු පමණ විවිධ හේතු නිසා අකාලයේ මරණය පත්වී ඇතිබව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයෙන් දැනගැනීමට ලැබී ඇත) බලධාරීන් සිදුකරන්නේ අලි – මිනිස් ගැටුමට දායකවන අවට චෝදනා ලබන අලින් තව තවත් අල්ලා සිරගත කිරීමය. එසේම මහජන මුදල් මෙවැනි අසාර්ථක ව්යා පෘති සඳහා කාබාසිනියා කරන බලධාරීන් ඒවායේ අසාර්ථකබව පිළිබදව තොරතුරු ජනතාවට වසන් කිරීමද ජුගුප්සාජනකය.
අලි ඇතුන් පරිස්ථාපනය මෙන්ම අලි රැඳවුම් මධ්‍යස්ථානයද අලි මිනිස් ගැටුම පාලනය වෙනුවට ප්‍රවර්ධනය කරන මධ්‍යස්ථානයක් ලෙස ක්රි්යාකරන බව අප අවධාරණය කරන්නේ එමගින් සිදුවන්නේ මෙසේ ගාල් කරනු ලබන අලි තමන්ට එල්ලවන පීඩනය හමුවේ තව තවත් ප්‍රචණ්ඩ හැසිරීම් දැක්වීම නිසා ඉදිරියේදී අලි – මිනිස් ගැටුම තව තවත් ඔඩුදුවන බැවිණි. මෙසේ ගාල් කරන සතුන්ට ඇති විකල්ප දෙක වන්නේ එක්කෝ ගාලෙන් පැන යාම හෝ එසේත් නැතිනම් අකාලයේ මරණයට පත්වීම බව නොකිවමනාය. ගාලෙන් පැනගෙන තම මුල් වාසභූමිය වෙත අලියාට පැමිණිය හැකිවුවහොත් එම සත්වයා පෙරටත් වඩා බිහිසුණු ලෙස මිනිස් ජීවිත හා දේපොළ වලට හානි කිරීමට පසුබට නොවේ. එමගින් සිදුවන්නේ පෙරටත් වඩා සංකීර්ණ අලි – මිනිස් ගැටුමක් නිර්මාණය වීම නොවේද? එසේම එම සතුන් නැවත තම වාසභූමිය වෙත ගමන්කරන අතර තුර පසුකරන ඇතැම් ප්‍රදේශවල ජනතාවට වන අලින් සමග ජීවත්වීමේ අත්දැකීම් නොමැත. එවැනි ප්‍රෙද්ශ හරහා මෙම අලින් ගමන්කරන අවස්ථාවල එම ජනතාවගේ ජීවිත බරපතල අවදානමකට ඇද වැටේ. එසේම මෙසේ අල්ලා ගාල් කරනු ලබන අලින් අකාලයේ මියයාම හෝ සදාකාලික සිරකරුවන් බවට පත්වීම මගින් එම සතුන්ගේ ජාන ඉදිරි පරම්පරා වෙත සම්ප්‍රේෂණය වීම ඇනහිටී. එය සිරිලක හස්ති පරපුරේ ප්‍රවේණික ශක්තිය හීනවීමට හේතුවේ.
අපගේ කතා නායකයා වන චන්ඩි ද මෙම අලි පාලන ක්‍රමවේදයේ අසාර්ථකබව කියා පෑමට කදිම සාක්ෂියකි. මේ වනවිට අවස්ථා තුනකදී මෙම සත්වයා පරිස්ථාපනයන්ට ලක්කරනු ලැබ ඇති අතර එම සියළු උත්සාහයන් අසාර්ථක විය. ප්‍රථමයෙන් 2009 පෙබරවාරි 16 දින තම පාරම්පරික වාසභූමියෙන් අල්ලා සෝමාවතී ජාතික උද්‍යානය වෙත පරිස්ථාපනය කරන ලද මෙම හස්තියා ඉන් දින 28ක් ගතවනවිට කිලෝමීටර් 243ක් දුර ගෙවා තම නිජබිම වෙත පැමිණියේය. ඒ ගල්ගමුවට වඩා ඉතා හොඳ පරිසර තත්වයක් සහිත වන අලින් සඳහා ඉතා හිතකර පරිසරයක් සෝමාවතී ජාතික උද්යායනයේ තිබියදීය. ඉන්පසු නැවත වරක් 2015 වසරේදී මෙම හස්තියා අල්ලා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගෙනගොස් දැමීමට බලධාරීන් කටයුතු කළෝය. එවර තනි දළයා නැවත ගල්ගමුව සොයා පැමිණියේ අලින්ට පවා බිඳ දැමිය නොහැකි යැයි උදම් ඇනූ හොරොව්පතාන අලි රැඳවුම් මධ්ය ස්ථානයේ පවුරු පදනම් තඹ සතයකටවත් මායිම් නොකරය. එසේ තිබියදී අලි මිනිස් ගැටුමට විසඳුම් සොයන බව කියමින් එය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන මුග්ධ බලධාරීන් පසුගිය 17 වැනිදා නැවතත් තනි දළයා ගල්ගමුවෙන් අල්ලා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සිරගත කිරීමට කටයුතු කලේ කුමන වනජීවී කළමනාකරණ න්‍යායකට අනුව දැයි අප නොදනිමු. වඩාත් බරපතල කාරණය නම් මෙම ලිපිය ලියන මොහොත වනවිට චන්ඩි නැවත 20 දින රාත්‍රියේ සිර කඳවුරෙන් පැන යාමයි.
මෙසේ ඇල්ලීම සඳහා වන අලි ඇතුන් වනාන්තර තුළ දී නිර්වින්දනය කිරීම එම සත්ත්වයාගේ ජීවිතය අවදානමකට ලක් කිරීමකි. මිනිසුන් වන අප ශල්‍යාගාරයක් තුළදී යම් ශල්‍යකර්මයක් සිදු කිරීමට පෙර දහසකුත් එකක් පරීක්ෂණවලට භාජන කරනු ලබන බව අපි දනිමු. එහි අරමුණ අප නිර්වින්දනය කිරීම සඳහා හොඳ සෞඛ්යර තත්ත්වයේ පසු වන්නේද, නිර්වින්දනයෙන් පසු යළිත් ප්‍රකෘති සිහියට පත් කළ හැකි වේද, අවශ්‍ය වන නිර්වින්දන ඔෟෂධ මාත්‍රා කොපමණ ද යනාදිය දැනගැනීමය. එවැනි පරීක්ෂාවක් සිදු නොකර වනාන්තරය තුළදී අලි ඇතුන් නිර්වින්දනය කිරීමම එම සත්ත්වයාගේ ජීවිතය තර්ජනයට ලක් කිරීමකි. තවද එම හස්තියා නිර්වින්දනය වී වැරැදි ස්ථානයක වැරැදි ඉරියව්වකින් ඇද වැටීමද මරණයෙන් කෙළවර විය හැකි තත්ත්වයකි. හස්තියකු නිර්වින්දනය වී දිව ගොස් බිම පතිත වීමේදී උගේ හොඬය සිරුරට යටවීමට හෝ ඉදිරි පාද පෙණහලු මත තෙරපී ඇද වැටීමෙන් මරණය ගෙන දෙයි. එසේම විශාල ගස් දෙකක් අතරට හිර වී ඇද වැටීම හෝ ජලාශයක ඇද වැටීමද ඒ ආකාරයය. යම් ජීවියකු නිර්වින්දනය කිරීම සඳහා ඖෂධ මාත්‍රාව නිර්ණය කරනු ලබන්නේ එම ජීවියාගේ බර අනුවය. වනාන්තරයේදී වන අලියකුගේ බර කිරීම හිතළුවක් පමණක් බැවින් පශු වෛද්‍යවරුන් සිදු කරන්නේ එම සත්ත්වයාගේ බර අනුමාන කිරීමය. එම අනුමානය අනුව තීරණය කරන නිර්වින්දන ඔෟෂධ මාත්‍රාව අඩු වුවහොත් හස්තියා නිර්වින්දනය නොවන අතර මාත්රාීව නියමිත ප්‍රමාණයට වඩා වැඩි වීම එම සත්ත්වයා සදාතනික නින්දකට පත් කරන බව කිවමනාය. මෙසේ වන අලි නිර්වින්දනය කිරීමට අවශ්යැ මාත්‍රාව තීරණය කිරීමේ නිරවද්‍යතාව වනජීවී පශු වෛද්‍යවරයාගේ පළපුරුද්ද මත රඳා පවතී. ඉනික්බිති මෙසේ අල්ලා ගන්නා වන අලි ප්රතවාහනය කිරීම සඳහා බැඳ දමා සිටින විට විශේෂයෙන් රාත්‍රි කාලයේදී වෙනත් වන අලින්ගෙන් අඩන්තේට්ටම්වලට ලක්වූ අවස්ථා කලින් කලට වාර්තා වී ඇත. තවද මෙසේ අල්ලාගත් අලි ඇතුන් ප්‍රවාහනය කරන අතරතුර අනතුරට ලක්ව මරණයට පත් වීමට ඉඩ කඩ තිබේ. එසේම මේ ආකාරයෙන් පෙරළා වාර ගණනාවකදී පරිස්ථාපනයට බඳුන් කළ ද තම නිජබිම සොයා පැමිණි අලි ඇතුන් ද හඳුනාගත හැකිවීම අලි ඇතුන් තම පාරම්පරික වාසභූමි කෙරෙහි දක්වන ආදරය මොනවට පෙන්වා දෙන අතරම අපගේ වන සත්ත්ව කළමනාකරණයේ අමානුෂික බව හා එය යථාර්ථයෙන් කොතරම් බැහැර ද යන්න ද අවධාරණය කරනු ඇති බව අපගේ විශ්වාසයයි. එසේ තිබියදී මෙසේ අසාර්ථක කටයුතු සඳහා මහජන මුදල් මකර කටට යවන්නේ කාගේ උවමනාවටද යන්න විමසිය යුතුය.
වරක් අනුරාධපුර වදාකඩ රජයේ රක්ෂිත ප්‍රදේශයේදී පරිස්ථාපනය කිරීම සඳහා බැඳ දැමූ වන අලියකු කුමන හෝ අවාසනාවක් නිසා මරණයට පත් විය. එම සද්දන්තයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ මරණයට හේතුව මේ සත්ත්වයා නිර්වින්දනය කිරීමට ප්‍රථම යම් කිසි පුද්ගලයකු විසින් තබන ලද වෙඩි ප්‍රහාරයක් නිසා දුර්වල සෞඛ්‍ය තත්වයෙන් සිටීම බවයි. මීට වසර කිහිපයකට සිය පාරම්පරික වාසභූමියෙන් පිටමං කර පරිස්ථාපනය කරමින් සිටියදී මරණයට පත්වූ සියඹලන්ගමුවේ හස්තියාගේ වියෝව පිළිබඳව ද අප තවමත් ශෝක වන්නෙමු. එම හස්තියාගේ නිසළ හිස්කබලද බත්තරමුල්ල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ ද්වාරය අබියස තබාගෙන වනජීවී බලධාරීන් පුරුදු මුග්ධ පිළිවෙතම අනුගමනය කිරීම ජාතියේ අවාසනාවකි. ශ්රීව ලංකාවේ අපට සොබාදහමෙන් හිමිව තිබූ අමිල දායාදයන් ඒ ආකාරයෙන් වැනසී යෑම සැබැවින්ම කණගාටුවට කරුණකි. එසේම මින් ඉදිරියට හෝ එවැනි අවාසනාවන්ත සිදුවීම් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ඉතිහාසයෙන් පාඩම් උගැනීමද ඉතා වැදගත්ය.
රටක් ලෙස ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික පරාමිතීන්ට ප්රතබල බලපෑමක් එල්ල කරන අලි – මිනිස් ගැටුමට අප වඩාත් යුහුසුලුව ප්‍රතික්‍රියා කළ යුත්තේ අප අලි ඇතුනුත් මනුසතුනුත් යන දෙපිරිසම මේ උවදුරෙන් මුදාගත යුතු බැවිනි. සිරිලක අලි ඇත් පරපුරේ හා අසරණ ගොවි ජනතාවගේ අනාගතය ශෝකාන්තයක් බවට පත් කරන පැලැස්තර විසඳුම් විනා සිරිලක වන අලි – මිනිස් ගැටුම පාලනයට ස්ථිරසාර හා දීර්ඝකාලීන විසඳුමක් ලබා දෙනු පිණිස අදාළ වගකිවයුත්තන් ක්‍රියා නොකරන්නේ මන්දැයි විමසිය යුතුව ඇත. එසේම එහි අවාසනාවන්ත ප්රුතිඵලයක් ලෙස තවත් අලි – මිනිස් ජීවිත කීයක් නම් දැයට අහිමි වන තුරු බලධාරීන් අඳුරේ අතපත ගාන්නේදැයි ද විමසිය යුතුව ඇත.
සිරිලක වන අලි ගහනයේ විසූ විශාලතම දළ ඇතා ලෙස සලකනු ලැබූ සියඹලන්ගමුවේ ඇත් රජු මරණයට පත්වීමත් සමඟ ද අලි ඇතුන් පරිස්ථාපනය කිරීම නම් වන අසාර්ථක වන අලි කළමනාකරණ ක්‍රමවේදයට තිත තැබීම උදෙසා ප්‍රබල ජනමතයක් ඇති කිරීමට එම අවාසනාවන්ත සිදුවීම හේතු විය. නමුත් එම ප්රරවේශය මඟින් යහපත් කතිකාවතක් ඇති කර එහි වැදගත් කරුණු උකහා ගැනීමට අදාළ බලධාරීන්ට දිගු කලක් ගතවිය. අලි ඇතුන්ගේ වාසභූමි උදුරාගෙන හිසරදයට කොට්ටය මාරු කරන්නා සේ අලි ඇතුන් එහා මෙහා ගෙන ගොස් කරකවා අතහැරීම තවදුරටත් යථාර්ථවාදී විසඳුමක් නොවන බව පැහැදිලිය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ ආකාරයෙන් කණාමුට්ටි ගැසීමේ අවසන් ප්‍රතිඵලය තවදුරටත් මෙරට අලි ඇතුන් මෙන්ම මනු සතුන්ද කබලෙන් ළිපට වැටීමය. එත් ඒ බව නිසි පරිදි වටහා නොගන්නා බලධාරීන් තවත් රුපියල් කොටි ගණනක් වියදම්කර ලුණුගම්වෙහෙර ප්‍රදේශයේද මෙවැනි සිර කඳවුරක් ඉදිකිරීමට පිඹුරුපත් සකසමින් සිටිති.
දඩබ්බර අලි ඇතුන් කළමනාකරණය යන “ගිනි නිවීම” වෙනුවට ඔවුන් බිහි කරන ක්‍රමයට තිත තබා “ගිනි වළකා ගැනීමේ” මඟට අවතීර්ණ වීම සිදු විය යුතුව ඇත. මේ සම්බන්ධයෙන් ප්රා යෝගික හා සපලදායක විසඳුමක් හමස් පෙට්ටියෙන් පිටතට ගත යුතු කාලය අපි දැනුදු ගෙවා දමමින් සිටින්නෙමු. අලි ඇතුන් යනු ශක්තිමත්, බුද්ධිමත් හා සංවේදී සත්ත්ව විශේෂයක් බව වටහාගෙන අලි ඇතුන් සංරක්ෂුණය හා සංවර්ධනය මනා ලෙස ගැළපීමට ප්‍රතිපත්ති සම්පාදකයන් ද උත්සාහ දැරිය යුතුය. එසේම මේ ගැටුමට වගකිවයුතු සියලු පාර්ශ්ව තම වගකීම නිසි පරිදි වටහාගෙන ඒ අනුව ක්‍රියාත්මක විය යුතුය.
තම ප්‍රදේශයේ ගම්වැසියකු මරණයට පත් වූ විට කුපිත වන ජනතාව ප්‍රකෝපකාරී ලෙස හැසිරෙති. එයින් බොර දියේ මාළු බාන තක්කඩි දේශපාලකයෝ ඉතා අවස්ථාවාදී ලෙස වනජීවීයට, වන අලින් පරිස්ථාපනය කිරීමට හෝ එළවා දැමීමට හෝ බල කරති. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ඈ මෙකී නොකී අවස්ථාවලදී ඇතැම් දේශපාලකයන් වන අලි – මිනිස් ගැටුම සම්බන්ධයෙන් රණ හඬ නගමින් වනජීවී නිලධාරීන් තාඩන පීඩන වලට ලක්කර ලකුණු දමා ගන්නා බව අප දනිමු. එය එසේ බව අප අවධාරණය කරන්නේ අලි – මිනිස් ගැටුම පාලනය සඳහා සඵලදායක විසඳුම් වශයෙන් විද්‍යාත්මක පදනමක් සහිතව ඉදිරිපත්කරන ලද හම්බන්තොට වන අලි කළමනාකරණය ප්‍රදේශ වැනි වටිනා ව්‍යාපෘති උලා කමින් තම මඩිය තරකර ගනිද්දී මෙසේ කිඹුල් කඳුළු හලන දේශපාලකයන්ට ජනතාවගේ දුක සිහිපත් නොවන බැවිණි. ගල්ගමුවේ පවා දැනට ඉතිරිව ඇති හස්ති නිජබිම් අත්ලොස්සද ඇතැම් අමන දේශපාලකයන් හා කොම්පැණිකරුවන් විසින් වන අලින්ගෙන් උදුරා ගනිමින් සිටිද්දී එහි අලි ඇතුන්ට මිනිස් දේපොළ හා වගා බිම් ආක්රඅමණය කරනවා හැර වෙනත් කිරීමට යමක් නැත.
එවැනි පසුබිමක් තුල වනජීවිය කළ යුත්තේ දේශපාලන අධිකාරියේ එහෙයියන් වීම නොව තම අතීත අත්දැකීම් හා දැනුම අවබෝධය සම්පිණ්ඩනය කොට වඩාත් යථාර්ථවාදී දීර්ඝකාලීන විසඳුම් ක්රිැයාවලියක් වෙත ප්‍රවේශ වීමය. එසේ නොකර සියලු වගකිව යුත්තෝ තම වගකීම පැහැර හරිමින් මුණිවත රැකීම සිරිලක අලි – මිනිස් සමූහයාට හිමි කර දෙන්නේ ශෝකාන්තයක් පමණි. එහි පාඩුව කෙදිනකවත් පිරිමසාලිය නොහැකි බව ඉතා අවධාරණයෙන් ලියා තබනු කැමැත්තෙමු.

ඡායාරූප: ජයතිලක බණ්ඩාර
සුපුන් ළහිරු ප්‍රකාශ් – ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය