தமிழ்
English
Contact
Thursday 14th December 2017    
ප‍්‍රවෘත්ති මාධ්‍ය තත්ව පාලනය – ඒ කිල්ලෝටවල හුණු නැත! « Lanka Views | Views of the truth

ප‍්‍රවෘත්ති මාධ්‍ය තත්ව පාලනය – ඒ කිල්ලෝටවල හුණු නැත!



ජනමාධ්‍ය අගතීන් පිළිබඳ ජනසමාජයේ පවතින විරෝධයට මුවාවී මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පාලනය කිරීම සඳහා පුවත්පත් මණ්ඩලයට සමාන බලයක් සහිතව අලූත් ව්‍යුහයක් පිහිටුවාගන්නට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව මේ වන විට හෙළිදරව් වී තිබේ. මෙවර එය ප්‍රවෘත්ත තත්ව පාලනයක් ලෙස කරළියට පැමිණ ඇත. පනත් කෙටුම්පතක් මෙන්ම එම පනත සම්මත කිරීමේදී ‘ප්‍රවෘත්ති තත්ව පාලනයට බලය පවරන මණ්ඩලයක්‘ ගැනද යෝජනා ඉදිරිපත්ව තිබේ. මෙම යොජිත ප්‍රවෘත්ති තත්ව පාලන ආයතනය වෙනුවෙන් පනත් කෙටුම්පත සකස් කරන ලද්දේ රාජය නොවන ආයතනයකිනි.

පසුගියදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ රංග කලන්සූරියගෙන් මේ ගැන ජනමාධ්‍යවේදියකු විමසූ විට ඔහු ප‍්‍රකාශ කළේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හෝ ජනමාධ්‍ය අමාත්‍යංශය එවැනි ආයතනයක් ගැන යෝජනාවකට සම්බන්ධ නැති බවයි. එහෙත් එම පාලන ආයතනය පිහිටුවීමට සම්බන්ධ ‘ප‍්‍රවෘත්ති මාධ්‍ය තත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත් කෙටුම්පත’ පිළිබද සාකච්ඡා වට කිහිපයකදීම රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහභාගි වී ඇති අතර රංග කලන්සූරිය උපදේශකයකු ලෙස සම්බන්ධ වී සිටින International Media Support නමැති ආයතනයක් විසින් මෙම කෙටුම්පත සකස් කිරීමට අනුග‍්‍රාහකත්වය දී ඇත. මෙම ක‍්‍රියාදාමයේ ආරම්භයේදීම මෙරට ප‍්‍රධාන පෙළේ ජනමාධ්‍ය ක‍්‍රියාකාරිකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් කමිටුවක් පිහිටුවන ලද අතර එම සහභාගිත්වය පිළිබද හුවා දක්වමින් රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා මාධ්‍යවේදීන්ට පැවසුවේ ජනමාධ්‍ය සංවිධාන 8ක් මෙම කෙටුම්පත සකස් කිරීමට දායක වී ඇති බවයි. එහෙත් කුමක්දෝ හේතුවක් නිසා එම සංවිධාන 8 මොනවාද යන්න ඔහු හෙළි කළේ නැත. අප දන්නා ආකාරයට මෙවැනි කමිටුවක් 2016 වසරේ පත්කර ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගේ සහභාගිත්වය ඇතිව යම් සාකච්ඡුාවක් ආරම්භ කරණ ලදී.

එම පනත් කෙටුම්පත සකස් කිරීමේ ක‍්‍රියාදාමයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භයේ සිටම සම්බන්ධ වූ බව ගම්‍ය වන ආකාරයෙන් ආචාර්ය රංග කලංසූරිය විසින් කළ ප‍්‍රකාශය අර්ධ සත්‍යයක් බව ඔවුන් විසින් පසුගියදා නිකුත් කළ ජනමාධ්‍ය නිවේදනයකින් කියැවිණි. එක් එක් ක්ෂේත‍්‍රවල මාධ්‍ය කණ්ඩායම් කැඳවා සාකච්ඡුා කිරීමෙන් පසුව කෙටුම්පතක් සකස් කිරීම විජයානන්ද ජයවීරට පැවරුණු බවද ඔහු සකස් කළ කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡුා කළ පළමු රැුස්වීමෙන් පසු සිදු වූ කිසිවක් පිළිබද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෝ දැනුවත් නොවූ බවද එම නිවේදනයේ සඳහන් වේ. මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ නියෝජිතයන් පවන්නේ පනත් කෙටුම්පත බිහිවීමේ ක‍්‍රියාවලියේදී තමන් සම්බන්ධ නොවූ බවකි. කෙසේවෙතත් ආණ්ඩුව විසින් සිය වගකීම බාර නොගෙන හෝ ඉදිරිපත් කර ඇති ‘ප‍්‍රවෘත්ති මාධ්‍ය තත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත් කෙටුම්පත’ දැන් ප‍්‍රසිද්ධියට පත්ව ඇත. මෙම පනත ක‍්‍රියාත්මක වන්නේ එම පනතින් පිහිටුවන ‘ස්වාධීන මණ්ඩලය’ක් මගින් බව ප‍්‍රකාශ කර ඇත.

එහෙත් එම මණ්ඩලය පත් කරනු ලබන්නේ පවතින ආණ්ඩුව විසින් කරන බලපෑම් යටතේ බව අමුතුවෙන් කිවයුතු නොවේ. මණ්ඩලයේ සභාපති තෝරන්නේද බලයේ සිටින පාලකයන්ට අවශ්‍ය ආකාරයටය. එසේ සිදුවන විට ස්වාධීන යන නාමය අහිමි වේ. ධනපති සමාජයක ‘ස්වාධීන’ කියා කිසිවක් නැති බව අපි පළමුවෙන්ම පිළිගත යුතුව ඇත. රජයේ හෝ රාජ්‍ය නොවන සංවිධාන ඇසුරේ වර්ධනය වන අදහස් කිසිසේත්ම ස්වාධීන නැත. සියලූ දේ තුළින් ලාභයක් උපයාගැනීමට සහ පොදු මිනිස් ප‍්‍රජාවට යහපතක් සිදුවේද යන්න නොතකා ප‍්‍රතිලාභ ගැන පමණක් සිතන තැනට ජනමාධ්‍යයද පත්ව තිබේ.

රජයත් සමාගම් හිමිකරුවනුත් එසේ ජනමාධ්‍ය පාලනය කරන්නේ සද්භාවයෙන් යැයි කිසිවකුට කිව නොහැකිය. දිනපතා නිතුත්වන පුවත්පත්, සඟරා සහ පැය විසිහතරම කෙළවරක් නැතිව විකාශය වන රූපවාහිනී, ගුවන්විදුලි නාලිකා සලකා බැලූ විට සමාජය වෙත ඇද හැලෙන්නේ දෙස් විදෙස් ජනමාධ්‍ය වර්ෂාවකි. බොහෝ විට ජනමාධ්‍ය වෙත ඇලූම් කරන ජනයා එය ඇසුරු කරන්නේ හුදු විනෝදය පිණිසය. එහෙත් ජනමාධ්‍ය ආමන්ත‍්‍රණය කරන්නේ සාමාන්‍ය ජනතාවට පමණක් නොවේ. එක් අතකින් එය විනෝදය සපයන අතරම විනෝදය සහ තොරතුරු අලෙවි කරයි. එයින්ද නොනැවතී ජනයාට වෙළෙඳ භාණ්ඩ අලෙවි කිරීමේ ප‍්‍රචාරක කාර්යයද ඉටු කරයි. ප‍්‍රමිතිය නොතකා ඕනෑම භාණ්ඩයක් පරිභෝජනය කිරීමේ ෆැන්ටසියකට පේ‍්‍රක්ෂකයා ඇද දමන්නේ මේ හුදු විනෝදය සපයන ජනමාධ්‍ය විසිනි. ඒ නිසාම අප ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය සැලකිය යුත්තේ හුදු සේවාවක් ලෙස පමණක් නොවේ.

ජනමාධ්‍ය ක‍්‍රියාවලිය තුළ සමාජයේ විවිධ අගතීන් පාවිච්චි කිරීම සිදුවන්නේ නම් එය වැළැක්විය යුතු බවට විවාදයක් නැත. විශේෂයෙන්ම ජාතිවාදය, ආගමික අන්තවාදය, පුද්ගලයන් ඉලක්ක කොට අවමන් කිරීම වැනි හානිකර තත්වයන් ජනමාධ්‍ය විසින් පවත්වාගෙන යන්නේ වැඩි වැඩියෙන් ජනප‍්‍රියභාවය ඉලක්ක කරමිනි. ජනප‍්‍රිය වීමෙන් වැඩි වශයෙන් දැන්වීම් ආදායම් ඉපදවීම ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවන්ගේ උවමනාවයි. ඒ නිසා අගතිගාමී ජනමාධ්‍ය භාවිතයට එරෙහි විවේචනයක් තිබුණු පමණින් එය නිවැරදි කළ නොහැකිය. ජනමාධ්‍ය යනු වෙළෙඳපොල ඉලක්ක කරමින් පවත්වාගෙන යන ව්‍යාපාරයක් බව සත්‍ය නම් එහි අගතිය නඩත්තු කරමින් ජනප‍්‍රියභාවය වෙනුවෙන් බලූපොරය පවතින බවද පිළිගත යුතුය. ජනමාධ්‍ය සද්භාවයෙන් පවත්වාගෙන යන්නේ යැයි කියන්නට නොහැකි එම නිසාය.

දැන් මේ සාකච්ඡුාවට ලක්වන පනත් කෙටුම්පත සලකා බලමු. නිශ්චිතවම මෙම පනත ප‍්‍රවෘත්ති මාධ්‍යවලට අදාළ බව පනත් කෙටුම්පතින්ම ප‍්‍රකාශිතය. එපමණක් නොව, එක් එක් මාධ්‍ය ආයතනවල අන්තර්ජාල ප‍්‍රකාශන පවා මෙම පනතේ විෂයපථයට අයත් වේ. ජනමාධ්‍යවලින් පළ කරන ප‍්‍රවෘත්ති දේශපාලන බලය පවත්වාගෙන යාමට කොතරම් සංවේදීද යන්න පසුගිය දශකයක පමණ පැවැති මැතිවරණ කාලවලදී අප හොඳින්ම අත්දුටු සත්‍යයකි. එය දේශපාලන අරමුණු සහිත වාරණ ක‍්‍රමයක් ස්ථාපිත කරන බව එයින්ම පැහැදිලිය. එය රාජපක්ෂ පාලනය විසින් කොතරම් කැත ආකාරයට යොදාගත්තාද යන්න පමණක් නොව, එයින් මිදීමට යැයි කියමින් වත්මන් පාලක පැළැන්තිය දැන් අනුගමනය කරන ජනමාධ්‍ය පිළිවෙත කොතරම් අප‍්‍රසන්නද යන්න අපි අත්දකින සත්‍යයකි. ඒ අනුව හෙංචයියන් ජනමාධ්‍ය ආයතනවලට පත්කිරීමෙන් ඇරඹෙන රාජ්‍ය මාධ්‍ය ක‍්‍රියාදාමයේ සිට විරුද්ධ මත දරන පුවත්පත්වලට රජයේ දැන්වීම් ලබා නොදීම, රජයේ තොරතුරු හෝ ජනමාධ්‍ය සාකච්ඡුාවලට පැමිණීමට අවස්ථා නොදීම සාමාන්‍ය තත්වයයි. එවැනි සරල තත්වයන්ගේ සිට ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම සහ ඒවාට විවිධ නාමකරණයන් යොදා අවමන් කිරීම තුළින් ආණ්ඩුවට හිතවත් ජනයා ඒවා සතුරු ආකල්පයෙන් බලමින් ඒවායේ පළවන පුවත් විශ්වාස නොකරන තැන දක්වා තල්ලූ කෙරේ. ඉන්පසුව රාජ්‍ය මාධ්‍යවල මෙන්ම ආණ්ඩුවට පක්ෂපාත සෙසු ජනමාධ්‍යවල ප‍්‍රචාරය කරන පක්ෂග‍්‍රාහී පුවත් හරහා ආණ්ඩුව ඒකාධිකාරී බලයක් අත්පත් කරගනී.

අනෙක් අතට, මෙම පනතින් පිහිටුවන ප‍්‍රවෘත්ති මාධ්‍ය තත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩලය යනු අධිකරණ බලය සහිත ව්‍යුහයකි. මෙම පනතින් පනවන බලය එහි තීන්දු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පහළ වෙනත් කිසිදු අධිකරණයකින් වෙනස් කිරීමට නොහැකිය. එපමණක් නොව, ජනමාධ්‍යවේදියාට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලාශ‍්‍ර හෙළිකරන්නට සිදුවන බව මෙම පනතේ සදහන් වේ. ඒ අනුව, සමාජමය වශයෙන් වැදගත් රහස්‍ය තොරතුරු ලබාදෙන පුද්ගලයකු ආරක්ෂා කරන්නට මාධ්‍යවේදියකුට නීතිමය රැුකවරණය සලසනු වෙනුවට මෙම නීති සකස් කර ඇත්තේ ඔහු හෝ ඇය පිළිබඳ හෙළිදරව් කරන්නටය. ජනමාධ්‍යයේ නිතර පළවන බෝක්කු පාලම් සම්බන්ධ පුවත් හෝ අපරාධ වාර්තා කිරීමේ සිට ඕපදුප දක්වා සරල පුවත් ජනතාවගේ ජිවිතයට තීරණාත්මක වශයෙන් බලපාන්නේ නැත. එහෙත් ජනතාවට වැදගත් කරුනු ජනමාධ්‍ය තුළ ප‍්‍රකාශයට පත්වීම හා සාකච්ඡුාවට ගැනීම ජනජීවිතය යහපත් කිරිමේ පැත්තෙන් ජනමාධ්‍ය විසින් අපේකෂිත ප‍්‍රධාන අරමුණකි. එහෙත් එවැනි සංවේදී සහ අතිශය රහස්‍ය කරුණු අනාවරණය කිරීමේදී ජනමාධ්‍යවේදියා අසරණ කරවන නීති විධිවිධාන ඇතිකළ විට තවදුරටත් නිදහස් ජනමාධ්‍යයැයි කියා කිසිවක් ඉතිරි වනුනේ නැත. ඒ අනුව, ජනතාව වෙනුවෙන් පෑන හසුරුවන ජනමාධ්‍යවේදීන් අධිකරණයකින් දණ්ඩනයට ලක්කිරීමේ අරමුණ ඇතිව මෙම පනත ගෙන එන බවට කිසිදු විවාදයක් නැත. ජනමාධ්‍ය නිදහස ගැනත් තොරතුරු දැනගැනීමේ අයිතිය ගැනත් විවිධ වගන්ති සහිත වුවද අවසානයේ සිදුවන්නේ මර්දනය පිණිස නීති සම්මත කිරීම බව මෙම පනතේ එන වගන්ති තුළින් වටහා ගත හැකිය.

ජනමාධ්‍ය ප‍්‍රවෘත්ති නීතිමය විධික‍්‍රමයකට යටත්කරවන මෙම පනත් කෙටුම්පත රටපුරා විවිධ ස්ථානවල පැවත්වූ සංවාදයන්හිදී සාකච්ඡුාවට ලක් කර ඇත. මාධ්‍ය ප‍්‍රතිව්‍යුහගතකරණයේ රාජකාරි භාරව සිටින ආචාර්ය ප‍්‍රදීප් එන්. වීරසිංහට අමතරව මහාචාර්ය සේන නානායක්කාර, ‘සත්හ`ඩ’ පුවත්පතේ උපදේශක කර්තෘ දීප්ති කුමාර ගුණරත්න, අනෝමා රාජකරුණා යන අය සම්පත්දායකයන් ලෙස මෙම සංවාදසභාවල අදහස් දක්වා ඇත. නමුත් ඒ සියලූ දෙනාම මෙම පනත් කෙටුම්පත සම්බන්ධ පක්ෂපාතී යැයි ඉන් අදහස් නොවේ.

කෙසේවෙතත්, ප‍්‍රවෘත්ති දෙපර්තමේන්තුව සහ ජනමාධ්‍ය අමාත්‍යංශය උත්සාහ කරන්නේ මෙම සංවාද අවසානයේ එය හොර රහසින් නීතියක් බවට පත්කිරීමට බව අපගේ නිරීක්ෂණයයි. එම පනත සකස් කෙරුණේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් කැඳවනු ලැබූ පුද්ගලයන් හා ක‍්‍රියාදාමයක් හරහා වුවද දැන් ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ රංග කලන්සූරිය කියන්නේ එම ක‍්‍රියාදාමයට තමන් සම්බන්ධ නැති බවය. ආණ්ඩු පෙරළියකදී පත්වන මාධ්‍ය බලධාරින් හැමවිටම කියන්නේ තමන්ගේ කිල්ලෝටවල හුනු නැති බවය. ඔහු මෙම පනත සම්බන්ධ මුල් කටයුතුවලදී මැදිහත්වී එම පනත සම්බන්ධ රාජ්‍ය නොවන ආයතනයකට ආධාර දීමට කැදවාගත් International Media Support ආයතනයේ උපදේශකයකු ලෙස හිඳිමින් මේ බොරු කියන්නේ කාටද? මුලින්ම පනත සම්බන්ධව කිවහැකි කරුණුවලට අමතරව යෝජිත ප‍්‍රවෘත්ති මාධ්‍ය තත්ව පනතේ අරමුණු වඩාත් සැකයට තුඩු දෙන්නේ ප‍්‍රවෘත්ති බලධාරීන්ගේ මෙම ‘දවල් මිගෙල් ? දනියෙල් පිළිවෙත’ නිසාමය.




Related News