தமிழ்
English
Contact
Thursday 14th December 2017    
ජනාධිපති මෛත්‍රී ඩොලර් මිලියන 150ක රුසියානු යුද නැවක් ණයට ගැනීමට යෝජනා කරයි ! « Lanka Views | Views of the truth

ජනාධිපති මෛත්‍රී ඩොලර් මිලියන 150ක රුසියානු යුද නැවක් ණයට ගැනීමට යෝජනා කරයි !



ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආරක්ෂක ඇමතිවරයා වශයෙන් අමෙරිකන් ඩොලර් මිලියන 135ක් (රුපියල් බිලියන 20.6) වැය කර රුසියානු ප්‍රහාරක නෞකාවක් මිලදී ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

මෙම ගනුදෙනුව සිදුකරන්නට යන්නේ 2010 පෙබරවාරියේ ලංකාවට හිමි වූ අමෙරිකන් ඩොලර් මිලියන 300ක දස අවුරුදු රුසියානු ණය ක්‍රමය යටතේය. 2015 වන විට මෙම ණය ක්‍රමයෙන් මිලියන 165ක් වැය කර ඇති නමුත් මාර්තුවේ සිදු කළ රුසියානු සංචාරයේදී ඉතිරි ණය ප්‍රමාණය මුදාහරින්නට කැමති බව රුසියානු අධිකාරින් විසින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත. මෙම නෞකාව හැසිරවීම සදහා වන කාර්ය මණ්ඩල පුහුනුව සදහා ඩොලර් මිලියන 7ක් ලංකා රජය විසින් දැරිය යුතු බවද සදහන් කර තිබේ. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ යම් ව්‍යාපෘතියකට ලංකා රජය විසින් 15%ක දායකත්වයක් ලබාදීම කොන්දේසියක් ලෙස පවතින අතර නෞකාවේ අමතර උපාංග හා වෙඩි උණ්ඩ ආදිය සමග එය අමෙරිකන් ඩොලර් මිලියන 158.5ක අගයක් වනු ඇත.

කෙසේවෙතත් රුසියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 135 වෙනුවෙන් ලංකා රජය විසින් 1%ක මූලික ගාස්තුවක් ද නැව මිලදී ගැනීමෙන් පසුව, රුසියානු රජයට ණය වාරික ගෙවීමේදී 4%ක් පොලියක් එක්වීමටද නියමිතය. අද පවතින විනිමය අනුපාතිකය සැලකූවද අවසාන වශයෙන් මෙම රුසියානු නැව මිලදී ගැනීමේ ගෙවීම් ලෙස ලංකාවේ ආණ්ඩුව ඩොලර් මිලියන 166.3ක් එනම් රු.මිලියන 25394.01ක් ගෙවිය යුතු වනු ඇත. කෙසේවුවද මෙම යුද නැව් නිෂ්පාදනය කරන නිෂ්පාදන සමාගමේ අධ්‍යක්ෂ මිස්ටකොව් ලංකාව සදහා ඇණවුම් කර ඇති ආකාරයේ නෞකාවක් නිස්පාදනය කිරීමට වසර දෙකක් ගතවන බවත් එහි අවසන් අගය ඩොලර් මිලියන 150-200 අතර වනු ඇතිබව ප්‍රකාශ කර ඇත.

මෙය රාජ්‍ය අතර ගනුදෙනුවක් ලෙස ප්‍රකාශ වුවද මෙහි අතරමැදියන්ද සිටින්නට හැකියාවක් තිබෙන නිසා මෙම ප්‍රකාශිත මිල ගණන් මෙන්ම වට්ටම් හෝ කොමිස් මුදල් තවමත් අවසන් වශයෙන් ගණනය කළ නොහැකිය.ඒ අනුව මහජන මුදලින් ගෙවීම් කිරීමට ජනාධිපතිවරයා යෝජනා කරන මුදල සහ කැබිනට් මණ්ඩලය එයට දක්වන ප්‍රතිචාරය ඉදිරියේදී දැනගන්නට හැකිවනු ඇත.ලංකාවේ නාවික හමුදාව මෙම යාත්‍රාව මිලදී ගැනීමට නිර්දේශ කර ඇති බවද කැබිනට් පත්‍රිකාව මගින් පෙන්වා දී ඇත. එසේවුවද මේ වන විට ලංකාවට චීනයෙන් හා ඉන්දියාවෙන් මෙවැනි සමුද්‍රාරක්ෂක යාත්‍රා දෙකක් ලංකාවට පරිත්‍යාග ලෙස හිමිව ඇත. ඉන්දියාව සහ චීනය සමග ඇතිකරගෙන ඇති වාණිජ සබදතා අනුව ඒවා ඇත්ත වශයෙන්ම සංතෝශම් ලෙස සැළකිය හැකිය.

රුසියානු යාත්‍රාව සදහා ගෙවන මුදල කොමිස් නොමැති ගනුදෙනුවක් යැයි ජනාධිපතිවරයා සිය කැබිනට් පත්‍රිකාවෙන් ප්‍රකාශ කර නැති නිසා මෙහි කොමිස් මුදල කොපමණද යන්න සහ එම කොමිස් හිමිවන්නේ කාටදැයි දැනගැනීමට අවස්ථාවක් නැත. රාජපක්ෂ පාලනය යටතේ මෙවැනි ගනුදෙනු සදහා 10%ක් කොමිස් මුදලක් ලබාගත් බවට චෝදනා එල්ල විය. එහෙත් සාමාන්‍යෙයන් ජාත්‍යන්තර වෙළෙද ගනුදෙනුවලදී එතරම් කොමිස් මුදලක් හිමිවන්නේ නැත. දැනට කිවහැකි  එකම සත්‍යය නම් රුසියානු යාත්‍රාව මිලදී ගැනීමට මැදිහත්වන කිසිවකුට එය හුදු මීයක් කඩා අතලෙවකෑමක් නොවන බවය.

ඇණවුම් කරන්නට නියමිත මෙම මධ්‍යම ප්‍රමාණයේ රුසියානු ප්‍රහාරක යාත්‍රාව නිෂ්පාදනය කරනු ලබන්නේ කසාන් ප්‍රදේශයේ සෙලනොඩොස්ක්හි මැක්සිම් ගෝර්කි යාත්‍රා කම්හලෙහිය. මෙහි ඉහතින් දැක්වෙන්නේ ලංකාවේ ඇණවුමට අනුව නිමැවෙන්නට නියමිත Gepard 5.1 නෞකාවේ අනුරුවකි. පහත පළ වන්නේ ලංකාවට සැපයීමට නියමිත නෞකාවට තරමක් සමාන වන වියට්නාම් නාවික හමුදාවේ ඇණවුමකට අනුව 2016දී සපයා ඇති Gepard 3.9 වර්ගයේ නෞකාවකි.

Save

Save