தமிழ்
English
Contact
Thursday 12th April 2018    
සයිටම් විරෝධී අරගලය හමුවේ ආණ්ඩුවේ අන්තෝ ජටා බහි ජටා! « Lanka Views | Views of the truth

සයිටම් විරෝධී අරගලය හමුවේ ආණ්ඩුවේ අන්තෝ ජටා බහි ජටා!



හවුල් ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම් දේශපාලන අර්බුදයක් කරා වර්ධනය කරලීමට සයිටම් විරෝධි සිසු ජන අරගලය හේතුවී ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වයෙන් වසර ගණනාවක් සමාජය වෙත කුලුගන්වනු ලැබූ සයිටම් විරෝධය මුදුන්පත් කරමින් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය පස් දින පාගමනක් සංවිධානය කර ඇත. වැඩකරන ජනතාව ඇතුලු බහුජන සංවිධාන ඊට සම්බන්ධ වෙමින් එක් දින ජාතික විරෝධයක් කැදවා ඇත. මේ තත්වය තුළ ආණ්ඩුව සයිටම් අර්බුදය නිසා දැඩි අභියෝගයකට මුහුණ දෙමින් සිටී.

පසුගිය ජූනි 21 වැනිදා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකරී කමිටුව එක්ව සංවිධානය කරන ලද ශිෂ්‍ය උද්ඝෝෂණයට පොලිසිය එල්ල කළ අමානුෂික ප‍්‍රහාරය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දින 3ක අඛණ්ඩ වැඩ වර්ජනයක් කි‍්‍රයාත්මක කරන ලදී. වැඩ වර්ජනය අතර තුර ජනාධිපතිවරයා විසින් සාකච්ඡාවක් ලබා දී තිබුණි. එම සාකච්ඡාවේ එකගතාවන් මත රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩවර්ජනය අත් හිටුවීමට තීරණය කර තිබුණි. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන පරිදි එම එකඟතාවන් පිළිබඳ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ලබාදිය යුතු ලිඛිත ප‍්‍රකාශය පොරොන්දු වූ දිනට සහ වේලාවට ලබාදී තිබුණේ නැත. මේ සඳහා ආණ්ඩුවේ රනිල් මෛති‍්‍ර පාර්ශ්ව අතර පවතින බල අරගලය හේතුවී තිබේ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනාධිපති සමග පැවැති සාකච්ඡාවේ එකගතාවයන් පසුව වෙනස් කිරීමට ජනාධිපතිවරයාට සිදුවීමත් ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්වයක් වන ජාතික හෙළ උරුමය සයිටම් අහෝසි කළ යුතු බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීම ආරම්භ කිරීමත් ඒ බලඅරගලය ප්‍රකාශවන ආසන්න උදාහරණයක් ලෙස පෙනේ.

අරගලකාරී ලෙස නැගී එමින් පවතින සිසු ජන විරෝධයට මුහුණ දීම සඳහා සයිටම් ආයතනය මුලින් අහෝසිකර පසුව පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමේ නීතිමය පදනම පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කිරීමට මෛති‍්‍රපාල පාර්ශ්වයෙන් යෝජනාවී තිබෙන අතර ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයද නිල නොවන අනුමැතිය හිමිවී තිබේ. නමුත් ආණ්ඩුවෙ රනිල් පාර්ශවය ඒ සඳහා දැඩි විරෝධය පළ කර තිබේ. එය හවුල් ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ ප‍්‍රශ්නයක් දක්වා වර්ධනය වීමට ඉඩ තිබූ අතර ඒ නිසාම ජනාධිපතිවරයාව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෙත ලබාදී තිබුණු පොරොන්දු ඉවත්කර ගැනීමට සිදුවිය. මේ අතර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක්වන ජාතික හෙළ උරුමයේ අමාත්‍යවරයෙකු වන චම්පික රණවක සයිටම් වහාම අහෝසි කළ යුතු බවට ප‍්‍රසිද්ධියේ මත දැක්වීම ආණ්ඩුවේ ඉහත පාර්ශ්වයන් අතර බල අරගලයේ ප‍්‍රකාශනයක් ලෙසද හැදීන්විය හැක. කෙසේ වෙතත් සයිටම් අර්බුදය පිළිබඳව රනිල් මෛති‍්‍ර පාර්ශ්ව අතර සාකච්ඡාවක් මේ වන විට පවත්වා ඇති අතර එහි පැමිණි එකගතාවයන් මේ වන තෙක් ප‍්‍රකාශට පත් වී නැත.