A+ R A-

විජේවීර හා ජවිපෙ ගැන විජිත රණවීර කතා කරයි

E-mail Print PDF

 

altවිජිත රණවීර මහතා ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක වකවානුවේ සිට ක්‍රියාකාරීව කටයුතු කළ, එමෙන්ම ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා සමග ඉතා සමීපව කටයුතු කළ අයෙකි. විජිත රණවීර මහතා 2004 සිට 2010 දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද විය. මේ ඔහු රෝහණ විජේවීර මහතා පිළිබඳ මතකයත් ජවිපෙ වත්මන් අර්බුදය ගැන සිය මතයත් අප හමුවේ දිග හැරි මොහොතයි...

ප්‍රශ්නය - ඔබේ දේශපාලන ජීවිතයේ ආරම්භය කොහොමද?

මුලින්ම පාසල් යන කාලයේ ජාතික ශිෂ්‍ය සංගමය හරහා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වුණා. ඒ හිටපු මිතුරන් තමයි මුලින්ම අලුත් වමේ ව්‍යාපාරය එක්ක සම්බන්ධ වුණේ. ඔවුන් ජාතික ශිෂ්‍ය සංගමයේ කවුන්සිල්වල වැඩ කරනවා, නමුත් කොමියුනිස්ට් පක්ෂය ඉක්මවා යන දේශපාලනයක් තමයි කරන්නේ. ඔවුන් අපි කවුරුත් සමගි පෙරමුණ ජයග්‍රහණය කරවන්න 70 කටයුතු කළා. ඒ වෙන කොටත් මට ජනතා විමුක්ති පෙරමුණ එක්ක සම්බන්ධකම් තිබුණේ නැහැ. මගේ මිතුරන් ජවිපෙ එක්ක සම්බන්ධ වෙලා හිටියත් ඔවුන් මට පක්ෂයේ සම්බන්ධකම් ඒ වෙලාවේ ලබා දුන්නේ නැහැ.

ප්‍රශ්නය - ජවිපෙ එක්ක සම්බන්ධකම් ඇති වෙන්නේ කොහොමද?

1971 අප්‍රේල් 10 මාව අත්අඩංගුවට ගත්තා. මාතර කොටුව බන්ධනාගාරයට ගහන්න ගිය සිද්ධිය ගැන මූලික සැකය තිබුණේ. මහින්ද රාජපක්ෂ තමයි මට විරුද්ධව බෙලිඅත්ත පොලිසියට පැමිණිලි කළේ. මහින්ද බෙලිඅත්තේ මන්ත්‍රී. ඔහුට විරුද්ධව මම ඒවි කියන සැකය මත තමයි පැමිණිල්ල දාන්නේ, මම කැරලි කණ්ඩායම්වලට සම්බන්ධයි කියලා. එතකෙට මම ගම්කාරක සභාවේ සභාපති.

බෙලිඅත්ත පොලිසිය අපට හොඳටම ගැහුවා. ඇත්තටම දෙපයින් ගිය අපි බඩගාගෙන තමයි බන්ධනාගාරයට ගියේ. මාතරින් මැගසින් බන්ධනාගාරයට ගෙන ගියා. මැගසින් එකේදී තමයි දේශපාලන වැඩවලට ඍජුවම සම්බන්ධ වුණේ. හරයාත්මකව දේශපාලනය අල්ලා ගත්තේ බන්ධනාගාරයේදී.

ප්‍රශ්නය - රෝහණ විජේවීර මුලින්ම  හමු වුණේ කොහොමද?

1976 අවසන් වකවානුවේදී අපි මැගසින් බන්ධනාගාරයට කැඳෙව්වා. ඒ වෙලාවේ රෝහණ සහෝදරයා උපදෙස් දුන්නා, 77 මැතිවරණයට තරගවදින්න කියලා. අපි තංගල්ල, බටහිර අනුරාධපුර, හක්මන ඇතුළු ආසන හතරකට තරග කළා. මාව තංගල්ල ආසනයට දැම්මා. ඊට පස්සේ මෙහේ (විජිත රණවීර මහතාගේ නිවසේ) තමයි පක්ෂ පාසල තිබුණේ. දේශපාලන මණ්ඩල රැස්වීම්, මධ්‍යම කාරක සභාවේ රැස්වීම් මෙහේ පැවැත් වුණා. ඒ නිසා ඉන් පසුව නිතර නිතර හමු වුණා.

ප්‍රශ්නය - රෝහණ විජේවීර චරිතය ඔබ දකින්නේ කොහොමද?

මනුස්සකම ඉහළින්ම තිබුණු පුද්ගලයෙක්. ඒ කියන්නේ හැමදේම සර්ව සම්පූර්ණයි කියන එක නොවෙයි. අඩුපාඩුකම් තිබුණා. ඒවා පෙන්වා දුන්නාම හදා ගත්තා. අනෙක් අයගේ හැකියාවන් හඳුනා ගන්න පුළුවන්, ඒ හැකියාවන් අනුව වැඩ පවරන්න පුළුවන් කෙනෙක්.

මෙහේ නන්දසේන කියලා සහෝදරයෙක් හිටියා. එයා නිතරම ප්‍රශ්න කරනවා. හැම දේම හාරා අවුස්සා අහනවා. සමහරු ඔහු ඔත්තුකාරයෙක් කියලා සැක කළා. නමුත් රෝහණ සහෝදරයා ඔහු එක්ක වැඩ කළා, විතරක් නොවෙයි සංවිධාන හරහා ඉහළට ගෙන ගියා. 87 දී හමුදාව ඔහු ඝාතනය කළා, ඒ වෙන කොට මධ්‍යම කාරක සභිකයෙක්.

අනෙක් අයට ඇහුම්කන් දෙන්න සූදානම් සහෝදරයෙක්. නිතරම සාමාජිකයාට ඇහුම්කන් දුන්නා. ඕන නැති මානයකින් හිටියේ නැහැ. මම රෝහණ සහෝදරයා නියෝජනය සංවිධානයක ඉඳලා නැහැ, මම විතරක් නොවෙයි, විවිධ සංවිධාන මට්ටම්වල හිටපු අය රෝහණ සහෝදරයා එක්ක කතා කරන කොට, අඩුපාඩු කතා කරන කොට ඒවාට ඇහුම්කන් දුන්නා. ඒ විතරක් නොවෙයි. නිවැරදි දේශපාලන තත්වය සරලව, තේරුම් ගන්න පුළුවන් විදියට කියා දෙන්න පුදුම දක්ෂකමක් තිබුණා. කවදාවත් අරයාගෙන් අහන්න, මෙයාගෙන් අහන්න කියලා කිව්වේ නැහැ. ඔහු උත්තර දිය යුතු නැහැ කියා හිතෙන ප්‍රශ්නවලට වුණත් පැහැදිලිව උත්තර දුන්නා. ඒ ප්‍රශ්න ඉතිරි කරලා ගියේ නැහැ. ඒ වගේ නායකයෙක් හමු වීම අපට මේ ප්‍රතිපත්ති මත ඉන්න ලොකු රුකුලක් වුණා. අපට අධ්‍යාපනික පැත්තෙන්, මේ පක්ෂයේ සිටිය යුත්තේ ඇයි කියන එකට ලොකු වාද විවාද තිබුණු සහෝදරයෙක්.

ප්‍රශ්නය - ඔබේ පවුල් පසුබිම ජවිපෙ වැනි පක්ෂයක් එක්ක වැඩ කරද්දී බාධාවක් වුණේ නැද්ද?

මම හිතන්නේ මගේ මිතුරන් මුලින් මට පක්ෂයේ සම්බන්ධකම් නොදුන්නේත් ඒ නිසා වෙන්න ඇති. නමුත් යම් සැකයක් තිබුණා නම් අපේ භාවිතාව තුළින් ඒ සැකයන් ඉවත් කරන්න අපට පුළුවන් වුණා. මට විශේෂ වාසියක් තිබුණේ, මගේ ඥාතීන් කවුරුවත් මගේ දේශපාලනයට විරුද්ධ වුණේ නැහැ. ඔවුන්ගෙන් විශේෂ උදව්වක් ලැබුණා කියන එක නොවෙයි, බාධා කළේ නැහැ.

අනෙක් එක, පන්ති සහිත දේශපාලන සමාජයක දෙමාපියන් ඉතිරි කළ යමක් කමක් තිබුණාට මනුස්සකම වර්ධනය කරන්න ඒ ධනය නොවෙයි උපයෝගී වෙන්නේ. මම විශ්වාස කරනවා නිවැරදි මිනිහෙක් කියන්නේ උපතේ සිට මරණයට තෙක් කාලය ඇතුළත නිවැරදි දේ වෙනුවෙන්,මිනිසුන් වෙනුවෙන් සේවය කිරීමයි කියලා. නිවැරදි දේ වෙනුවෙන් වැඩ කරන්න වෙනත් කිසිම දෙයක් බාධාවක් නොවෙයි.

ප්‍රශ්නය - රෝහණ විජේවීර මහතා අන්තිමට හමු වුණේ කවදාද?

1983 පක්ෂය තහනම් කරන කොටත් මෙහේ තමයි හිටියේ. රෝහණ සහෝදරයා තමුසේ කියලා කතා කළේ ඉතාම ලෙංගතු පිරිසකට විතරයි. පක්ෂය තහනම් කළ බව දැන ගත්තාට පස්සේ කට්ටියත් එක්ක මෙහේ ඉඳලා පයින් යන ගමන්, මිදුලේ අරලිය ගහ යටට ගිහිල්ලා - එතකොට ඔතන ඉස්සරහා අරලිය ගහක් තිබුණා - තමුසෙ එන්නේ නැද්ද කියලා මගෙන් ඇහුවා. මම කිව්වා මට එන්න විදියක් නැහැ, අපි  හිරේදි හමුවෙමු කියලා. ඒ වෙලාවේ රෝහණ සහෝදරයා කිව්වා, මං ආපහු හිරේට එන්නේ නැහැ කියලා. දිගටම සම්බන්ධකම් තියා ගන්න කියලා කිව්වත් මම රෝහණ සහෝදරයා එක්ක සම්බන්ධකම් තියා ගත්තේ නැහැ, ඔහුට බාධාවක් වෙන්න පුළුවන් නිසා. ඒත් ඔහු එක්ක ගනුදෙනු කරන අය එක්ක දිගටම සම්බන්ධකම් තිබුණා, පණිවිඩ හුවමාරු කළා.

ප්‍රශ්නය -  ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් අර්බුදය ඔබ දකින්නේ කොහොමද?

මම හිතන්නේ මේ අර්බුදය පක්ෂයේ පරිනතයි කියන නායකයින් විසඳුම් සොයන්න පමා වීම නිසා වුණු දෙයක්. රෝහණ සහෝදරයා එක්ක සන්සන්දනය කර බලන කොට මෙච්චර හානියක් වෙන්නේ නැතිව වෙන විදියකට මේක ඉදිරියට ගෙන යන්න පුළුවන්කම තිබුණා කියා හිතෙනවා.

ආපසු හැරී බලන කොට අපට වැරදුණු තැන් ගොඩක් තියෙනවා. ඒවා නිහතමානීව පිළිගන්නේ නැතිව ඒ වැරදි නිවැරදි කර ගන්න පුළුවන් කියලා මං හිතන්නේ නැහැ. මේකෙදි අපි දැක්ක දේ තමයි, එහෙම සංවාදයකටවත් ඇතැමුන් කැමතිද කියන එක. පුද්ගල අඩුපාඩු එදාත් තිබුණා. ඒවා නොවෙයි ප්‍රශ්නය. යන්නේ කොයිබටද, කොහොමද කියන එක ගැන නිරවුල්කමක් තිබුණේ නැහැ. පැරණි වමේ දුර්වලතාවන්ටම ගොදුරු වී තිබෙනවා. ඒකෙන් මිදෙන්න කටයුතු කරන්න ඕන. මේ සංවාදය ඇතැමුන්ට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් මාක්ස්වාදියෙක් කියන්නේ යථාර්ථයට මුහුණ දෙන්න ඕන. නැත්නම් යහපත් ගමනක් යන්න ලැබෙන්නේ නැහැ. නිවැරදියි කියලා කිහිපයක් නැහැ, එකයි තියෙන්න පුළුවන්. ඒ නිවැරදි එක තෝරා ගන්න මේ වෙලාවේත් පක්ෂ සාමාජිකයා දැඩි වෙහෙසක් ගන්නවා.

ප්‍රශ්නය - අවසාන වශයෙන් මම දැන ගන්න කැමතියි, ඔබ ඉල්මහ විරු සමරුව ගැන කියන්නේ මොකක්ද කියලා...

අවස්ථාවාදයට, සංශෝධනවාදයට දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි ගොදුරු වෙලා තිබෙනවා නම්, පක්ෂය ගොදුරු වෙලා තිබෙනවා නම් ඒක නිවැරදි කර ගන්න නියම මාක්ස්වාදීන්, විප්ලවවාදීන් වශයෙන් අපි කටයුතු කරන්න ඕන කියා බල කරන සමරුවක් ලෙස මේ ඉල් සමරුව උපයෝගී කර ගන්න ඕන කියා මම විශ්වාස කරනවා

 

Comments

 
+9 # Sunil 2011-11-12 09:31
Vijitha Ranaweera your a great person, I knoow you giveup so many things to join a JVP, We trust you as a real JVPier, We wish you and your way to get JVP correct path.
Reply | Reply with quote | Quote
 
 
-11 # මෝඩයා 2011-11-12 10:01
මේ යකා එහෙමට රහක් ඇති බූතයෙක් නෙවේනෙ. පිස්සු මාම කෙනෙක් ....
Reply | Reply with quote | Quote
 
 
+4 # රවී 2011-11-12 18:55
මට මතක් වෙනවා 2005 දී තරම විජිත සහෝදරයාගේ නිවසේදී පක්ෂයේ ඉතිහාසය ගැන
විස්තර දැන ගන්න ඔහු හමු වූ දවස..
හරිම සුන්දර මනුස්සයෙක්..විජේවීර සහෝදරයා ලඟින්ම ඇසුරු කළ ඔහුට ආරක්ෂාව සපයූ සගයෙක්.
"මෝඩය" වුණාට ජවිපෙ නිලධාරීන්ගේ මෝඩ කම් තමන්ගේ ඉහට ගත්තට මිනිස්සුන්ට අපහාස කරන්න එපා..
Reply | Reply with quote | Quote
 
 
+3 # ද්‍රෝහියා 2011-11-12 18:58
"රෝහණ සහෝදරයා අනෙක් අයට ඇහුම්කන් දෙන්න සූදානම් සහෝදරයෙක්. නිතරම සාමාජිකයාට ඇහුම්කන් දුන්නා. ඕන නැති මානයකින් හිටියේ නැහැ. මම රෝහණ සහෝදරයා නියෝජනය සංවිධානයක ඉඳලා නැහැ, මම විතරක් නොවෙයි, විවිධ සංවිධාන මට්ටම්වල හිටපු අය රෝහණ සහෝදරයා එක්ක කතා කරන කොට, අඩුපාඩු කතා කරන කොට ඒවාට ඇහුම්කන් දුන්නා" .
අද ඉන්න හපුට්ටන්ට නැත්තෙත් ඔය හික්මීම නේද ?
Reply | Reply with quote | Quote
 
 
0 # sisira 2011-11-13 00:58
විජිත හාමු මහත්තයෝ;ඔය 13දට කොළඹ එනවද?කාගෙ පිළේ ඉල් සමරුවටද ඔයා එන්නෙ?නැත්නම් විතාරන්දෙනියෙ ඉඳගෙන රෑට TV එකෙන් ඒ දෙකම බලල බුදියගන්නවද?මමත් එන්නෙ ඔහේ එන සමරුවට!මම කොළඹ සිකුරිටි කරන ගමේ එකෙක්.
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 23 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 23 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහිත කාලගුණයක් ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී.   දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්... Read more

online

We have 116 guests online

Advertisment

advertisment