ඉන්ධන මිල ඉහළ දැමීමට නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය හේතු වී ඇති බවත්, එම නිසා ආර්ථික රටාවේ වෙනසක් නොකරන්නේ නම් මෙවැනි මිල ඉහළ දැමීම් නිතරම සිදු වන බවත් ජන අරගල ව්‍යාපාරය අවධාරණය කරයි. ආණ්ඩුව මේ මොහොතේ කළ යුත්තේ ඉන්ධන මත පනවා ඇති විශාල බදු අඩු කිරීම බවද එම ව්‍යාපාරය පෙන්වා දෙයි. තෙල් සංස්ථාව පාඩු ලබන්නේ ආණ්ඩුවේම වරදින් බැවින් එහි බර ජනතාව මත පැටවීම නොකළ යුතු බවද ජන අරගල ව්‍යාපාරය පෙන්වා දෙයි. රුපියල අව ප්‍රමාණ කිරීමද මිල ඉහළ යාමට හේතු වී ඇතැයි එම ව්‍යාපාරය වැඩිදුරටත් පවසයි.
ජන අරගල ව්‍යාපාරයේ දේශපාලන කටයුතු ලේකම් පුබුදු ජයගොඩ මහතා මෙම අදහස් පළ කළේ අද එම ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. එම ව්‍යාපාරයේ මාධ්‍ය හා ප්‍රචාරක ලේකම් වරුණ රාජපක්ෂ, මෙහෙයුම් සම්බන්ධීකාරක දුමින්ද නාගමුව යන මහත්වරුද මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
එහිදී අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
‘‘ඉන්ධන මිල ඉහළ දැමීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ඒ අනුව පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 149ක් දක්වාත්, ඩීසල් ලීටරයක් රුපියල් 115දක්වාත් භූමිතෙල් ලීටරයක් රුපියල් 110දක්වාත් ඉහළ දමා තිබෙනවා. නමුත් ඩීසල් ලීටරයක් වරායෙන් ගොඩබාන්නේ රුපියල් 95කට. පෙට‍්‍රල් ලීටරක් ගොඩබාන්නේ 91කට. භූමිතෙල් ලීටරක් 94කට. ඒ නිසා ආණ්ඩුව ඉන්ධනවලින් විශාල බදු මුදලක් අය කරන බව පැහැදිලියි.
ලංකාවට ඉන්ධන ගෙන එන ක‍්‍රම දෙකක් තිබෙනවා. ලංකාවේ ඉන්ධන පරිභෝජනයෙන් 55%ක්ම පෙට‍්‍රල්, ඞීසල්, භූමිතෙල් ආදී ඉන්ධන ලෙසම ආනයනය කරනවා. ඉතිරි 45%බොර තෙල් ලෙස ආනයනය කර සපුගස්කන්ද පිරිපහදුවේදී පිරිපහදු කරනවා. ඒ සඳහා වැය වන්නේ කලින් කී මිල ගණන්වලට වඩා අඩු මුදලක්. නමුත් ආණ්ඩුව මේ කතාව ජනතාවගෙන් වසන් කරනවා. මෙය වසං කරමින් ඛනිජ තෙල් ඇමතිවරයා කිව්වා, තෙල් මිල වැඩි කරන්න හේතු වුණේ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම නිසාත්, තෙල් සංස්ථාව පාඩු ලබන නිසාත් කියලා.
ලෝක වෙළඳ පොළේ තෙල් මිල ඉහළ ගියේ තෙල් හිඟයක් නිසාවත් ඉල්ලූම ඉහළ ගිය නිසාවත් නොවෙයි. ඇමරිකානු ජනාධිපතිවරයා පසුගිය හය වැනිදා ඉරානයට සම්බාධක පනවන බව පැවසුවා. ඒ නිසා මේ ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය ඇතුළු අධිරාජ්‍යවාදීන් වගකිව යුතුයි. ඔවුන්ට දේශපාලනිකව යටපත් කරන්න බැරි රාජ්‍යයන් යටපත් කරන්න ගන්න උත්සාහය නිසා තමයි මේ මිල ඉහළ යාම සිදු වුණේ.
අනෙක් කරුණ තමයි, තෙල් සංස්ථාව පාඩු ලැබීම. අඩු මුදලට ඉන්ධන අරගෙන වැඩි මුදලට විකුණනවා නම් තෙල් සංස්ථාව පාඩු ලබන්නේ කොහොමද? හරියට නම් ලාභ මිස පාඩු ලබන්න බැහැ.
තෙල් සංස්ථාව පාඩු ලබන්නේ රජයේ ආයතන ණයට තෙල් ගන්න නිසා. කෝප් වාර්තාව පෙන්වාදී තිබෙන ආකාරයට රාජ්‍ය ආයතන විසින් තෙල් සංස්ථාවට නොගෙවූ මුදල රුපියල් බිලියන 85ක්. ඒ නිසා මේ පාඩු ලබන්නේ රාජ්‍ය ආයතන මුදල් නොගෙවූ නිසා. ඒ නිසා ඛනිජ තෙල් ඇමතිවරයා මාධ්‍ය ඉස්සරහට ඇවිත් තෙල් සංස්ථාව පාඩුයි කියලා අපට කියලා වැඩක් නැහැ, ඔහු ඒක කියන්න ඕන කැබිනට් මණ්ඩලයේ.
අනෙක් කරුණ තමයි, රුපියල අවප‍්‍රමාණ කරන්න ආණ්ඩුව තීරණය කළා. ඒ නිසා ලෝක වෙළඳ පොළේ තෙල් මිල ඉහළ නොගියත් රුපියල අවප‍්‍රමාණ කළ නිසා ලංකාවේ තෙල් මිල ඉහළ යනවා. මේ ආණ්ඩුව වචන තුනක් කිව්වොත් දෙකක් කියන්නේ දේශපේ‍්‍රමය කියලා. අධිරාජ්‍ය විරෝධය ගැන කතා කළත් මේ ආණ්ඩුව ආර්ථික ක්ෂේත‍්‍රයේ කටයුතු කරන්නේ අධිරාජ්‍යවාදයට ගැතිවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි උපදෙස් දුන්නේ රුපියල අවප‍්‍රමාණ කරන්න කියලා.
සාමාන්‍යයෙන් වෙනත් භාණ්ඩයක මිල ඉහළ ගියාම එය බලපාන්නේ ඒ භාණ්ඩයට පමණයි. නමුත් ඉන්ධන මිල ඉහළ ගියාම ඒක අනෙකුත් සියලූම භාණ්ඩවල මිල ඉහළ යන්න බලපානවා. ඒ නිසා ආණ්ඩුව මේ මොහොතේ කළ යුත්තේ ඉන්ධන මත පනවා තිබෙන බදු අඩු කර ඉන්ධන මිල ස්ථාවරව පවත්වාගෙන යාම. නමුත් මේ ආණ්ඩුව ඒකට සූදානම් නැහැ.
අවුරුද්දකට පෙට‍්‍රල්වලට පනවා තිබෙන බදුවලින් පමණක් ආණ්ඩුව රුපියල් බිලියන 20ක් පමණ උපයනවා. නමුත් පොහොර සහනාධාරය දෙන්න වැය කරන්නේ බිලියන 8යි. සමස්ත පාසල් පද්ධතිය වෙනුවෙන් ප‍්‍රාග්ධන වියදම් ලෙස වෙන් කරන්නේ රුපියල් බිලියන 2යි. ඒ නිසා මේ බදු ලෙස අය කරන මුදල් වැය කරන්නේ මහජන සුබ සාධනයට නොවෙයි, සෝබන සන්දර්ශනවලට.
ඒ විතරක් නොවෙයි, පසුගිය කාලයේ අනුගමනය කළ නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්තිය සමගත් ඉන්ධන මිල ඉහළ යාම බැඳී තිබෙනවා. ජනතාව එය තේරුම් ගත යුතුයි.
ඛනිජ තෙල් සංස්ථාවට මුදල් උපයන්න පුළුවන් ඩීසල්, පෙට‍්‍රල්, භූමි තෙල් විකුණලා විතරක් නොවෙයි. වෙනත් ආදායම් සොයන්න මාර්ග ගොඩක් තිබෙනවා. ලංකාවේ නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරන්න කලින් එවැනි ආදායම් මාර්ග ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබුණා. බොර තෙල් පිරිපහදුවේදී නිකුත් වෙන අතුරු ඵල ආශ‍්‍රිත කර්මාන්ත විශාල ප‍්‍රමාණයක් තිබුණා. නමුත් ඒ සියල්ල නව ලිබරල්වාදී ආර්ථිකය තුළ අපේ රටේ පාලකයින් විකුණා දැම්මා. රෙදි නිෂ්පාදනය කරන්න, කෘමිනාශක, පොහොර ආදී කර්මාන්ත කරන්න පුළුවන්. ඛනිජ තෙල්සංස්ථාව සතුව නැව් තෙල් අංශයක් තිබුණා. 2002වසරේදී ඒක වෙනම සමාගමක් බවට පත් කර ජෝන් කීල්ස් සමාගමට විකුණා දැම්මා. ඒ කර්මාන්තවලින් එන ආදායමෙන් ඉන්ධන මිල ස්ථාවරව පවත්වාගෙන යන්න පුළුවන්.
මීට පෙර ලංකාවේ මාස දෙකකට අවශ්‍ය ඉන්ධන ගබඩා කර තබා ගන්න පුළුවන්. ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල අඩු වුණාම තෙල් අරගෙන ගබඩා කරලා තියා ගන්නවා. නමුත් දැන් මුතුරාජ වෙල, ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි විකුණා දමමින් තිබෙනවා. මුතුරාජ වෙල ඉන්ධන ගබඩා අබලන් වෙලා අවුරුදු හතරක් වෙනවා. ඒවා විනාශ වෙමින් යනවා. ඒ නිසා දැන් දින 20කට අවශ්‍ය ඉන්ධන පමණයි ගබඩා කරලා තියා ගන්න පුළුවන්. මේක සංවර්ධනය නොවෙයි, රට ආපස්සට ගිහිල්ලායි තිබෙන්නේ. ඒ නිසා අපේ රට රැගෙන විත් තිබෙන නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්තියත් මේ මිල ඉහළ යාමට හේතුවක්. ඒ නිසා මේ ආර්ථික රටාව වෙනස් කරන්නේ නැතිව මේ ප‍්‍රශ්නයට උත්තර සොයන්න බැහැ.’’
එම මාධ්‍ය හමුවේ හඬපටය පහත දැක්වේ.









Comments