A+ R A-

අයින්ස්ටයින්ගේ පෙම් හසුන් අන්තර්ජාලයට

E-mail Print PDF

කීර්තිමත් ප්‍රාඥයෙකු ලෙස සැළකෙන ඇල්බට් අයින්ස්ටයින්ගේ ලේඛන 80,000කට වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලයට එක්කිරීමට ඊශ්‍රායලයේ හීබෲ විශ්වවිද්‍යාලය සැරසෙයි.

ඊශ්‍රායලයේ විද්‍යා දිනය ලෙස සැළකෙන, අයින්ස්ටයින්ගේ 133 වැනි ජන්ම දින සමරුව යෙදුනු මාර්තු 14දා මෙම වැඩසටහන ‍දියත් කිරීමට ඔවුන් සැළසුම්කර තිබිණි. ඒ අනුව ඊයේ (19 සඳුදා) දිනයේදී අයින්ස්ටයින්ගේ ලේඛණ 2,000ක් පමණ අන්තර්ජාලයට එක්කිරීමට ඔවුන් කටයුතු කර තිබිණි. මේ මස අවසන් වනවිට එම සංඛ්‍යාව 7000 දක්වා ඉහළ නැංවීමට ඔවුහූ බලාපොරොත්තු වෙති. එමෙන්ම 80,000 ඉක්මවා යන මෙතෙක් හමුවී ඇති සියලුම ලේඛණ මෙම වෙබ් අඩවියට එක්කිරීමට අපේක්ෂා කරන බවද ඔවුහූ වැඩිදුරටත් පවසා සිටිති.

ඊශ්‍රායල සරසවිය පවසන්නේ අලුතින්ම නිර්මාණය කරගත් මෘදුකාංගයක් මත පදනම් වූ දත්ත ගබඩාවක් ඇසුරුකරගනිමින් මෙම වෙබ් ලේඛණාගාරය නිර්මාණය කළ බවයි.

ඔහු සම්බන්ධ ලේඛන අතරින් පාඨකයින්ගේ වඩාත්ම අවධානය දිනාගෙන ඇත්තේ 1896දී නිකුත් කර තිබෙන ඔහුගේ උසස් පාසල් සහතිකයයි. පංති කාමරයේ අදක්ෂ සිසුවෙකු ලෙස අයින්ස්ටයින් සම්බන්ධයෙන් පැතිර ඇති කතා බහ අසත්‍යයන් බව එමඟින් සනාථ කෙරෙන බවත් එම වෙබ් අඩවියේ නිර්මාපකයෝ පෙන්වා දෙති.

මෙම ලේඛණ අතරට ඔහු විසින් රචිත ලිපි, සටහන් ආදියට අමතරව පෙම්හසුන්, තැපැල්පත් වැනි පෞද්ගලික ලේඛනද අඩංගු බව එම විශ්වවිද්‍යාලය පවසයි. එමෙන්ම එයට එක් කිරීමට නියමිත සංවේදී පෞද්ගලික සටහන් අතරට 1919දී අයින්ස්ටයින් විසින් රෝගාතුරව පසුවන සිය මවට යැවූ ලිපියක්ද අඩංගු වේ.

සාපේක්ෂතාවාදය ඇතුළු ඇල්බට් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කළ විද්‍යාත්මක මතවාදයන් උදෙසා 1921 වසරේදී භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ඔහුට හිමිවිය. 

කෙසේවුවද මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙම වෙබ් අඩවිය සැබැවින්ම ආරම්භ වූයේ 2003 වසරේදී බවයි. එහෙත් කැලිෆෝර්නියා තාක්ෂණික ආයතනයෙන් සහ ලෝ පුරා තානාපති අංශයන් හරහා විශාල ලේඛණ ප්‍රමාණයක් ලැබීමත් සමඟ මෙම වෙබ් අඩවිය යළි දියත් කිරීමට ඔවුන් කටයුතු කර තිබිණි.

එම වෙබ් අඩවිය සඳහා පහත අන්තර්ජාල ලිපිනයෙන් පිවිසිය හැක.

http://alberteinstein.info/

 

This content has been locked. You can no longer post any comment.

Advertisment

advertisment