මෙම මාර්තු මාසය තුළදී උද්ධමනය දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තා අනාවරණය කරයි.
ඒ අනුව පසුගිය පෙබරවාරි මාසයේදී 2.7% දක්වා පහළ වැටුනු උද්ධමනය මේ මාසය අවසන් වනවිට 5.5% දක්වා ඉහළ ගොස් තිබිණි.
ජනවාරි මාසයේදී උද්ධමනය 3.8%ක් වූ අතර පෙබරවාරියේදී එලෙස උද්ධමනය අඩුවීමට හේතුව ආහාර මිල ගණන් පහත වැටීම බව මහ බැංකුව විසින් පෙන්වා දී තිබිණි. එමෙන්ම මෙවර දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් උද්ධමනය ඉහළ යාමට හේතුව ඛනිජ තෙල් මිල ඉහළ දමමින්, බස්ගාස්තු හා විදුලි ගාස්තු ඉහළ නංවමින් සිදුකළ සංශෝධන බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි.
ආහාර මිළ ගණන් මෙවර ඉහළ ගොස් ඇත්තේ 0.1%ක් පමණ සුළු ප්‍රමාණයකින් බවත් ඉහත සංශෝධන හේතුවෙන් නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන උප කාණ්ඩය 4.3%කින් ඉහළ ගොස් ඇති අතර බස් ගාස්තු ඉහළ යාම හේතුවෙන් ප්‍රවාහන උප කාණ්ඩයේ වියදම් 9.6%කින් ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව පවසයි. කෙසේවුවද සෞඛ්‍ය, සන්නිවේදන, විනෝදාත්මක හා සංස්කෘතික සහ අධ්‍යාපන යන උපකාණ්ඩයේ වියදම් කිසිදු වෙනසක් සිදුව නැතැයිද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.






