නාසි ජර්මනියේ ප්‍රධාන වධකාගාරයක් ලෙස සැළකුණු බූකන්වල්ඩ් (Buchenwald) සිර කඳවුර බිඳ නිදහස ලබාගැනීමේ 67 වන සංවත්සරය පසුගිය අප්‍රේල් 12 වැනිදාට යෙදී තිබිණි.
නිරායුද මිනිසුන් 2,40,000ක් අවට ලෝකයෙන් වෙන්කළ එහි අයෝමය දොරටුවේ සඳහන් වැකියක් නිරීක්ෂණය කරන සංචාරකයන් පිරිසක් මෙම ඡායාරූපයේ දැක්වේ.
මෙම ලෝහ දොරටුවෙහි සඳහන් අකුරු කියවිය හැක්කේ එහි ඇතුළත සිටින්නන්ටය. ජර්මන් බසින් ''Jedem das seine'' - 'සියල්ලන්ටම ඔවුනට හිමි දේ ලැබෙනු ඇත' යනුවෙන් එහි සඳහන් වේ. එහෙත් මේ දොරටුවෙන් ඇතුළු වූ සෑම සිව්දෙනෙකුගෙන්ම එක් අයෙක් (සිරකරුවන් 56,545ක්ම) යළි ඉන් එළියට ආවේ නැත.
ඒකාධිපති හිට්ලර්ගේ නාසි ජර්මනියේ අවසන් මතකයන් අතර ඉතිරිව ඇති මෙම සිර කඳවුර 1950 දී වනසා දමන ලද නමුදු එහි මෙම අයෝමය ගේට්ටුව ඇතුළු ගොඩනැගිලි කිහිපයක් පමණක් ඒකාධිපතිත්වයේ වේදනාබර මතකයන් අනාගතයට විදහාපෑම සඳහා ඉතිරි කරන ලදී.
හෙන්ඩ්‍රික් ෂ්මිඩ්ට් විසින් ගත් මෙම ඡායාරූපය DPA පුවත් සේවය විසින් ප්‍රසිද්ධ කොට තිබිණි.







