මේ සිංහල අපගෙ රටේ මිනිසුන්ට කොමියුනිස්ට්වාදය තේරුම් ගැනීම කෙසේවෙතත් කොමියුනිස්ට් වෙනුවට උච්ඡාරණය වෙන්නේද "කොමිනිස්" කියලාය. "කොමිනිස් පක්සෙ"; "කොමිනිස්කාරයෝ" හැදුනේ එහෙමය.
එහෙත් ඉපැරණි වමේ, ඉහළ-පහළ දෙකේම කොමියුනිස්ට්වාදීන් මෙන්ම වැදගත්,උගත්,බුද්ධිමත්,කටපුරා මහත්මයා යැයි කිව හැකි මිනිසුන් පිරිසක්ද සිටිබව සඳහන් කළයුතුය.
රෝහණ විජේවීර ඇපවී කැපවී හැදූ කොමියුනිස්ට් පක්ෂය හෙවත් කොමියුනිස්ට්වාදීන් නිර්මාණය කිරීමේ පක්ෂ පාසලේ දැන් බලය අල්ලාගෙන ඉන්නේ නොමිනිසුන් කීපදෙනෙකු බව කණගාටුවෙන් වුවද කීමට සිදුවේ. මේ කීපදෙනා නිලධාරීන් ලෙසද හඳුන්වනු ලැබේ. එම කීපදෙනා හැර ජවිපෙ ඉහළම වගකීම් දරන්නාගේ සිට පහළම මැතිවරණ සංවිධානයේ සිටින හිතවතා දක්වා අති විශාල පිරිසක් කුමාර සහෝදරයා පැහැර ගැනීම දැනගත් මුල්ම අවස්ථාවේ ඉමහත් කම්පනයට පත්වූවා පමණක් නොව බොහෝ දෙනෙක් ඉකි බිඳමින් ඇඬූ බව හෙළිදරව් කළයුතුය. එහෙම වුනේ ඔවුහු "කොමිනිස්" වීම කෙසේවෙතත් "නොමිනිස් " නොවූ බැවිනි.
කුමාරලා නායකත්වය දුන් ජවිපෙ වමේ බහුතර පිරිසගේ ඔලු ගෙඩි පලමින් මැර කල්ලියක් මෙහෙය වූ නිලධාරීන්ද මේ සිදුවීම හේතුවෙන් "තක්බීර්" වූහ. ඒ සමඟම නිල ජවිපෙ සාමාජිකයා තුළ කුමාරලා ගැන ඇතිවූ "හැඟීම" විසින් පක්ෂය දෙකඩවීමට හේතු ගැන සාමාජිකයාගේ නැවත සිතා බැලීමේ නැඹුරුව නිලධාරීන්ට ඉවෙන් දැනුනි. අවංක ජවිපෙ සාමාජිකයා නොමග යැවීමේ මොළ සේදීම වහාම ඇරඹුවේ ඉතිරි අවංක මිනිසුන් ද කුමාරලාට සමීපවන බව දන්නා බැවිනි. හැඟීම්වලට වඩා සංවේදී ජවිපෙ සාමාජිකයා උසිගන්වන්නේද මෙල්ලකරන්නේද හැඟීම් ආයුධයක් කරගෙනය. පැහැරගැනීම සිදුකළ රාජ්‍ය ත්‍රස්තවාදය විසින් එයට අවශ්‍ය අමුද්‍රව්‍යය නොඅඩුව සපයා තිබීම පහසුවක් විය.
ජවිපෙ රහසිගත මූලස්ථානයකදී විජේවීරට වෙඩි තබා මරා දැම්මේ ජවිපෙ තවත් නායකයකු වූ හේරත් විසිනි.
ඒ ආකාරයට කුමාර ගුණරත්නම්ට වෙඩි තිව්වේ ඕපාත යැයි කීම අදට ගැලපෙන්නේ නැත. ඒ නිසා කාලයක් තිස්සේ කුමාර ලුහුබැඳ උස්සන ගමන් ඕනෑම මොහොතක ඉස්සිය හැකි ඕපාත ගැනීමෙන් ඵලක් නැත.
හෝටල් කාමරයක් තුළ කුමාරගේ හා දිමුතුගේ නිරුවත් මළසිරුරු හමුවී නම් නිමාව ඊට වඩා ලස්සනය.
එක ගලෙන් කුරුල්ලො තුන් හතර දෙනෙක් බිම දැමිය හැක. කුමාරත් ඉවරය;ජන අරගලෙත් ඉවරය;අලුත් ජවිපෙත් ඉවරය;පරණ ජවිපෙත් ඉවරය;වෙන මොකෙක් හරි නිවැරදි අලුත් වමක් හදන්න දඟලන්නේද උං ඔක්කොමත් ඉවරය !
"එන්ඩ්" එක වෙනස් වුනේ බටහිරින් ඉර පෑව්වා වගේය !
එහෙම වුනේ කුමාර යනු බටහිර ගැති ඔත්තුකරුවකු නිසාය !
වම වනසන,CIA ,කාරයකු නිසාය !
ඕස්ට්‍රේලියාව ප්‍රමුඛ ලෝක ප්‍රජාව වැඩේට අතදැම්මේ ඒ නිසාය.
මේ තරම් තටමා කුමන්ත්‍රණ කොට විනාශකිරීමට තරම් බලවත් වමක් ලංකාවේ තියෙන බව CIA එක හිතාගෙන ඉන්නේ උං අමු මැට්ටන් නිසාය. ඒ නිසා කුමාර බේරාගැනීමට CIA එක ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා අතදැම්මේය.
ඒක කුමාරට වැදුන පොට්ට චාන්ස් එකකි !
ඇමරිකාවේද පුරවැසියකු වන ගෝඨාභය ලේකම් තුමා ඇමරිකාවට බයවීමත් සාධාරණය. ප්‍රභාකරන් පරදා මරා දැමූ ආණ්ඩුව කුමාරලා ආයුධ ගන්නවටද මාර බයවීමක් වෙලාය !
අතින් ආයුධ ලබාදී හෝ පුංචි පහේ සන්නද්ධ අරගලයක් තියෙනවා නම් මේ වෙලාවේ ආණ්ඩුවට මාර සැනසීමකි.
ඒකට මුවාවෙලා දේශප්‍රේමයේ අලෙවිය අරඹා ජනතාව ගොනාට අන්දවා අර්බුදයේ අභියෝග පස්සට තල්ලු කළ හැකි නිසාය.
දැන් ධනපති මාධ්‍ය හා ජාතිකවාදීන්ට අනුව කුමාර ගෑණු හොරෙකි, සල්ලාලයෙකි ! බටහිර ඔත්තුකරුවෙකි !
මේවා බලාපොරොත්තු විය යුතු ,පුදුම නොවිය යුතු මඩ හා අවලාදය.
දැන් නීතිවිරෝධී පැහැරගැනීම යටගිහිල්ලාය!
කාගෙත් ගැටලුව කුමාර සල්ලාලයකුද යන්නය.
මහින්ද මහත්තයා;වීරවංශ;ලාල් කාන්ත ආදී පුද්ගලයෝ සල්ලාලයෝද යන්න විමසීම අශීලාචාරය;
එයබෙල්ල ගහල යන පැනයකි.
රෑට රෑට තමන්ගේ ළඟට විජේවීර එන්නේයැයි ජවිපෙ කාන්තා අංශයේ සාමාජිකාවක් එජාප මැතිවරණ වේදිකාවේ එකල ප්‍රසිදධියේ පැවසුවාය.
විජේවීර බක බක ගා සිනාසුනා මිසක කිසිවක් නොකීවේය. හීනෙන් ගිය පඩයක් තරමට ගණන් ගත්තේ නැත.
වෙනසකට ඇත්තේ අදත් ජීවත්වන ඇයගේ නම චිංචි මානවිකාව නොවීමය.
මේ ගල් ගහන්නේ ඵල ඇති රුකටය. ඊට අමතර කාරණේ හිතේ අමාරුවය. කුරුමාණම වැරදුනේ නැතත් ඩැහැගත් ගොදුර මකර කටෙන් ගිලිහී ඕස්ට්‍රේලියාවටම වැටීමය. දැන් පැහැරගත් කුමාරට වඩා දහස් ගුණයක් දැවැන්ත කුමාර කෙනෙක් ලෝකයට හඳුන්වාදීමේ කටයුත්ත ආණ්ඩුව නොමිලේම සිදුකර තවත් කලු පැල්ලමක් සටහන් කරගත්තේය.
ඉතිං හිතේ අමාරුවට කියවන දේවල් ගණන් නොගත යුතුය. බුරන බල්ලන් ඔහෙ බුරද්දෙන් කිව්වලු !
කිඹුලා කතොත් කාපිය.. කොහිල කටු ඇනෙන එක තමයි ඉවසන්න බැරි කිව්වලු !
පැනය යොමුකරන්නේ ජවිපෙ නිලධාරීන්ටය.
පක්ෂයේ පහළ සාමාජිකයා අතර මේ නින්දා සහගත සාහසික ප්‍රචාරය සරුවට ගෙනයමින් කුමාර ඇතුලු මතවාදී අරගලයක යෙදුන පිරිස දේශපාලනිකව ඝාතනය කිරීම කොමියුනිස්ට්වාදී සදාචාරයද? "කොමිනිස්" ද "නොමිනිස්" ද ඇසුවේ එබැවිනි.
මේ පැහැරගැනීම ආශ්‍රිතව ජවිපෙ නිල මතය ප්‍රමාද වී හෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ඇතැයි සිතමි.
සැකය; අවිශ්වාසය; මඩ අවලාද වලින් යුත් ප්‍රකාශ කිරීම කොයිතරම් ඛේදනීය තත්වයක්ද!
උඩ බලාගෙන කෙළ ගැහීම නිසා හෙට දවසේ ජනතාව ජවිපෙ නායකයින් ගැන මවාගන්නා චිත්‍රය කුමක්ද?
අසූ නවයේ මහා භීෂණයෙන් දිවිගලවා ගත් එමෙන්ම වධ කඳවුරු, හිරගෙවල් පසුකරමින් පැමිණ දිවි රැකගත් බහුතරයට ජීවිත දානය ලැබුනේ රතු කුරුස සංවිධානය,ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආදී මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන හා පුද්ගලයින් නිසා නොවේද?ඒවා කොමියුනිස්ට්වාදී සංවිධාන නොවේ.
එබැවින් එසේ දිවි ගලවාගත් මිනිසුන් බටහිර ගැත්තෝද? ඔත්තුකරුවෝද?
එය එසේ වන්නේනම් එවැන්නෙක් දැකබලාගැනීම සඳහා ජවිපෙ වූ ඔබට ඇත්තේ මූණබලන කණ්නාඩියක් ළඟට යන සුනංගුව පමණි!
සෝමවංශ සහෝදරයා මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලාගොස් යාබද සමාජවාදී යැයි කියන චීනයට සංක්‍රමණය නොවී ප්‍රංශයට, බ්‍රිතාන්‍යයට ගොස් දේශපාලන රැකවරණ පැතුවේ බටහිර ගැති ඔත්තුකරුවකු නිසාද?
සෝමවංශ සහෝදරයා ඉන්දියානු රහස් ඔත්තු සේවය සමඟ සබඳතා පැවැත්වූ බවට විවිධ මාධ්‍ය හා ලේබනවල සඳහන් වෙද්දී මේ කුමාරලා;ඕපාතලා;කුලරත්නලා දැක්වූ ප්‍රතිචාරය අද ජවිපෙ විසින් කුමාරට දක්වන ප්‍රතිචාරවලට වඩා කොතරම් වෙනස්ද?
සිරිසේන කුරේ, සෝමවංශගේ මස්සිනා යැයි සතුරන් කියන විට සිද්ධාර්ථ ගෞතමයාණන්ගේ මස්සිනා දෙව්දත්තෙර යැයි එකට එක උත්තරදුන්නේ මහා කොමියුනිස්ට්වාදියකුනොව ප්‍රගතිශීලී පෙරමුණේ නායක වචනයේ අර්ථයෙන්ම ප්‍රගතිශීලී ආරිය බුලේගොඩ නමැති හිත හොඳ මිනිසාය.
තාත්තා අහිමි වූ ජවිපෙ අපට 94 දී උප්පැන්නය දී බාප්පා ලෙස ජවිපෙ අප නැගිට්ටුවේ බුලේගොඩ මහත්තයාය.
ඒවායේ අල ගිය මුල ගිය කතා දන්නේ බර ඇදපු කුමාර මහත්තයලා ය.
දැන් වීරවංශලා නන්දලා එක තැනකය. බුලේගොඩ මහතා දිවියලෝකයේය. සෝමවංශ සහෝදරයලා තව තැනකය.
බුලේගොඩ මහතා හැර මේ හැම අතම විසිරුණු පිරිස කුමාරට එරෙහිව ආණ්ඩුව සමග එකම තැනකය!
අද ජවිපෙ බොහෝ නායකයින් එදා 94 දී මුට්ටිය දාල බැලුවා මිසක එළියට ආවේ නැත. කුමාරලා බර කරටගත්තෝය.
තමන්ගේ බිරිඳ මැතිවරණයට ඉදිරිපත් කළේය. වීරවංශද හැංගුනේ නැතිව ඡන්දයටත් ඉදිරිපත් වූ බවද සටහන් කළ යුතුය.
අවු 30ක් පමණ ජවිපෙ බර ඇදපු කුමාර දැන් සල්ලාලයෙකි;ඔත්තුකරුවෙකි.
ඕස්ට්‍රේලියාවට ගියේ තනි මතයට තීන්දු අරගෙනලු!
මැලේසියානු කොමියුනිස්ට් පක්ෂයේත් මෙහෙම වුනාලු !
මේවාට සාධක සහිතව පිළිතුරු දීම කුමාර සහෝදරයාගේ වගකීමකි.
කුමාර හෙළිදරව් කරේ වීරවංශලා නන්දනලා යැයි ජවිපෙ කියයි. වීරවංශ ගැන එදා යූඇන්පී මාධ්‍යවලට මඩ තොරතුරු දුන්නේ අනුර කුමාරලා, ලාල් කාන්තලා යැයි වීරවංශ ප්‍රසිද්ධියේ කීවේය. විජිත හේරත් ගෝනි බිල්ලකු බවද වීරවංශ කීවේය.
දැන් මේවායින් වැඩක් නැත. පැණි වරකා ගහට හෙණ ගහලාය!
සියල්ල ජනතාව ඉදිරියේ හෙළිදරව් කළ යුතුය.
ජවිපෙ අවංක මිනිසුන්ට කිවයුත්තේ අන්ධ භක්තියෙන් තොරව විචාරශීලීව මානසික යුධ උපක්‍රමවලට ගොදුරු නොවී ඉවසිල්ලෙන් සිටින ලෙසය. කායික පීඩනයන්ට ඔරොත්තු දෙන විප්ලවවාදීන් වුවද මානසික යුධ උපක්‍රමවලින් බිම දැමිය හැක!
කුමාර සහෝදරයා මරුවාගෙන් ගැලවී දෙවන වර උපතේදී අඬන්නේ නැතිව ස්කයිපයෙන් කතා කළේය..!
"හරි..අපට පටන්ගන්න පුලුවන්නේ?ඔය ගොල්ලන්ට මාව ඇහෙනවද? ඒ එදා ස්කයිප් මාධ්‍යය ඔස්සේ ඇසුණු ඔහුගේ මුල්ම හඬයි.
ඒ දේශපාලන මණ්ඩලයේ සිට පහළම මැතිවරණ සංවිධානය දක්වා තිස් අවුරුද්දක් තිස්සේ සියලු සංවිධාන කතා බහ ඇරඹීමේදී නුඹ පැදුරක හෝ පුටුවක හෝ වාඩිවී හරි බරි ගැහෙමින් හඬ අවදිකරන වචන මාලාවයි..
ඒ දෙකටම එකම උත්තරයකි...
ඔව්... පටන්ගන්න පුලුවන් කුමාර සහෝදරය... ඇහෙනවා වගේම අපට නුඹ හොඳින් පෙනෙනවා... සිංහලයෙක් වෙනුවෙන් දෙමළෙක් නැගීහිටින... දෙමළෙක් වෙනුවෙන් සිංහලයෙක් නැගීහිටින... ඒ හැම සමග මුසල්මානුවෙක් අත්වැල් බැඳගන්නා දේශපාලන ව්‍යාපාරයක් ඇරඹීමේ එකම වරදට නුඹගේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ තීරණාත්මක මොහොත... ඒ සියල්ල තුළින් අපට නුඹ ඇහෙනවා වගේම අපට නුඹ හොඳින්ම පෙනෙනවා සහෝදරය....!
මේ රටේ පීඩිතයෝ සියලුදෙනා නුඹ නියෝජනය කරන දේශපාලනය ඇහෙන.. ඒ අනුව පටන්ගන්න සූදානම් දවස නුදුරේ බවත් පවසමි.
භොතික වාදය කෙසේ වෙතත්;නුඹගේ හැකියාවන්ට හා කැපකිරීමට ගව්ගණනක් දුරින් සිටින මා වැනි පීඩිත හේන් ගොවියකුට කළ හැකි ප්‍රාර්ථනය මගේ ආයුෂත් ගෙන නුඹ ජීවත්වේවායි පැතීමය. ජයවේවා..!
- බඳගිරියේ රූපෙ අයියා -








Comments
ඉදිකටු ඇන ඇගිලි තලා - දෙතිස් වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරදනම්.
කුමට එරට අධිකරනය නිතිය සහ විනිසුරන්