Latest news
A+ R A-

ඇමරිකානු ඔත්තුසේවා යානය 'කොපි' කිරීමට ඉරානය සැරසෙයි

E-mail Print PDF

පසුගිය වසරේ දෙසැම්බරයේදී ඉරානය විසින් අල්ලාගන්නා ලද ඇමරිකානු ඔත්තු බලන ගුවන් යානයේ තාක්ෂණය අනුකරණය කරමින් එවන් යානයක් නිර්මාණය කිරීමට ඉරානය සැරසෙයි.

එමෙන්ම U.S. RQ-170 නැමැති එම ගුවන්යානය විසින් එක්රැස් කර තිබූ දත්තවලින් බොහෝ තොරතුරු අනාවරණය වන බව ඉරාන ගුවන්හමුදා ඒකකයේ ප්‍රධානී ජෙනරල් අමිර් අලි හජිසාඩේ ‍එරට රූපවාහිනිය ඔස්සේ පවසා තිබේ. එම ගුවන්යානය මෙයට පෙර යෙදවූ මෙහෙයුම් අතර වයඹ දිග පාකිස්තානයේ පිහිටි ඔසාමා බින් ‍ලාඩන් රැඳී සිටි ස්ථානයේ තොරතුරුද අඩංගු බව ඔහු වැඩිදුරටත් අනාවරණය කර තිබිණි. ඔසාමා බින් ලාඩන් ඝාතනයට ලක්වූ දිනට පෙර සති දෙකක පමණ කාලයක් තිස්සේ රැස්කළ තොරතුරු එහි අඩංගු බවද හජිසාඩේ එම රූපවාහිනී සාකච්ඡාවේදී හෙළිකර තිබිණි.

ඇමරිකා එක්සත් ජනපද බුද්ධි අංශ විසින් රහසිගත තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් නිර්මාණය කළ මෙම ඔත්තුබලන ගුවන්යානයේ තාක්ෂණික රහස් මෙතෙක් සම්පූර්ණයෙන්ම අනාවරණය කරගැනීමට තවමත් සමත් නොවූවද ඉරාන විශේෂඥයින් ඒවා අවබෝධ කරගනිමින් සිටින බවද ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

මෙම ගුවන්යානය ඇදවැටීම පිළිබඳ පුවත එක්සත් ජනපද බලධාරීන් විසින් ද පිළිගන්නා ලද නමුදු එහි අඩංගු තොරතුරු ලබාගැනීමට නොහැකිවනු ඇතැයි පවසා තිබිණි.

 

කෙසේවුවද ඉරාන ගුවන් ප්‍රධානියා පවසා ඇත්තේ බිම හෙළූ මෙම ගුවන්යානය ඇසුරෙන් ලබාගත් තාක්ෂණික දැනුම පිළිබඳ සැළකීමේදී එය ඉරානයේ ජාතික සම්පතක් ලෙස සැළකිය යුතු බවයි. 

එමෙන්ම එම යානයේ කිසිදු කොටසක් තමන්ට සැඟවීමට‍ නොහැකි බව පැවසූ ඉරාන ගුවන් ප්‍රධානියා වැඩිදුරටත් අනාවරණය කළේ එහි මතකයෙන් මකා දැමුණු පැරණි තොරතුරුද යළි ලබාගැනීමට සිය විශේෂඥයින් සමත්වූ බවයි. එම යානය පරීක්ෂා කෙරුණු අවධියේ පටන් සියලුම දත්ත එහි මතකයේ තැන්පත්ව තිබුණු බවද ඔහු පවසයි.එම තොරතුරු රහස් සංකේත හා අකුරු භාවිතයෙන් සටහන් කර තිබුණද දෙවියන්ගේ අනුග්‍රහයෙන් ඒවා අනාවරණය කරගැනීමට ඉරාන විශේෂඥයින් සමත්වූ බවද ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබේ. 

 

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 103 guests online

Advertisment

advertisment