දශක දෙකක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් අනතුරුව දැනට පවතින පැරණිම ජීව විශේෂය සහ මිනිසාගේ දුරම නෑයා තහවුරු කරගැනීමට සමත් වූ බව විද්‍යාඥයෝ පවසති.
මේ දුරස්ථ ඥාතියා අන් කවරෙකුවත් නොව නෝර්වේ රාජ්‍යයෙහි ජලාශයකින් සොයාගත් ඇල්ගී භක්ෂක අන්වීක්ෂීය ඒක සෛලිකයෙකි. මෙම ජීවියා වසර බිලියනයකට පෙර පරිණාමය වූවෙකු ලෙස සැළකෙන අතර සත්ත්ව, ශාක, පරපෝෂිත, දිලීර හෝ ඇල්ගී යන කිසිදු ජීවී වර්ගීකරණයකට අයත් නොවන බවද විද්‍යාඥයෝ පවසති.
පරිණාම ගමන්මගේ කිසිදා හමුනොවූ ශාඛාවක් සොයාගැනීමට තමන් සමත් වී ඇතැයි මේ පිළිබඳව අදහස් පළකරමින් ඔස්ලෝ සරසවියේ පර්යේෂක කම්රාන් ෂැල්චියන්-ටබ්රිසි පවසයි.
ජීවයේ මෙතෙක් හඳුනා නොගත් මෙම ජීවී ගණය කොලොඩික්ටියොන් (Collodictyon) ලෙස නම්කර තිබේ. මෙම ජීවීන් පරිණාමයේ ගමන් මගට අනුව න්‍යෂ්ටි පටලයකින් වටවූ න්‍යෂ්ටියක් සහිත eukaryote පවුලට අයත් බව ද එම විද්‍යාඥයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.
ඔස්ලෝ නගරයට දකුණෙන් කිලෝ මීටර් 30ක් පමණ දුරින් පිහිටි කුඩා ජලාශයක ගොහොරු මඩෙහි මෙම ජීවී විශේෂය වාසය කරන බව එම විද්‍යාඥයෝ පෙන්වා දෙති.
අන්වීක්ෂයකින් පමණක් දැකිය හැකි කුඩා වල්ගා හතරක් මෙම ජීවියාට හිමිවී ඇති අතර සිය වෘතාකාර සංචරණය සඳහා මේවා උපකාරීකරගන්නා බව පැවසේ.
මෙයට වසර විස්සකට පෙර ඔස්ලෝ පර්යේෂකයන් විසින් මෙම ජීවී විශේෂය අසාමාන්‍ය බව දැක නිදර්ශන ලබාගත්තද එහි ඇති සැබෑ විශේෂත්වය තේරුම් ගැනීමට වසර 20ක්ම ගතවී තිබේ.










Comments