2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ඔලිම්පික් ගිනිසිළුව දැල්වීම අද (10 බ්‍රහස්පතින්දා) දිනයේ ග්‍රීසියේ ඔලිම්පියාහිදී සිදුකෙරිණි. ඓතිහාසික ඔලිම්පික් ක්‍රීඩා තරඟ ඇරඹි ඔලිම්පියාහි හාරා දෙවඟනගේ දේවස්ථානයේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ මෙම සාම්ප්‍රදායික ගිනිසිළුව දැල්වීමේ කටයුතු සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එහිදී පුරාණ ග්‍රීක පූජකවරියකගේ ඇඳුමින් සැරසුනු ජනප්‍රිය නිලි ඉනෝ මෙනෙගාකි ප්‍රධාන පූජකවරියගේ භූමිකාව නිරූපනය කරමින් හිරු රැස් ආධාරයෙන් මෙම ඓතිහාසික ගිනි සිළුව දැල්වූවාය. මෙම අවස්ථාවේ පසුබිමින් ඔලිම්පික් තේමා ගීතය වාදනය කෙරුණු අතර ඔලිම්පික් ධජයද ඔසවන ලදී. පළමුවෙන් ගිනිසිළුව රැගෙන යාම ග්‍රීක පිහිණුම් ක්‍රීඩක ස්පයිරෝස් ජියන්නියෝටිස්ට පැවරිනි.
මෙම ගිනි සිළුව දින 7ක කාලයක් පුරා කිලෝමීටර් 2,900ක දුරක් ග්‍රීසියේ සංචාරය කෙරෙන අතර මැයි 17 දින පළමු නූතන ඔලිම්පික් උළෙල (1896) පැවැත්වූ ඇතෑන්ස්හි පැනතීනියන් ක්‍රීඩාංගණයේදී ලන්ඩන් වෙත රැගෙන යාම සඳහා භාරදීමට නියමිතය. මෙවර ඔලිම්පික් ගිනිසිළුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 490 විසින් රැගෙන යාමට නියමිත බවද වාර්තා වේ.
මෙවර ඔලිම්පික් උළෙල එළඹෙන ජුලි 27 සිට අගෝස්තු 12 දක්වා ලන්ඩන්හිදී පැවැත්වීමට නියමිතය.












