Latest news
A+ R A-

30 අවුරුදු යුද්ධයෙන් 'ඒඩ්ස්' පැරදෙන ලකුණු?

E-mail Print PDF

තිස් වසරක් පුරා ඒඩ්ස් රෝගයට එරෙහිව ලෝපුරා විද්‍යාඥයින් සහ වෛද්‍ය පර්යේෂකයන් ගෙනගිය අරගලය ජයගන්නා ලකුණු පහළ වී තිබේ. දිනකට වරක් බැගින් ලබාගත යුතු කුඩා බෙහෙත් පෙත්තකින් ඒඩ්ස් වෛරසය ආසාදනය වීම වැළැක්විය හැකි බවට ඇමරිකානු ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ අනුමැතිය හිමිව තිබේ.

ටෘවඩා (Truvada) නැමැති මෙම ඖෂධය මේ වනවිටත් ඇතැම් වෛද්‍යවරුන් විසින් භාවිතාකිරීම ආරම්භ කර තිබුණද මෙම මිල අධික ඖෂධය සඳහා අනුමැතිය ලබාදීමට පෙර දිගු කලක් ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය විසින් පරීක්ෂාවට බඳුන් කර තිබිණි. ටෘවාඩා බෙහෙත් පෙත්ත ඇමරිකානු බලධාරීන් වෙත ඉදිරිපත් කෙරුණේ 2004 වසරේදී වන නමුදු ඒ කාලයේදීම එය වෙළඳ පොලට නිකුත් කර තිබිණි. එබැවින් බොහෝ වෛද්‍යවරුන් අනුමැතියකින් ‍තොරවම තවමත් රෝගය නොවැළඳුනු නමුදු සිය සහකරු‍වන්ගෙන් රෝගය බෝවීමේ අවදානම සහිත පුද්ගලයන් සඳහා මෙම ඖෂධය ලබාදී තිබිණි. 

ඇමරිකානුවන්ගෙන් මිලියන 1.2ක්ම ඒඩ්ස් රෝගයෙන් පෙළෙන අතර සෑම වසරකම තවත් ඇමරිකානුවන් 50,000ක් පමණ ඊට එක්වේ. කෙසේවුවද මෙම ඖෂධයේ සාර්ථකත්වය 90%ක් පමණ බවද ඇමරිකානු ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය වැඩිදුරටත් පවසයි. එමෙන්ම දිගු කාලයක් පුරා ටෘවාඩා භාවිතා කිරීමෙන් වකුගඩු සහ අක්මා රෝගවලට ගොදුරු වීමේ අවදානම වැඩි බවද ඇතැම් වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

එහෙත් ටෘවාඩා සඳහා එක් අයෙකුට වසරකට වැයකිරීමට සිදුවන මුදල ඇමරිකානු ඩොලර් 11,000ත් 14,000ත් අතර වන බවද එක් පුද්ගලයෙකුගේ ජීවිත කාලය සඳහා ටෘවාඩා වෙනුවෙන් වැයකිරීමට සිදුවන මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 6ක් පමණ වන බවද වාර්තා වේ. 

මෙම ඖෂධය සඳහා වැය කිරීමට සිදුවන අධික මිල හේතුවෙන්ම තවමත් ටෘවාඩා සඳහා අනුමැතිය ලබාගැනීමට උත්සාහ දරා ඇත්තේ ඇමරිකාව තුළ පමණක් බව මෙම ඖෂධය නිෂ්පාදනය කරන Gilead Sciences Inc. ආයතනය පවසයි. එබැවින් මසකට ඩොලර් 09කටත් අඩුවෙන් උපයන අප්‍රිකාවේ දිළිදු රටවල රෝගීන්ට මෙම ඖෂධය සිහිනයක් පමණක්ම වනු ඇතැයි පැවසේ. එමෙන්ම ඇතැම් සංවිධාන චෝදනා කරන්නේ රෝගයට ගොදුරුවීමේ අවදානමක් පවතින පුද්ගලයන්ගේ අන්තිම සතය දක්වා සූරාගැනීමට ටෘවාඩා නිෂ්පාදක සමාගම කටයුතු කර ඇති බවයි.

This content has been locked. You can no longer post any comment.

Advertisment

advertisment