ගලධාරී හෝටල (ලංකා) සමාගමේ ප්‍රාග්ධනය විශාල ලෙස ක්ෂය වීම හේතුවෙන් එහි ආයෝජනය කළ සේවක භාරකාර අරමුදලේ (ETF) මුදල් බලවත් අවදානමකට මුහුණ පා ඇතැයි විමසුම වෙබ් අඩවිය පෙන්වා දෙයි.
ඩුබායි ගලධාරී හෝටල් සමූහයට අනුබද්ධව ආරම්භ කළ මෙම සංචාරක හෝටල සමාගම මේ වනවිට විදේශීය මුදලින් ගෙවිය යුතු ණය කන්දකට යටවී තිබේ.
එම සමාගම 2011 දෙසැම්බර් කාර්තුවේදී රුපියල් මිලියන 199.6 අලාභයක් ලබා ඇති අතර අයවැය යෝජනා මගින් රුපියල අවප්‍රමාණය කිරීම හේතුවෙන් රුපියල් මිලියන 191ක පමණ විදේශ විනිමය අලාභයකට මුහුණ දීමටද පසුගිය කාර්තුව තුළ සිදුවී තිබිණි.
මෙම හොටල් සමාගම සතුව රුපියල් බිලියන 8.3ක දළ වත්කම් තිබූ අතර රුපියල් බිලියන 9.1ක පමණ දළ වත්කම් වටිනාකම ඉක්මවා යන පාඩුවක්ද, රුපියල් බිලියන 6.8ක දැවැන්ත ණය කන්දරාවක්ද එකතු වී තිබේ.
එහෙත් 2012 දෙසැම්බර් අවසන් වනවිට හෝටලය සතු ශුද්ධ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 1.3ක් පමණ වනු ඇතැයි ද පැවසේ.
කෙසේවුවද මෙම අවදානම දැක දැකත් රජය විසින් සේවක භාරකාර අරමුදලේ මුදල් යොදවා මෙම සමාගමේ කොටස්වලින් 13%ක් මිලදී ගෙන තිබීම බලවත් සැකකටයුතු ගණුදෙනුවක් බවද ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. මෙම සමාගමේ දැවැන්ත ඇදවැටීමත් සමග මේ සඳහා ආයෝජනය කළ සේවක භාරකාර අරමුදලේ මුදල්ද බලවත් අවධානමකට ලක්වීම නියත බවද ඔවුහූ වැඩිදුරටත් පෙන්වා දෙති.






