Latest news
A+ R A-

ජීවිතයේ සතුට අහිමි අපේ කාලයේ තාරුණ්‍යය

E-mail Print PDF

මානව සංහතියේ පැවැත්ම උදෙසා ආදරය අත්‍යවශ්‍ය සාධකයකි. ජීවිතය පිළිබඳ සොඳුරු හැඟීම් මිනිස් සිත් සතන් තුළ පිළිසිඳ ගන්නේ ආදරය සමගිනි. ජීවමාන මිනිස් සබඳතා සහිත සමාජයක් සඳහා ආදරය අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්, තාරුණ්‍යයට ආදරය සමග සමීප හා හෘදයාංගම බැඳීමක් පවතී. එහෙත් ධනේශ්වර සංවර්ධනයේ වත්මන් නව ලිබරල් නිමේෂය තුළ ආදරය ක‍්‍රමයෙන් තරුණ ජීවිතවලින් පලවා හැරෙමින් තිබේ. තාරුණ්‍යයේ පේ‍්‍රමය සජීවී ආත්මීය බැඳීමකට වඩා පැවැත්ම සඳහා වූ ගනුදෙනුවක් බවට හැරෙමින් පවතී. ආදරය වෙනුවට වසඟය ජීවිත අරා නැගී සිටී. මෙසේ වසඟය ලූහුබඳින තාරුණ්‍යයට කිසි දිනෙක තෘප්තිය මුණ නොගැසේ. ජීවිතය නමින් ඔවුනට ඉතිරි වනුයේ ඛේදවාචකයක් පමණි. මෙහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ පුද්ගලයා තම සිතින් මෙන්ම ගතින් ද පරාරෝපණය වීමයි. එවන් පුද්ගලයන්ට ස්වකීය ශරීරය මෙන්ම හදවත ද මහත් වූ බරක් සේ දැනෙයි. එමෙන්ම තෘප්තිය, විශ්වාසය, සුන්දරත්වය සමග මුසු විය යුතු ආදරය එවැනි ගුණාංගවලින් විතැන් වී අතෘප්තිය, අවිශ්වාසය හා සැකය වැලඳගනී. එය අවසානයේ ශිෂ්ටාචාරයේ පැවැත්ම පිළිබඳ ගැටලූවක් බවට පත්වේ. මන්ද, ආදරයෙන් තොරව ශිෂ්ටාචාරයට පැවැත්මක් නොමැති හෙයිනි.

නූතන තාරුණ්‍යය මුහුණ දෙන මෙවන් සංකීර්ණතා පිළිබඳ තියුණු විමසීමක යෙදෙන චිත‍්‍රපටයක් ලෙස Time හැඳින්විය හැකිය. මෙය කිම් කි-ඩුක් (Kim Ki-Duk) නම් සුප‍්‍රකට කොරියානු සිනමාවේදියාගේ 13වැනි චිත‍්‍රපටයයි. 2006දී ප‍්‍රසිද්ධ ප‍්‍රදර්ශනය සඳහා මුදාහරින ලද මෙය බර්ලින් සහ වෙනිස් ජාත්‍යන්තර සිනමා උළෙලවලදී සම්මානයට පාත‍්‍ර වී ඇත. තාරුණ්‍යයේ සුන්දරත්වය නූතන සංස්කෘතියේ ග‍්‍රහණයට හසුවන ආකාරය මෙම චිත‍්‍රපටයෙන් ගැඹුරු පරීක්ෂාවට ලක්කෙරේ. එමෙන්ම කායික පරිපූර්ණත්වය සාක්ෂාත් කරගැනීමට නූතන තාරුණ්‍යය දරන අසාර්ථක උත්සාහය ද මෙයින් නිරූපිතය.

චිත‍්‍රපටයේ කතා වස්තුව දිගහැරෙනුයේ සෙහ්-හී සහ ජී-වූ නම් පෙම්වතුන් යුවළ කේන්ද්‍ර කොටගෙනය. ඔවුහු එකිනෙකාට බෙහෙවින් ආදරය කරති. කාලය කෙමෙන් ගෙවී යද්දී සෙහ්-හී (පෙම්වතිය) වෙතින් මානසික ව්‍යාකූලත්වයක් දෘශ්‍යමාන වේ. ජී-වූ තමාගේ ඇසුරින් වෙහෙසට පත්වනු ඇත්දැයි යන හැඟීම ඇගේ සිතට වද දෙයි. ජී-වූ වෙනත් ස්ත‍්‍රියක දෙස යාන්තමින් හෝ බැල්මක් හෙළනු දුටුවහොත් සෙහ්-හී ගේ මානසික ව්‍යාකූලත්වය හිස්ටීරියාමය තත්වයකට පත්වේ. මෙවන් අවස්ථාවල ඇය තැන නොතැන නොබලා එම කාන්තාවන් සමග දබර කරගනී. දිනක් නිදි යහනේ දී මෙම තත්වය උග‍්‍ර වෙයි. ජී-වූ පේ‍්‍රමාලිංගනය කෙරෙහි දක්වන උදාසීනත්වය ඊට හේතුවයි. තම සිරුරින් ජී-වූ ට පහස ලැබිය නොහැකි යැයි යන කල්පනාව ඇගේ මනසට ඇතුළුවෙයි. වෙනත් කාන්තාවකගේ රූපකාය සිතින් මවාගනිමින් තමන් සමග සම්භෝගයේ යෙදෙන මෙන් සෙහ්-හී යෝජනා කරයි. එහෙත් ජී-වූ ගේ ප‍්‍රතිචාරය ඇය තව තවත් අපේක්ෂා භංගත්වයට පත්කරයි. මෙවන් හමුවීම්වල දී නැවුම් බවක් ජීවිතයට එක්කර ගැනීමට ඇති නොහැකියාවෙන් දෙදෙනාම පෙළෙති. සෙහ්-හී ගේ යෝජනාව පමණ ඉක්මවා යාමක් බව ජී-වූ ට හැෙඟයි.

පසු දින සෙහ්-හී අතුරුදන් වෙයි. ජී-වූ ට ඇය සොයාගත නොහැකිය. ඇගේ ජංගම දුරකථනය ද විසන්ධි කර ඇත. සෙහ්-හී හොර රහසේම ප්ලාස්ටික් සැත්කමක් කරගනී.

ජී-වූ තමා සෙහ්-හී සමග චාරිකාවේ යෙදුණු දූපතට යයි. එහි විශාල අව් කණ්ණාඩි පැලඳි යුවතියක් මුණගැසේ. වෙස් මුහුණක් පැලඳ සිටිය ද ඇය ආකර්ෂණීය කාන්තාවක් බව පෙනේ. දූපතේ ප‍්‍රතිමා උයනේදී ජී-වූ ඇය සමග කතාබහට යොමුවේ. ඇය ඔහුගේ සමාගමයට ප‍්‍රිය කරන බව දිස්වුව ද ජී-වූ ඇයට සමීප වීමට තැත් කරත්ම ඇය එකවරම එතැනින් ඉවතට යයි.

ජී-වූ වෙනත් ස්ත‍්‍රීන් ඇසුරු කරයි. එහෙත් ඔහු ඔවුනගෙන් එකකු සමග හෝ සමීප වීමට තැත් කරත්ම කිසිවකු ඊට හරස් වෙයි. වරෙක එක් කාන්තාවක හා යහන්ගත වීමට සැරසෙත් ම හෝටල් කාමරයේ වීදුරුව බිඳී යයි.

දිනක් ජී-වූ අවන්හලේ රූමත් වේටර්වරියක් සමග සල්ලාපයේ යෙදෙයි. ඔහු සෙහ්-හී සමග යාමට පුරුදුව සිටියේ මේ අවන්හලටය. වේටර්වරියගේ නම සී-හී ය. ජී-වූ ඇය සමග ක‍්‍රමයෙන් සමීප ඇසුරකට වැටෙයි. තමාට අපූර්ව හැඟීමක් ලබාදීම සම්බන්ධයෙන් ඔහු සී-හී ට ස්තූති කරයි. සෙහ්-හී ආපසු පැමිණියහොත් කුමන පියවරක් ගන්නේදැයි ඇය ජී-වූ ගෙන් විමසයි. තමාට ඒ ගැන යමක් ස්ථිරව කිව නොහැකි බව ඔහු අවංකවම පවසයි. දින කිහිපයකට පසු ජී-වූ ට සෙහ්-හී ගෙන් ලිපියක් ලැබෙයි. තමා ආපසු ඔහු වෙත පැමිණෙන බව එහි දැක්වේ. දිගින් දිගට සිතීමෙන් පසු සී-හී සමග වන සබඳතාව නවතාදමා සෙහ්-හී වෙත ආපසු යාමට ඔහු තීරණය කරයි. සී-හී එම තීරණයට ශාප කරමින් ප‍්‍රචණ්ඩ ලෙස ප‍්‍රතිචාර දක්වයි. ජී-වූ දැඩි අවමානයට ලක්ව පිටව යයි. ඔහුගේ නික්ම යාමෙන් පසු සී-හී ගේ මුවට අමුතු තෘප්තිමත් සිනහවක් නැගෙයි.

ජී-වූ, සෙහ්-හී මුණගැසීමට අවන්හලට යන විට සී-හී වෙස් මුහුණක් පැලඳ එහි සිටින බව දකී. එය සැත්කමට පෙර සෙහ්-හී ගේ මුහුණේ ඡායාරූපයක් කපා සකසාගත් වෙස් මුහුණකි. සී-හී ගේ මුහුණ හා ඡායාරූපය අතර හිඩැස තුළින් ඇගේ මුහුණ දැකගැනීමට ජී-වූ ට හැකිවෙයි.  අවසානයේ සමස්ත කතාව ඔහුට පැහැදිලි වෙයි. එනම් දූපතේ සිටි කාන්තාව හා සී-හී යන දෙදෙනාම එක් අයකු බවය. ඒ ප්ලාස්ටික් සැත්කම කරගත් සෙහ්-හී ය. තමා එම සැත්කමට භාජනය වූයේ ඔහුට අසීමිතව ආදරය කරන නිසා බව ඇය පවසයි. ඇයට අවශ්‍ය වන්නේ ඔහුට ආදරය කිරීමටය. වෙනත් කාන්තාවක් ලෙස පෙනී සිටිමින් පෙනුම වෙනස් කරගැනීම මගින් ඔහුගේ ආදරය සදාතනිකව ලබාගැනීමට ඇයට අවශ්‍ය වෙයි. අමනාපයටත් කම්පනයටත් පත් ජී-වූ ඇය හැර යයි. සී-හී ඔහු පසුපස හඹායයි. එහෙත් ඔහු නොපෙනී යයි.

ජී-වූ ද ප්ලාස්ටික් සැත්කමක් කරගැනීම සඳහා සෙහ්-හී ට සැත්කම කළ වෛද්‍යවරයා වෙත යයි. මාස කිහිපයකට පසු ජී-වූ වෙනස්ම ස්වරූපයකින් ඇය ඉදිරියේ පෙනී සිටීමට ඉඩ ඇති බව වෛද්‍යවරයා සී-හී ට ඉඟිකරයි. ඒ ජී-වූ ඇයට ආදරය කරන නිසා බව ද පවසයි. එතැන් සිට දකින දකින තරුණයා ජී-වූ විය හැකි යැයි ඇයට සිතේ. වරෙක ඇය ජී-වූ යැයි සිතා තරුණයකු සමග ඔහුගේ කාමරයට යයි. එහෙත් තමා ජී-වූ නොවේ යැයි ඔහු පැවසූ විට ඇය අපේක්ෂා භංගත්වයට පත්වෙයි. මෙලෙස ඇය ඇස ගැටෙන සෑම තරුණයකු පසුපසම හඹායයි. දිනක් ඇය තවත් තරුණයකු පසුපස දිවයයි. ඒ ජී-වූ වීමට ද නොවීමට ද පුළුවන. එම තරුණයා රිය අනතුරකට ලක්ව මියගොස් ඇති බව ඇය දකී. ඇය යළිත් ප්ලාස්ටික් සැත්කමක් කරගනී. මෙවර ඇයට අවශ්‍ය වන්නේ කිසිවකුටත් හඳුනාගත නොහැකි ස්වරූපයකට පත්වීමටය.

නව ලිබරල් ධනවාදය තුළ තාරුණ්‍යයට ආදරය අහිමි කරන ආකාරය පිළිබඳ පළල් සිතීමක් වෙතට ඔසපැ පේ‍්‍රක්ෂකයා යොමු කරයි. චිත‍්‍රපටයට අනුව මෙම පෙම් යුවළට භෞතික සම්පත්වල අඩුවක් නොමැත. පරිසරය පවා සුන්දරය. කෝපි අවන්හල මෙන්ම ප‍්‍රතිමා උද්‍යානය ද තාරුණ්‍යයේ පේ‍්‍රමණීය හැඟීම් උද්දීපනයට උචිත වටපිටාවකි. මෙලෙස සියලූ පාරිසරික සහ භෞතික කොන්දේසි පරිපූර්ණව තිබියදීත් ආදරය නම් විෂය තුළ අඩුවක් පවතී. ආදරයේ සතුට ඔවුනට ආගන්තුකය. ආදරය ඔස්සේ තරුණ ජීවිත සොයා යන සතුට වෙනුවට ඔවුන් කරා පැමිණෙනුයේ ආතතිය, සැකය, අවිශ්වාසය, ව්‍යාකූලත්වය, කාංසාව යනාදියයි.

මෙම තත්වයෙන් මිදී ආදරය තම ජීවිත තුළට කැඳවාගැනීම සඳහා ඔවුනට අනුගමනය කිරීමට බල කෙරී ඇත්තේ අතිශය අනතුරුදායක මගකි. නව ලිබරල් සමාජයක හැමවිටම හරයට වඩා පෙනුම ප‍්‍රමුඛත්වයෙහිලා ගැනෙයි. ආදරය සම්බන්ධයෙන් ද එහි වෙනසක් නොමැත. සෙහ්-හී  සිය බාහිර පෙනුම ප්ලාස්ටික් සැත්කමක් මගින් වෙනස් කර පෙම්වතාගේ ආකර්ෂණය ලබාගැනීමේ අනතුරුදායක ක‍්‍රියාමාර්ගයට එළැඹෙනුයේ එහෙයිනි. මේ අනුව සෙහ්-හී තැත් කරනුයේ සිය ශාරීරික ස්වරූපය වෙනස් කිරීමෙන් ජී-වූ වසඟකර ගැනීමටය. එහෙත් ආදරය හා වසඟය අතර ඇත්තේ ප‍්‍රතිවිරෝධී සබඳතාවකි. ආදරය යනු හරයාත්මක හැඟීමක් වන අතර වසඟය යනු බාහිර චර්යාවකි. එහෙයින් වසඟය හරහා ආදරය දිනාගැනීමට ප‍්‍රයත්න දැරීම මගින් තරුණ ජීවිත තව තවත් අගාධයේ පතුලට ඇදවැටීම හැර අන් යමක් සිදු නොවේ. බාහිර පෙනුම කෙතෙක් වෙනස් කළ ද ඇතුළත සිටිනුයේ එකම පුද්ගලයාය. බාහිර පෙනුම වෙනස් කළ පමණින් නව අනන්‍යතාවක් නොලැබේ. එමගින් අවසානයේ සිදුවන්නේ තාරුණ්‍යය නව ලිබරල් හුදෙකලාවේ ගිලීයාමය. එහිදී දෙදෙනාට එකිනෙකා පමණක් නොව තමාට තමාව ද අහිමි වේ. තමාට සිය අධ්‍යාත්මයෙන් පමණක් නොව ශරීරයෙන් ද පලායාමට බල කෙරෙයි.

මෙම ක‍්‍රියාවලියේ අවසන් ඉම වන්නේ තාරුණ්‍යය සමාජයේ ආගන්තුකයන් බවට පත්වීමත් ඔවුනට ස්වකීය අනන්‍යතාව අහිමිවීමත්ය. චිත‍්‍රපටයේ අවසන් රූපරාමුවෙන් එය මනාව විද්‍යමාන වේ. දෙවැනි වතාවටත් ප්ලාස්ටික් සැත්කමකින් පෙනුම වෙනස් කරගන්නා සෙහ්-හී ජනාකීර්ණ මාවතකට අවතීර්ණ වෙයි. පේ‍්‍රක්ෂකයාගේ දෑස් ඇයව සොයා තිරය පුරා දිව යයි. එහෙත් ඇය නිශ්චිතව හඳුනාගත නොහැක. මන්ද ඒ වන විට ඇගේ අනන්‍යතාව වියැකී ගොස් ඇති හෙයිනි.

Timeයනු නව ලිබරල් ධනවාදයේ ගිලී සිටින කොරියාවේ තාරුණ්‍යයට ආදරය සොයා යාමේදී මුහුණදීමට සිදුවන ඛේදනීය තත්වය පේ‍්‍රක්ෂකයාට අභිමුඛ කරන අනර්ඝ රූපමය ආඛ්‍යානයකි. එමෙන්ම ‘තාරුණ්‍යයට ආදරය අහිමි කිරීමත් ආදරය ආතතිමය ව්‍යවහාරයක් බවට පත්කිරීමත් නව ලිබරල් ධනවාදයේ නෛසර්ගික ලක්ෂණයක් වේ’ යන දේශපාලනික සත්‍යය අතිශය ප‍්‍රබල ලෙස පේ‍්‍රක්ෂක මනස තුළ තැන්පත් කිරීමට Time සමත් වේ.

 

x උදිත අලහකෝන්        

කාලගුණ අනාවැකිය

ජූලි මස 31 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 31 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කදුකරයේ විටින් විට... Read more

Advertisment

advertisment