A+ R A-

Him, Here After ඉනියවන් තවත් කියවීමක්........

E-mail Print PDF

 

සිය වේදිකා නාට්‍ය සමග පැමිණි ඔහු අසූව දශකයේ දී  වර්ග කරන ලද්දේ ආණ්ඩු විරෝධියකු ලෙසිනි. ඉන් පසුව ටෙලි නාට්‍ය සමග ආපසු එන ඔහු බොහෝ විචාරකයන්ට තේරුම්ගත නොහැක්කෙකි. යළි සිනමාව හරහා අප ඔහුගේ නිර්මාණ විඳින විට ඔහු නාමකරණය වන්නේ දේශද්‍රෝහියෙක් හා වල් චිත‍්‍රපටකරුවෙක් ලෙසිනි. ඒ අතරම ඔහුගේ සිනමා පට හරහා එන දේශපාලනය වටහා ගැනීමත් සමග ම ඔහු වාරණයේ ගොදුර බවට පත්වෙයි. ‘මේ මගේ සඳයි’සමග ‘නිලලත්  අධිකාරියේ’උදහසට ලක්වෙන ඔහු, මිලිටරිමය විචාරකයන්ගේ ද්වේෂසහගත විවේචනයන්ට ලක්වෙයි. එසේම ඔහුගේ ‘අක්ෂරය’සමග එතුළින් එල්ල කෙරෙනා ප‍්‍රබල දේශපාලනික විවේචනයට පිළිතුරු ලැබෙනුයේ සංවාදයක් හරහා නොව සිනමා පටය වාරණය කරනු ලැබීමෙන් හා හඳගම අලූත්කඬේ කරා තල්ලූ කරගෙන යාම තුළිනි. නිර්මාණකරුවකුට සිය නිර්මාණ චාරිකාව තුළ ඉතාම අපහසු වනුයේ තම කලා භාවිතාව මත තමා අයත්වන ස්ථානය රැක ගැනීමයි.පසුගිය සමය පුරාම අප රටේ බොහෝ කලාකරුවන් සිය භාවිතාව හරහා යළි යළිත් පැහැදිලිව කියා සිටියේ කලාව තුළින් කළ හැකි දෙයට වඩා කලාකරුවකු සතු කීර්තිනාමයෙන් යමක් උපයා ගැනීමට ඇති අවසරය භාවිත කිරීම යන්න සිය නිර්මාණාත්මක දායකත්වය බවට පත්ව ඇති බවයි. එහෙත් හඳගම දිගටම සිය කලා භාවිතාව තුළ රැඳෙන්නේ වරදානයන්් සහිත ආලෝකමත් මගෙහි ගමන් කිරීමෙන් නොව සිය ඉතිහාසය තුළ බලාධිකාරය විසින් තමන් මත පටවන ලද ඊනියා නාමකරණය හළාදමා, පුනරුත්ථාපනය වීමට වෙර නොදරමිනි. බොහෝ කලාකරුවන් සිය භාවිතාව පයින් පාගා දමමින් පුනරුත්ථාපනය වෙද්දී, පුනරුත්ථාපනය ලබද්දී හඳගම, ධර්මසිරි, ප‍්‍රසන්න වැනි අතළොස්සක් වූ නිර්මාණකරුවන් අතර හිඳිමින් කැරලිකරුවෙක් වෙයි.

අපට ද හඳගම දේශපාලන සිනමාකරුවෙක් ලෙස වැදගත් වන්නේ ඔහු සිය සිනමාව දේශපාලනික ප‍්‍රවේශයන් කරා ගෙන යමින් ප‍්‍රායෝගික දිවියේ දී උපයෝගිතාව කරා ඇද වැටෙන බොහෝ කයිරාටිකයන්ගෙන් වෙන්ව සිට ගැනීමට සමත්ව සිටින හෙයිනි. ‘විදූ’හිදී සිය අඩි ශබ්දය අහිමි කරගත්තේ යයි විචාරයන්ට පාත‍්‍ර වූ හඳගම මෙවර එන්නේ ‘ඉනියවන්’සමගිනි. එය හැඳින්වෙන්නේ දෙමළ බසින් නිපදවුණ සිනමා පටයක් ලෙසිනි. එහෙත් එය හඳගමගේ සිනමා පට අතර රූපයට ප‍්‍රබලම තැනක් අත් කර දීම තුළින් භාෂාව නොතකා රස විඳීමට ඉඩ සැලසෙන සිනමා පටයක් ලෙස හඳුනාගත හැකිය. එසේම දෙබස් මෙන්ම ප‍්‍රබල රූප රාමු ද එකට සංකලනය වූ ද භාෂාව නොතකා කියවිය හැකි වූ ද සිනමා පටයක් ලෙස එය අපට වැදගත් වෙයි. මේ සියල්ලටම වඩා අපට මෙහිදී වැදගත් වන්නේ දේශපාලන සිනමාකරුවකු ලෙස හඳගම ‘ඉනියවන්’හරහා අප හමුවට පමුණුවන දෙයයි. හඳගමගේ ‘ඉනියවන්’ඉතා සීරුවෙන් හා ප‍්‍රවේශමෙන් කියවියයුතු යයි අපට සිතෙන්නේ පාලක දෘෂ්ටිවාදය අනුව ඉතිහාසය, යුද්ධය හා ආගමික චිත‍්‍රපට ව්‍යාපාරයක නිරත ‘සිනමාකරුවන්’මැද හඳගමගේ සිනමා පටය ද එකී මතවාදය තුළම ජනප‍්‍රිය රාමුවට කපා බැස්සවීමේ අනතුරක්, එකී සිනමා පටයේ මතුපිට කියවීම තුළ දක්නට ලැබෙන හෙයිනි.

සිනමා පටය ආරම්භ වනුයේ බස් රියක කල්පනාවේ පසුවන ජවසම්පන්න පෙනුමැති තරුණයකුගේ දර්ශනයකිනි. ඔහු වනාහි එල්ටීටීඊ සාමාජිකයකු ලෙස අත්අඩංගුවට පත්ව පුනරුත්ථාපනය කරන ලද තරුණයෙක් බව අපට පසුව වැටහෙයි. එහෙත් තරුණයා සිය ගමට එන පළමු මොහොතේ සිටම පේ‍්‍රක්ෂකයාගේ සිතට හාස්‍යය හා කනගාටුව එකවර දනවන කරුණ ලෙස මුලින්ම හමුවන්නේ පුනරුත්ථාපනය නමින් හඳුන්වනු ලබන ක‍්‍රියාවලියේ අසාර්ථකභාවයයි. මුළුමනින්ම පුනරුත්ථාපනයට ලක් කළ යුතු පාර්ශ්ව බල පිරමීඩයේ තීරණාත්මක ස්ථාන හොබවන සමාජයක පුනරුත්ථාපනයට ලක් වූවේ යැයි කියනා තරුණයාට දිවිය අරඹන්නට වන්නේම අපේක්ෂා භංගත්වයෙනි. එය  පුනරුත්ථාපිත තරුණයාට සිය ජීවිකාව සරිකර ගැනීමට රියදුරු බලපත‍්‍රයක් ලබා ගැනීමට තරම්වත් සැලැසුමක් පවා නැති අපුරු පුනරුත්ථාපන ක‍්‍රියාවලියකි. එසේම මුල පටන්ම ගොඩනැගිය යුතුව ඇති සමාජයකට යළි ප‍්‍රවේශ වන තරුණයා පිළිගැනීමට බාහිර සමාජ සාධක සූදානම් කර නැති තත්වයක් තුළ ඔහු ඊට පිවිසෙන්නේම පිටස්තරයකු ලෙසිනි.

හඳගමගේ ‘ඉනියවන්’තුළ මතුවන එක් අතුරු කාරණාවක් වන්නේ එයයි. දශක තුනක යුද්ධයකට පසුව ඉතා සාර්ථක වැඩපිළිවෙළක් සේ දැක්වෙන පුනරුත්ථාපන ක‍්‍රියාවලිය හුදෙක් පැලැස්තරයක්, කඩතුරාවක් මිස අන් යමක් නොවන බව පුනරුත්ථාපිත තරුණයා පළමු රූප රාමු පෙළ තුළදී ම සිය ඉරියවු තුළින් කියාපායි. එහෙත් හඳගමගේ සිනමා පටය හරහා මතුවන ප‍්‍රධාන කරුණ මෙය නොවේ. ‘ඉනියවන්’පුළුල් කියවීමට ලක් නොකර ඔහු මේ මොහොතේ අධිපතිවාදී දෘෂ්ටිවාදය සමග එකඟ වෙන තාලේ සිනමා පටයක් නිර්මාණය කර ඇතැයි ඇඟවෙන අයුරින්, ඔහුට ප‍්‍රශංසාත්මක සහතික පිරිනැමීමට ඇතැමුන් උත්සුක වීමට ඔහුගේ සිනමා පටය ඉවසිල්ලෙන්, එහි එන සංකේත හරහා කියවීමට අපට ඇරයුම් කරයි. සිනමා පටයේ එන දෙබස් කිහිපයක් අල්ලාගෙන ඒ හරහා හඳගම සුලභ එමෙන්ම ජනප‍්‍රිය කොටි විරෝධයට පල්ලම් බැස ඇතැයි කීමට වඩා ඔහු යුද්ධයෙන් අනතුරුව ගෙවුණ දශක ගණනාවකට පසුව දෙමළ සමාජයේ හදගැස්ම, ඔවුන්ගේ හෙට දවස මෙන්ම ප‍්‍රජාවක් ලෙස ඔවුන්ගේ දොරකඩට පැමිණ ඇති ප‍්‍රවාහයන්  දෙස බැලීමට වෙර දරන ආකාරය විචාරාත්මකව තෝරා බේරාගැනීම ඉතා වැදගත්ය. අපට හඳගම පසුබසින්නෙක් ද, තවදුරටත් දේශපාලනික සිනමාකරුවකු ද යන්න පිළිබඳව වටහාගත හැකි වන්නේ එවන් ප‍්‍රවේශයක් තුළිනි. පුනරුත්ථාපිත එල්ටීටීඊ සාමාජිකයා බසයෙන් බැස සිය නිවස කරා ගමන් කරන අවස්ථාව විදහා දැක්වෙන රූපාවලියේ සංකේත හරහා කියවෙන දෙය වටහා ගැනීම මෙහිදී අත්‍යවශ්‍යය. තරුණයා ප‍්‍රවේශ වන්නේ සිය ගමට ය. එය කාපට් අතුරා මනාව නිමවන ලද මගෙන් බැහැර ගම්මානයකි. ආශ්චර්යයේ සලකුණු එම ගමට අහිමිය. එම ගමෙහි ඇති ගෙවල් සැලකිය යුතු මට්ටමක අතීත ජීවන තත්වයක නටබුන් ඉදිරිපත් කරයි. ගෙවල් ප‍්‍රමාණයෙන් විශාල ය. එදා මේ ගෙවල විසූ  මිනිසුන් සමාජයේ කිසියම් ස්ථාවරත්වයක සිටි අය බවට ඉඟි දෙයි. එහෙත් ඒ සමගම එහි යටි පෙළ ඉතා කර්කශ ය. පුරා දශක ගණනාවක්  වර්ණාලේප නොකරන ලද අලූත්වැඩියා නොකරන ලද ඒ නිවසේ

පසුගිය කාලය පුරාම පීඩාවට හා හානියට පත් එම නිවැසියන්ගේ ජීවිත බඳුම ය. එසේම ගම්වැසියන් ද පොදුවේ අයත් වනුයේ සුවිශේෂී කුලකයකට ය. එහි තරුණයන් ඇත්තේම නැති තරම් ය. වියපත්වූවන් හා ළමා ළපටින් පමණි. විසල් නිවෙස් පුරා ඇත්තේ පාළුව හා හුදෙකලාවයි. මල් මාලා දමන ලද යෞවනයන්ගේ ඡායාරූප එම නිවෙස් තුළ සුලබ දසුනකි. පුනරුත්ථාපනය ලැබ එන තරුණයාගේ නිවසේ ද ඔහුගේ ඡායාරූපය මත මල්දමකි. ඔහු නිවෙසට පැමිණි පසුව එය ඡායාරූපයෙන් ඉවත් කරනු ලබයි. ඒ මගින් කියවෙන අරුත ප‍්‍රබල ය. නිවසට ගොඩවදින මොහොත දක්වාම ඔහු මළගිය ප‍්‍රාණකාරයෙකි. නිවසට යළි ඒ යැයි අපේක්ෂා නොකරන ලද්දෙකි. අනෙක් අතින් මල් මාලය ඡායාරූපයෙන් ඉවත් වුව ද පුනරුත්ථාපිත තරුණයා මරණයට පත්වූවකු හා සමාන ය. එක් පසෙක සිය දිවි පරදුවට තබා කළ සටනෙන් ලද පරාජයයි. ඒ සමග ම සිය දරුවන් අහිමි වූ වැඩිහිටියන්ගේ අදෝනාවල දෝංකාරයයි. අහිමි වූ පේ‍්‍රමයක වේදනාව ද ඊට එක්වෙයි. ඒ සියල්ල පරයා නඟෙනුයේ සාධාරණ දිවියක් පිළිබඳව ඉහළින්ම නැඟෙනා ප‍්‍රචාරක ව්‍යාපාරයක තුනී කටුව බිඳී විසිරෙන කටුක සැබෑවේ අපුලයි. නාගදීපය වැඳ හොඳ කරවල, ඉස්සන්, මිදි, අඹ ලාභෙට අරගෙන තල් රා වඩියකින් සප්පායම් වීමට එල්ටීටීඊයේ හදවත සේ සලකන ලද කිලිනොච්චිය හරහා කාපට් පාරේ යාපනය කරා යන දකුණට මග හැරෙන උතුරෙහි අඳුරු ඡායාවන් නම් මේවා ය.

පසුගිය තිස් වසර පුරාම මනුෂ්‍යත්වය මතු කරන ලද්දේ පාර්ශ්වික හැඟීම් තුළිනි. ඒ අනුව ගෙවුණ අතීතයට මෙන්ම වර්තමානයට ද එල්ටීටීඊ සාමාජිකයා යනු සිත්පිත් නොමැති දරුණු ත‍්‍රස්තවාදියෙකි. ඊට ඇත්තේ එකම එක ව්‍යතිරේකයක් පමණි. ඒ අධිපතිවාදී දේශපාලන රාමුවේ කොන්දේසි විරහිත පාර්ශ්වකරුවකු වීමයි. ඔහු ඊට සුදානම් නම් උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ යන යෙදුම ඔහුට ද අදාළ කෙරෙයි. එහෙත් මේ පටු දැක්ම අපට මනුෂ්‍යත්වය අගයන සමාජයක් ගොඩනැංවීම සඳහා කෙතරම් සීමාකාරී සාධකයක් බවට පත්ව තිබේද? හඳගම ඉනියවන් හි පුනරුත්ථාපිත තරුණයා හරහා අපට වෙනස් කියවීමකට ඉඩ විවර කරයි. ආපසු සිය මිනිසුන් අතරට පිවිසුණ පසුව අත්දකින දේ හමුවේ ඔහු පළ කරන සංයමය, සිය පැරැණි පෙම්වතිය භාරගැනීමට ඔහු තුළ වන සූදානම, වංචාකරුවකු නොවී ජීවත්වීමට දරන වෙහෙස, එහිදී ඔහුට මුහුණපෑමට වන අභියෝගවලට දක්වන ප‍්‍රතිචාර යන මේ බොහෝ දෑ හරහා අපට එල්ටීටීඊ සාමාජිකයා තුළ වන මිනිසා දෙස වෙනස් ඇසකින් බැලීමට කවුළුවක් තනයි.

මේ පුනරුත්ථාපිත තරුණයාගේ ජීවන අරගලය හරහා යළි උතුර කියවීමට හඳගම අපට ප‍්‍රබල සංකේත ගණනාවක් ඉදිරිපත් කරයි. කාපට් පාර, දැවැන්ත ට‍්‍රක් රථ, ඉදිවෙන මහල් ගොඩනැගිලි, තරුණයා වළෙන් ගොඩගැනීමට සැරසෙන තුවක්කුව, අලූත් මෝටර් සයිකල් එහිදී කැපී පෙනෙයි. (යුද්ධය අවසන් වූ පසුව යාපනයට ප‍්‍රවිෂ්ට වන මග දෙපස විවිධ  සමාගම් විසින් ඉදිකරන ලද දැවැන්ත ප‍්‍රචාරක පුවරු ද මෙහිදී අපට සිහිපත් වෙයි.) නිර්බාධිතව සිය ‘අලූත් පන්නයේ වෙළෙ`දාම කරනා’වෙළෙඳ පංතිය ද මෙහිදී කෙසේවත් අමතක නොකළ යුතු සංකේතයකි.

රූප රාමුවෙන් ඍජුව පැවසෙන දෙය තුළ ඍජුව නොපැවසෙන දෙය වටහාගැනීම වැදගත් වනුයේ මෙහිදී ය. තිස් වසරක යුද්ධයේ අවසානය දකුණේ සිංහල - බෞද්ධ මතවාදයට තෙවරක් ජය ගොස නැගීමට ඉඩ විවර කළේ ය. මහා කාරුණික සිංහල - බෞද්ධයන් පිළිබඳ වෛවර්ණ චිත‍්‍රයක් (ඉවසීම මූලිකම පදනමක් වන බුදු දහමේ අනුගාමිකයන්ගේ ඉවසීමේ තරම දඹුල්ලේ දී අපට රූපවාහිනිය හරහා දැකගැනීමට ලැබුණි.) සමාජගත වනුයේ ඒ අනුව ය. එහෙත් මේ සිංහල - බෞද්ධ ප‍්‍රහර්ෂය තුළ සැඟව ගිය කරුණ වනුයේ යුද්ධාවසානය සමග කඩාවදිනා ප‍්‍රාග්ධන ප‍්‍රවාහයේ කොල්ලකාරීත්වයයි. නව ලිබරල් ධනවාදයේ රණ ඝෝෂාවයි. මේ වන විට දකුණ මෙන්ම විශේෂයෙන් උතුරු නැගෙනහිර ද වෙළී යමින් පවතිනුයේ අන් කිසිවකින් නොව කොල්ලකාරී ධනවාදයේ රැහැනිනි. කාපට් පාර, දැවැන්ත ට‍්‍රක් රථ, මහල් කොන්ක්‍රීට් සැකිලි මෙහි ජනප‍්‍රිය සංකේතයන් ය. මනුෂ්‍යත්වයේ කඩතුරාවට මුවා වී දේශපාලන බලාධිකාරය සමග අත්වැල් බැඳගත් ප‍්‍රාග්ධනයේ සම්ප‍්‍රාප්තිය හා ඊට එක සිතින් අනුගතවන - වාර්ගික භේද නොතකන ධනපති පංතියේ හවුල්කාරීත්වය හඳගම ඉනියවන් තුළ සංකේතාත්මකව ඉදිරිපත් කිරීමට උත්සුක වෙයි.

පුනරුත්ථාපිත තරුණයාට රැකියාව ලබාදෙන  ව්‍යාපාරිකයා යනු පශ්චාත් යුද සමයේ උතුරේ හිමිකාරීත්වයේ හවුල්කරුවා ය. ඔහු මතුපිටින් ස්වර්ණාභරණ වෙළෙන්දෙකි. එහෙත් ඔහු තරුණයා හට අලූත් ව්‍යාපාරයක් ගැන ඉඟි කරයි. එම ව්‍යාපාරය යනු දැඩි ආරක්ෂාවක්, ප‍්‍රබල සබඳකම්, දේශපාලන බලය අවැසි එකකි. එහිදී ඔහුට හිටපු එල්ටීටීඊ සාමාජිකයා යනු කදිම ආයෝජනයකි. ඔහු උත්සාහ දරනුයේ තරුණයා සිය ඉත්තා කරගැනීමට ය. අනෙක් අතින් තරුණයා ද ව්‍යාපාරිකයාගේ අභිලාෂය වටහා ගනියි. තරුණයා ව්‍යාපාරිකයාගේ යෝජනාවට එකඟතාව පළ කිරීමත් සමග ම ඇරඹෙන ක‍්‍රියාදාමය පේ‍්‍රක්ෂකාගාරයට ප‍්‍රශ්න ගණනාවක් මතු කරයි. මේ ව්‍යාපාරිකයාට ඇති සබඳකම් කවරේද? ඔහු කිසිදු බියකින් තොරවම නීති විරෝධී යැයි පෙනෙනා ව්‍යාපාරයකට අතගසනුයේ කෙසේද? පුනරුත්ථාපිත තරුණයා මහ දවාලේ මෙන්ම රාත‍්‍රියේ දී ද ව්‍යාපාරිකයාගේ වාහනයෙන් කිසිදු බාධාවක් රහිතව මහ මග මෙන්ම පාළු වෙරළේ ද සැරි සරන්නේ කුමන බලයක් පිටද? ඉතා දැඩි ආරක්ෂාවක් පවතින යාපනය තුළ එකම එක වතාවක දී හැර අපට ආරක්ෂක නිල ඇඳුමක් දකින්නට නොලැබෙන්නේ ඇයි?

දේශපාලන බලය, ප‍්‍රාග්ධනය, මිලිටරිය, ධනේශ්වර පංතියේ හැසිරීම  සහ එම පාර්ශ්වවල සහසම්බන්ධය යනාදී කරුණු පිළිබඳව නිවැරැුදි වැටහීම අවශ්‍ය වනුයේ මෙහිදී ය. ඉනියවන්හි ව්‍යාපාරිකයාගේ නීති විරෝධී ව්‍යාපාරය හුදු කල්පිතයක් නොව තාර්කික පසුබිමක් සහිත ක‍්‍රියාවලියක් බව පේ‍්‍රක්ෂකයාට වටහාගත හැක්කේ ඔහුට මේ රූප රාමු දේශපාලනිකව කියවීමට හැක්කේ නම් පමණි. සිය සිනමා භාවිතාව යනු කඹය මත රැඟුම් පානා සර්කස්කරුවකුගේ භූමිකාව වැනි යැයි දන්නා හඳගම මෙහිදී සංකේත ආශ‍්‍රයෙන් සිය ප‍්‍රකාශනයට වැඩි බරක් යෙදීම නිසාම, එකී සංකේත වටහා නොගෙන මතුපිට සරල අර්ථයට සීමාවීම හරහා ඉනියවන් වැරැුදි  කියවීමකට  හසුවීමේ අනතුරක් ද පවතින බව සැලකිය යුතු ය. එහෙයින්ම ඉනියවන්හි සංකේත නිවැරදිව වටහා ගැනීම ඉතා වැදගත් ය. ධනවාදය සිය පැවැත්ම සඳහා දේශපාලන බලාධිකාරය, පංතිය, මිලිටරිය යනාදී සාධක මනාව කළමනාකරණය කරන ආකාරය වටහා ගැනීමට යමකු තමන් තුළ වන ආගමික, වාර්ගික අගතීන් පසෙකලා විවෘත මනසින් බැලීම අවශ්‍ය ය. ඉනියවන්හි කාපට් පාර පුළුල් අරුත් සපයන සංකේතයකි. එය එක් පසෙකින් ප‍්‍රාග්ධනයට මල් අතුරයි. ඒ සමග ම එය පුනරුත්ථාපිත තරුණයාට මර බියෙන් පලායාමට සිදුවන මාවත බවට ද කටුක උත්ප‍්‍රාසයකින් සිහිපත් කරනු ලබයි. ‘නිර්බාධිත ව්‍යාපාර ජාලයේ, පුංචි මුරිච්චියක් බවට පත්වන ඔහුට සිය දිවිය පිළිබඳව දැන් ඇත්තේ ද පෙර සටන් වැදි සමය තුළ පැවැති අවිනිශ්චිතතාවම ය. පෙරදී මෙන් දැන් අඩු ගණනේ ඔහුට අරමුණක් හෝ නැත. ඔහු විෂම චක‍්‍රයක ගොදුරකි. බලය, ප‍්‍රාග්ධනය හා සංකලනය වූ නව සමාජය තුළ දරුණු සූරාකෑමකට හා අනාරක්ෂිත බවට පමුණුවනු ලබන්නෙකි. සඟවන ලද තුවක්කුව සොයා යාමට ඔහුට බලකරනු ලබන්නේම මේ නව ලෝකය තුළ ඔහුට ඉතා බරපතළ ලෙස දැනෙනා අනාරක්ෂිත බව, බියකරු බව හා අපේක්ෂා භංගත්වයම ය.

එහෙත් මේ සියල්ල මැද ඔහු තුළ හිස නගනා මනුෂ්‍ය හැ`ගීම් නිරූපිත ය. තමා නිසා රැකියාව අහිමි වන මිනිසාගේ බිරිඳ ව්‍යාපාරිකයාගේ ගොදුර බවට පත්වන මොහොතේ දී ඔහු ඇගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් වදින්නේ මනුෂ්‍යත්වයේ උරුමය අහිමි කර නොගත්තෙක් ලෙසිනි. ඉනියවන් යනු තිස් වසරක යුද්ධයෙන් පසුව විමුක්තියේ අරුණලූ දකිනා බිම්කඩක් ලෙස අලූතින් නිර්වචනය කෙරෙන කලාපයක ජීවිතයේ නාඩි අල්ලා බැලීමට දරන ලද උත්සාහයකි. එසේම එය දඬුකෙ`ද් ගසන ලද සිනමාකරුවකු පවත්නා සීමා හා බාධා සූක්ෂ්ම ලෙස අතික‍්‍රමණය කරන්නට ගනු ලබනා උත්සාහයක් ද වෙයි. එහෙයින් එය සරල අර්ථකථන තුළ කියවීම යනුම නොකියවීමකි. ලංකාවේ පසුගිය දශක ගණනාවක් පුරාම දෙමළ සමාජය වෙත සිංහල සමාජය තුළ වූයේම මේ නොකියවීමයි. ඉනියවන් හරහා හඳගම අපට ඇරයුම් කරන්නේ නොකියවීම තුළ ගෙවුණ නිද්‍රාව හමාර කිරීමට ය.

 

-චූලානන්ද සමරනායක

සේයා සටහන

පිස්තෝලේ ‘සෙල්ලම්’ එකක්ලු ආවේ ආරක්ෂාවටලූ

පිස්තෝලේ ‘සෙල්ලම්’ එකක්ලු ආවේ ආරක්ෂාවටලූ…

  හම්බන්තොට නගර සභාවේ නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පිස්තෝලයක්ද රැගෙන මන්ත්‍රීවරුන් පසුපස පැන්නූ අයුරු ඡායාරූප පළ විය. ඒ පිළිබඳ ඔහු පවසා ඇත්තේ...

Search