Latest news
A+ R A-

‘‘වම’’ යා යුතු අත - සංවාදයකට මුල පුරනු වස්

E-mail Print PDF

 

මේ රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි වන පිරිස් පැහැදිලිවම අලූත් වෙමින් ඇත. සිවිල් යුද්ධය දිනා ගැනීමෙන් පසු ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සංවර්ධනය ලබා ගත හැකි යැයි සිතා, ආණ්ඩුව දියත් කළ යුද්ධය වෙනුවෙන්  ඕනෑම නීති විරෝධී කි‍්‍රයාවක්, මර්දන කි‍්‍රයාවලියක් හා මහා දූෂණ වංචාවන් දැනුවත්ව ඉවසූ පිරිස් සමහරකට අමතරව, සාමාන්‍ය ජනතාවගේ ඇතැම් කොටස් ආණ්ඩුව හා උරණ වෙමින් සිටිති. නගරයේ පහළ ආදායම්ලාභීන් සහ ග‍්‍රාමීය සමාජයේ පහළ මැද පංතික කොටස් ඔවුන් ගේ දෛනික වියදම් විඳ දරා ගැනීමට ඇති අපහසුව හමුවේ, රාජපක්ෂ ආණ්ඩුව හා විරෝධයන් අවුලූවා ගන්නේ ය. මේ අතර, උතුරු නැගෙනහිර දෙපළාතෙන් පිට ද, සුළුතර වාර්ගික හා ආගමික ජනතාවගේ මූලික අයිතීන් නොතකා හැසිරීමෙන් ආණ්ඩුව තවත් ජන කොටස් තරහ කර ගෙන ඇත.

රාජපක්ෂ ආණ්ඩුවේ බහින කලාව

ප‍්‍රජාතන්ත‍්‍රවාදී, නීති ගරුක පාලනයකට වගකිව නොහැකිවා පමණක් නොව, මේ රාජපක්ෂ ආණ්ඩුවට ආර්ථිකය කලමනාකරණය කර ගැනීමටද නොහැක. සිංහල අවුරුද්දට දෙසතියකට පමණ පෙර මුදල් අමාත්‍යාංශ ලේකම් පොරොන්දු වූ ඩොලරයට රුපියල් 125ක ස්ථාවරත්වයට පයින් ගසමින් අද ඩොලරයට අනුපාතිකව, රුපියලේ බාල්දු වූ අගය 132කි. ආචාර්ය ජයසුන්දර කුමන තර්ක ඩදිරිපත් කළ ද, එය මේ අවුරුද්ද අවසන් වන විට රුපියල් 150ඉක්මවනු ඇතැයි උප කල්පනයක් ද ඇත. ලෝකය පුරා නව ලිබරල්වාදය බිඳ වැටී ඇති අතරතුර, විනයක් නැති වෙළඳ පලක, ආයෝජන සඳහා යැයි විදේශික තැරැව්කරුවන් හා කෙරෙන ගනු දෙනු මගින් කොළඹ කේන්ද්‍රීය සල්ලිකාර ජීවිතයකට ඉඩ ලබා දී ඇත.

මහ බැංකුවෙත් මුදල් අමාත්‍යාංශයෙත් ලොක්කන් කතා කරන දත්ත වල කිසිදු හරයක් සාමාන්‍ය ජීවිතයට නැත්තේ, ඒවා හුදු ලේඛණාරූඩ සංඛ්‍යා පමණක් වන හෙයිනි. ඔවුන් කතා කරන 2011වසරේ දිනා ගත් ජාතික ඒක පුද්ගල ආදායම වන ඩොලර 2,836රටේ ජනගහනය වන දස ලක්ෂ 20න් බෙදුනු සාමාන්‍ය අගයකි. එහි ඇත්ත නම්, කොළඹ සහ ගම්පහ කේන්ද්‍රීය බස්නාහිර පළාතේ එකී අගය ඩොලර 6,000ඉක්ම වන අතර, ඌව, සබරගමුව වැනි පළාත් වල එය ඩොලර 1,200ක පමණ සාමාන්‍යයකට පහත වැටීමයි. ඒ අනුව, බාල්දු වූ රුපියලෙන් කොළඹ ඒක පුද්ගල වාර්ෂික ආදායම රුපියල් 7,86,000ක් වන විට, ඌව වැනි පලාතක එය රුපියල් 1,57,200කි. මේ ආණ්ඩුව යටතේ එම පරතරය අද සීඝ‍්‍රයෙන් වැඩි වෙමින් ඇත්තේ කොළඹ සල්ලිකාර තැරැුව්කරුවන් වෙනුවෙනි.

දුප්පතුන් තවත් දුප්පත් වෙයි

එසේ වන විට සිදුවන අනෙක් බලවත් අසාධාරණය නම්, මේ රටට විදේශ විනිමය උපයන ප‍්‍රධාන ක්ෂේත‍්‍ර 03හි - ඇඟළුම්, සංක‍්‍රමණික ශ‍්‍රමය සහ වැවිලිකරය තුල ඉන්නා සෘජු වැටුප් ශ‍්‍රමිකයින් අවම ලක්ෂ 10ට වැඩි පිරිස, තව තවත් දුප්පත් වීම ය. ඔවුන් රටට උපයා දෙන විදේශ විනිමය ප‍්‍රතිශතය වන සියයට 66න් ඔවුන් ගේ ජීවිත වලට කිසිදු සහනයක් ලැබෙන්නේ නැත. ඒවා වැය වෙන්නේ නැවතත්, කිසිදු ප‍්‍රමුඛතාවක් නොමැකි හා අධීක්ෂණයකින් තොරව කෙරෙන ආනයනයන් සඳහා ය. කොළඹ මහ මග දිවෙන ඩොලර කෝටි ගණනක නානා වර්ගයේ සුඛෝපභෝගි වාහන එයින් පංගුවකි. ඒ මගින් අපතේ පු`ඵස්සා දමන ඞීසල් පෙට‍්‍රල් සඳහා වැය කෙරෙන්නේ ද මේ ශ‍්‍රමිකයින් උපයන ඩොලර්ම ය. ඉරිදා පුවත් පත් වල ඇති ලිහිපිට දැන්වීම් පිටු මගින් දැක්වෙන වාණිජත්වය ඔවුන්ගෙන් කෙතරම් දුරස්ථ ලෝකයක් කොළඹ ඇති ද යන්නට තවත් සරළ නිදසුනකි.

විපක්ෂ වැඩ පිළිවෙළ කුමක්ද?

එවැනි පසු බිමක, ප‍්‍රශ්නය මතු වන්නේ මේ රාජපක්ෂ පාලනය ඉවත් කර බලයට ගෙනෙන විපක්ෂය සතු වැඩ පිලීවෙල කුමක් ද යන්නයි. ප‍්‍රධාන විපක්ෂය ගතහොත් රනිල් වික‍්‍රමසිංහට මිස ඔහුට අභියෝග කරන අනෙකුන්ට මේ අර්බූද ගැන හා රටේ සංවර්ධනය ගැන කිසිදු නිනව්වක් නැත. රනිල් වික‍්‍රමසිංහට ද, ඔහු 2001දී ඉදිරිපත් කළ ‘‘යළි පුබුදමු ශී‍්‍ර ලංකා’’ වැඩ පිළිවෙල මිස වෙනකක් නැත. එය ලෝක බැංකුවද අත හැර දැමූ ‘‘වොෂිංටන් සම්මුතිය’’ ආදර්ශයට ගත්, නව ලිබරල්වාදී සැළැස්මකි.

දේශපාලන වශයෙන් අද ඔහු එදාට වඩා දෙමළ ජනතාව පෙරටු කෙරුනු ප‍්‍රජාතන්ත‍්‍රවාදී විසඳුමකට සූදානම් බවත් එනමුත් පෙන්වයි. එල්.ටී.ටී.ඊය ආයුධ අතැතිව, වෙනම ස්වාධීන රාජ්‍යක් වෙනුවෙන් පෙනී සිටිය දී මෙන් නොව, ඔහු නියෝජනය කරන නව ලිබරල්වාදීනට අද වඩා වැඩි විශ්වාසයකින් බලය බෙදන්නට කතා කළ හැක. එනිසා ඔහු, ආණ්ඩුවෙන් පිටත අද ඉතිරිව ඉන්නා වමේ නායකයින්ට ද හවුල් විය හැක්කෙකි. එහෙත් ඒ සඳහා දැඩි සේ මධ්‍යගත කෙරුනු මේ සිංහල රාජ්‍ය, සහමුලින් නවීකරණය කළ යුතු බවද ඔහු නොදන්නවා නොවේ. එසේ නවීකරණය කිරීමේ දී සකී‍්‍රය බලය බෙදීමකට යාමට නම්, විධායක ජනාධිපති ධුරය නිශ්කී‍්‍රය කළ යුතු අතර, ඒ වෙනුවට වෙනත් බල අධිකාරයක් ව්‍යවස්ථාදායකය තුල නිර්මාණය කිරීම ද කළ නොහැකි ය. මධ්‍යගත විධායක බලයකින් තොර එවැනි නව රාජ්‍ය ප‍්‍රතිසංස්කරණයකට යාමට රනිල් සූදානම් දැයි බරපතල සැකයෙකි. විධායක බලය එන්නේම නව ලිබරල්වාදය වෙනුවෙනි. කෙසේමුත් තමන්ගේ හෝ තම පක්ෂයේ කිසිදු ජාතික තලයේ ප‍්‍රතිපත්තියක් ගැන කතා කිරීමට රනිල් තවමත් සූදානම් නැත.

දැනට සිදුවන්නේ, රාජපක්ෂ පාලනයට අභියෝග කළ හැකි යැයි වඩාත් සහභාගි එකතුවක් ඉදිරිපත් කිරීම පමණි. එය අපගේ දේශපාලන හැදියාව සතු විශ්වාසයකි. යු.ඇන්.පී ආණ්ඩුවක් නම්, එය පැරදවිය හැක්කේ සියලූ යු.ඇන්.පී විරෝධීන් ශී‍්‍ර.ල.නි.ප හා එකතු කිරීමෙන් යැයි ඇති විශ්වාසය වාගේම, රාජපක්ෂ පාලනය පැරදවිය හැක්කේ ද රාජපක්ෂ විරෝධී සියලූ දේශපාලන පක්ෂ, කණ්ඩායම් හා ප‍්‍රජාතන්ත‍්‍ර ලැදි සමාජ බලවේග එකතු කිරීමෙන් යැයි විශ්වාස කරති. එහි සරළ සත්‍යයක් ඇත. එහෙත් එහි නැති බලවත්ම සත්‍ය වනුයේ, එසේ ගොනු කරන ජන බලයක් මතින් ආණ්ඩු බලය ලබා ගන්නා රනිල් ගේ වැඩ පිළිවෙල කුමක් ද යන්නයි.

නව ලිබරල්වාදය බංකොළොත්

මේ රට අද මුහුණ දෙන දේශපාලන හා ආර්ථික අර්බූද සඳහා කිසිදු විසඳුමක් නව ලිබරල්වාදීන් සතුව නැත. එය අද ගෝලීය සත්‍යයකි. ගෝලීය මහා ව්‍යාපාරික හමුවීම් වලදී පවා අද මාක්ස්වාදය ගැන අවධානය යොමු කෙරෙන්නේ එබැවින් ය. ‘‘මිල පිලිබඳ මාක්ස් ගේ න්‍යාය සහ විරුද්ධවාදීන්’’ යන මැයෙන් සිය නවතම කෘතිය එළි දක්වමින් හේග්හි සමාජ විද්‍යා ආයතනයෙහි ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හාවාඞ් නිකලස් මෙවැනි කතාවන් කීවේ ය.

‘‘න්‍යාය වරදවා ගන්නා මූලිකම ආර්ථික ඒකකය ‘මිල‘ යි. එතැන් සිට සියල්ල වරදිනවා. අන්තිමට මුදල් පිලිබඳ ඉතාම අමන අර්ථකතනයකට ඒ අනුව එනවා. නව සම්භාව්‍ය ආර්ථිකවාදීන් තර්ක කරන්නේ උද්ධමනයට හේතුව, අනවශ්‍ය මුදල් ප‍්‍රමාණයක් සංසරණය වීම කියලා. මේක අමන න්‍යායක්. . . . . මං ඔබට යමක් කියන්නම්. මම දේශපාලනය ගණන් ගත්ත කෙනෙක් නෙවෙයි. ඔබ දකුණෙ ද වමේ ද කියන එක මට වැඩක් නැහැ. . . . . . . යම් දවසක මාක්ස්වාදී ආර්ථික විද්‍යාව, ආයතනික ආර්ථික විද්‍යාව බවට පත් වේවී. මම පසුගිය අවුරුදු කිහිපයේ ව්‍යාපාරික පාසල් වල මාක්ස් ගේ ආර්ථික විද්‍යාව ඉගැන්නුවා. ඔවුන්ගේ ඇගයීම් කොයි තරම් ඉහළද කිව්වොත් ඔවුන් මට නැවත නැවතත් ආරධානා කරනවා. නිර්දේශිත පොත් වල තියෙන ‘කසළ‘ උගන්වන්න එපා කියනවා. . . . . . මාක්ස්වාදය ගැන මම කළ අධ්‍යනයන් නිසා මම තේරුම් ගත්තා, කේනීසියානු සහ අනෙක් නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයින් ඉන්නේ පෞරාණික යුගයක කියලා. ඔවුන් ඇත්තටම අමන ද ? නියැන්ඩතාල්වරුන් ද ?’’

එනිසා අද නැවත වමේ විසඳුමකට ඉල්ලීම් කළ හැක. නැවතත් ප‍්‍රශ්නය මතු වන්නේ, එවැනි වමේ දේශපාලන ශක්‍යතාවයක් ඇත්තේ කොහේදැයි සොයා ගැනීමෙහි ය. දැනට මේ ආණ්ඩුව හා දීග ගොසින් ඉන්නා පැරණි වාමාංශික සංවිධාන වලට ඒ සඳහා අවශ්‍ය ඥාණ සම්භාරයක් ඇතිදැයි බරපතල සැකයෙකි. මේ රටේ ඉදිරි සමාජ ආර්ථික සංවර්ධනය සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම සහතික කළ හැකි වැඩ පිළිවෙලක් වාම දේශපාලන වගකීමක් ලෙස ඉදිරිපත් කිරීමේ යොමුවක්, වුවමනාවක් ඔවුන්ගේ පසුගිය කාලයේ දේශපාලන හැදියාව තුල ඉතිරි කර නැත.

වමේ ශක්‍යතාවය කොහිද?

ඊළගට ඉන්නේ, කැබලි වී ඉතිරි වූ පුද්ගලවාදී පක්ෂ හා කණ්ඩායම් තුන හතරකි. ඒවා සිය පැවැත්ම ඉතිරි කර ගෙන ඇත්තේ න්‍යායික කට්ටිවාදය මතින් ය. මැයි පළමු වන දින එකතු වීම් හා මැයි දෙවන දින වෙන් වීම්, ඊට හොඳම නිර්ණායකි. අනෙක ඔවුන් ගේ සීමාවන් ඇත්තේ, අනවශ්‍ය ප‍්‍රමාණයකට ගෝලීය විරෝධී, ජාතිකවාදීන් වීමෙහි ය. එහෙත් ඔවුනට, නව වමේ වැඩ පිළිවෙලක් සම්බන්ධයෙන් යම් බුද්ධිමය එකතුවක් කිරීමේ හැකියාව ද ඉදිරිව තිබේ. නව වමේ වැඩ පිළිවෙලක් සම්බන්ධ වඩාත් පලදායි සාකච්ඡුාවක් දිග හැර ගත හැක්කේ මේ සංවිධාන වලින් පිටත ය. අද වාමවාදී නැඹුරුවකින් සංවාද දිග හැරෙන්නේ ඔවුන් ගේ සංවිධාන අතර නොව, ඔවුන් ගේ සංවිධාන වලට පිටතින් ය.

එයද එක අතකට වාසිදායක ය. මේ යුගය, බොල්ෂෙවික් පන්නයේ පක්ෂ සමගින් රුසියානු ඔක්තෝම්බර විප්ලවය ලංකාවේ දියත් කළ හැකි යුගයක් නොවේ. අද මේ සමාජය ඉල්ලා සිටින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආර්ථික සංවර්ධනයකි. වාර්ගික හා ආගමික බෙදීමකින් තොර, සියල්ලන්ට තමන්ගේ යැයි කිව හැකි ලෙස, වර්තමාන රාජ්‍ය ප‍්‍රති ව්‍යුහගත කිරීම සමගින් යළි ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමත්, වෙළඳ පල ආර්ථිකය ජාතික අවශ්‍යතා මත කලමනාකරණය කෙරෙන සමාජ ආර්ථික සංවර්ධන කි‍්‍රයාවලියකුත් ඉදිරිපත් කර, ඊට නායකත්වය දිය හැකි ජනතාවාදී දේශපාලන නියෝජනයකි. එනිසා එහි අනිවාර්ය ප‍්‍රමුඛතාවන් විය යුත්තේ, ජාතික අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු ජාතික ප‍්‍රවාහනය සහ කෘෂිකර්මය සඳහා වන අවධානයක් සමග, ග‍්‍රාමීය ආර්ථික ප‍්‍රතිපත්තියකි. ඒ සඳහා මැදිහත් විය හැකි ලෙස පරිධියට ලබා දෙන දේශපාලන බලයකි.

රාජ්‍ය ප‍්‍රතිව්‍යුහකරණය යනු නැවත 17වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීම හෝ 13වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස කි‍්‍රයාත්මක කිරීමේ පොරොන්දු නොවන්නේ ය. එය ඒක පුද්ගල විධායක බලය අහෝසි කිරීමේ සිට, පාර්ලිමේන්තුව හා සෙසු ජනතා නියෝජන ව්‍යවස්ථා මණ්ඩල අතර බල තුලනය නිවැරදි සමායෝජනයක් සහිතව අලූතින් සකසා ගැනීමක් වන්නේ ය. ඇතැම් විට එය, සර්ව පාක්ෂික නියෝජිත සමුඵව විසින් 2010ජූනි මස සම්පූර්ණ කළ, තවමත් ජනාධිපති රාජපක්ෂ ප‍්‍රසිද්ධ නොකළ, අවසන් කෙටුම්පත පදනම් කර ගන්නක් විය හැක.      

ආර්ථික සැළසුම් ද එවැනිම ය. එය අද මේ රාජපක්ෂ ආණ්ඩුවේ නව ලිබරල්වාදී ආර්ථිකය වඩා හෝඳින් කලමනාකරණය කිරීමකට සීමා නොවන්නකි. දූෂණය හා වංචා පිටු දකින්නට දෙන සරළ පොරොන්දුවක්ද නොවන්නකි. එය, නැවත 70දසකයේ සභාග ආණ්ඩුවේ ‘‘පෝලිම් යුග’’ ආර්ථිකයක් ද නොවනු ඇත. එය සරළව කිවහොත්, මා දකින ආකාරයට, අපගේ ජාතික අවශ්‍යතා වෙනුවෙන් ඉදිරි වසර පහළොවක විස්සක කාලයේ නව ආසියානු ආර්ථික පිබිදීම ඇතුළත, අප ස්ථානගත වීම පිලිබඳ කතාව ය.

මේ කතාව, නව වමේ සමාජ ආර්ථික වැඩ පිළිවෙළක් පිළිබඳ කතාව අද සිට සූදානම් විය යුතු දෙයකි.

 

කුසල් පෙරේරා

උපුටා ගැනීම යුක්තිය වෙබ් අඩවියෙනි (http://2.yukthiya.com)

Comments

 
+2 # iresh 2012-05-22 15:26
wamata yanna athak atha.. eka ibaagathayayi.
Reply | Reply with quote | Quote
 
 
0 # ඉන්ඩික කුමාර 2012-05-22 16:37
ම්ම් මේක ඇවිල්ල මහ දිගකතාවක්..
ඒත් පටන් ගත්ත තැනින්ම නවතිනවා...
Reply | Reply with quote | Quote
 
 
-1 # Ajith 2012-05-22 18:51
Real socialst Party is JVP.all other parties run by N.G.O.
Reply | Reply with quote | Quote
 
 
0 # Hettiarachchi 2012-05-23 23:37
ajith bamuwa thamai.
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

පුවත්

Advertisment

advertisment