ප්‍රශ්න යටපත් කිරීමට විවිධ ප්‍රකාශ සිදු කරන්නේ නැතිව දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙස ජන අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් කුමාර මහතා ආණ්ඩුවට බල කරයි.
නව මැගසින් බන්ධනාගාරයේ උපවාසයේ නිරතව සිටින දේශපාලන සිරකරුවන් බැලීමට ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතා ඔහු මේ බව පැවසීය. මෙම අවස්ථාවට 'අපි ශ්‍රී ලාංකිකයෝ' සංවිධානයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතාද සහභාගි විය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අජිත් කුමාර මහතා මෙසේද පැවසීය.
"නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන විය යුතු වුවත් දෙමළ දේශපාලන සිරකරුවන්ට වෙනම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ. ඔවුන් කිසිදු චෝදනාවක් නැතිව, අධිකරණය හමුවේ පවරන ලද නඩුවක් නැතිව වසර ගණනාවක් බන්ධනාගාර ගත කර සිටිනවා. සමහරු අවුරුදු 15, 17 තරම් කාලයක් රැඳවුම්භාරයේ සිටිනවා.
නමුත් ආණ්ඩුවේ ගැත්තන්ට වෙනම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ. කේ.පී.ට, පිල්ලයාන්ට, කරුණාට වෙනම නීතියක්. යුද්ධයට නායකත්වය දුන්නු ඔවුන්ට කිසිදු චෝදනාවක් හෝ නඩුවක් නැතිව නිදහස් කර සිටිනවා.
ඒ නිසා චෝදනා නැති සියලු දෙනා වහාම නිදහස් කළ යුතුයි. ඒ වගේම චෝදනා තිබෙනවා නම් ඔවුන්ට විරුද්ධව නඩු පවරන්න කියා අපි බල කරනවා. එහෙම නැතිව මේ ආකාරයට සිර කර තැබීම අසාධාරණයි.
නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා තිබෙනවා, මාසයක් ඇතුළත සියලු දෙනාම අධිකරණ ක්‍රියාවලියකට ඉදිරිපත් කරනවා කියලා. මීට පෙරත් එවැනි ප්‍රකාශ ආණ්ඩුව පැත්තෙන් කළා. නමුත් ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ, ප්‍රශ්න යටපත් කරන්න එක එක ප්‍රකාශ නිකුත් කරන්නේ නැතිව මේ ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ඉදිරිපත් කරන්න."








