A+ R A-

ආණ්ඩුව කියන්නේ අපේ ආරක්ෂාව අපම සලසා ගත යුතු බවද? - පෙසප

E-mail Print PDF

 

altදිගින් දිගටම එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ නොපැවැත්වීම මගින් ආණ්ඩුව කියන්නේ තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතු බවදැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රශ්න කරයි.

අද එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසුවේ මෙම පහරදීම් සිදු කරන්නේ ආණ්ඩුවේ අනුදැනුම මත ජනතා විමුක්ති පෙරමුණ විසින් බවයි. කුණුවීමේ දේශපාලනයට එරෙහි විය යුතු ජවිපෙ එහි උදාහරණයක් බවට පත්ව ඇතැයිද ඔහු පැවැසීය.

පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘‘පසුගිය මාස හයක හතක කාලය තිස්සේ අපේ සාමාජිකයින්ට දිගින් දිගටම ප‍්‍රහාර එල්ල වුණා. මරණ තර්ජන එල්ල වුණා. ඒ පහරදීම්වලට සම්බන්ධ වූ අයගේ නම් සහිතව අපි පොලිසිවලට පැමිණිලි ඉදිරිපත් කළා. නමුත් ඒ කිසිවක් ගැන මේ වන තුරුත් පරීක්ෂණ සිදු කර නැහැ.

මේ පහරදීම් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව පැහැදිලියි. මොකද පහරදීම්වලට පැමිණි සියලූ දෙනා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්. ඒ වගේම ඔවුන් පැමිණි වාහන ජනතා විමුක්ති පෙරමුණට අයත් වාහන. ඒ පිළිබඳව සවිස්තරාත්මකව පැමිණිලි කර තිබියදීත් පොලිසිය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ මේ ප‍්‍රහාර ආණ්ඩුවේ එකඟතාව මත සිදුවන ඒවාය කියන පැහැදිලි අදහස අපට තිබෙනවා. පසුගිය දෙසැම්බර් 9වැනිදා ලලිත් සහ කුගන්, ඒ වගේම ඊට පසුව කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගෙන යාමට ආණ්ඩුව සම්බන්ධයි.

පොලිසිය පරීක්ෂණ නොකරමින්, ආරක්ෂාව තහවුරු නොකරමින් මේ කියන්නේ අපේ ආරක්ෂාව අපම සලසා ගත යුතු බව නම් ඒක කරන්න අපට පුළුවන්. නමුත් අපි ඉතාම සාමකාමීව, ප‍්‍රජාතන්ත‍්‍රවාදීව දේශපාලනය කරන දේශපාලන ව්‍යාපාරයක්. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා නව ලිබරල්වාදයේ පළමු ඉනිම ක‍්‍රියාත්මක කරමින් ප‍්‍රසිද්ධියේම කිව්වා, තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න කියලා. නව ලිබරල්වාදයේ දෙවැනි ඉනිම ක‍්‍රියාත්මක කරන මහින්ද රාජපක්ෂ ඒක ප‍්‍රසිද්ධියේ නොකිව්වාට, පොලිසියේ ක‍්‍රියාකාරීත්වයෙන් පෙනෙන්නේ එයයි.

ඊයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර සහෝදරයා පොලිස්පතිවරයා හමු වුණා. ඒ වෙලාවේ මේ පහරදීම් සම්බන්ධයෙන් පොලිසිය ක‍්‍රියාත්මක නොවුණේ ඇයි කියා විමසුවාම ඊට දෙන්න පොලිස්පතිවරයා ළඟ පිළිතුරක් තිබුණේ නැහැ. ඔහු කිව්වේ ඉදිරියේදී පොලිසිය මැදිහත් වෙනවා කියලා. අපට පොලිසිය සම්බන්ධයෙන් විශ්වාසයක් නැහැ. පොලිසිය දේශපාලනීකරණය වෙලා තිබෙන්නේ. එහි උසස්වීම්, මාරුවීම් තීරණය කරන්නේ දේශපාලනඥයින්.  ආණ්ඩුවේ දේශපාලන වුවමනාව තමයි පොලිසිය ක‍්‍රියාත්මක කරන්නේ.

මර්වින් සිල්වා ඇමතිවරයා මාධ්‍යවේදීන්ට මරණ තර්ජන එල්ල කළාම, ඔහු රටේ පවතින නීතිය හමුවට කැඳවිය යුතුයි. නමුත් ඔහු ගෙන ගියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවක් හමුවට. ඔහු නිදහස් කර තිබෙනවා. මීට පෙර රජයේ සේවකයෙක් ගස් බැන්දාම ඔහු අධිකරණයට ඉදිරිපත් කළේ නැහැ, ඒත් ගෙන ගියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවක් හමුවට. එතැනදී කිව්වේ ඒ රජයේ නිලධාරියා තමන්ගේ කැමැත්තෙන්, තමන් විසින්ම ගහේ බැඳගත්තා කියලා. මේ තමයි අද නීතිය පත්වෙලා තිබෙන තත්වය. දුමින්ද සිල්වා ගත්තොත්, මිනීමැරුමකට චෝදනා තිබෙන ඔහු රටින් පිටවීම නතර කරන්න කිසිවකුට බැරි වුණා. මිනී මැරුම් චෝදනා තිබෙන කිසිවකුටත් රටින් පිට වෙන්න දෙන්නේ නැහැ. අද නීතිපතිවරයා ඉතාම නිර්ලජ්ජිත ලෙස රාජපක්ෂ රෙජීමයේ මතය වෙනුවෙන් පෙනී ඉන්නවා.

ගෙවී ගිය කාලයේ ලෝක වෙළඳපොළේ තෙල් මිල තුන් පාරක් පහළ බැස්සා. නමුත් ආණ්ඩුව මෙහේ තෙල් මිල අඩු කළේ නැහැ. තෙල් මිල වැඩි කරද්දී කිව්වේ ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වෙන නිසා වැඩි කරන්න වෙනවා කියලා. නමුත් අපි ඒ වෙලාවෙත් කිව්වා, මේක ලෝක වෙළඳපොළේ ප‍්‍රශ්නයක් නොවෙයි, අධික ලෙස බදු අය කිරීම නිසායි තෙල් මිල වැඩි කරන්නේ කියලා.

මේ ක‍්‍රමයට, මේ ආණ්ඩුවට යහපත් ජීවන තත්වයක් දෙන්න බෑ. කොටින්ම ජනතාවට ජීවිතය දෙන්න මේ ක‍්‍රමය බැහැ. එවැනි ආණ්ඩුවක් තවදුරටත් පවතින්නේ විපක්ෂයේ තිබෙන මේ මුග්ධ ක‍්‍රියාකාරීත්වය නිසා.  අද අධිරාජ්‍යවාදය ලෝක පරිමාණයෙන් පවතින්නේත් වමේ ව්‍යාපාරයේ තිබෙන කට්ටිවාදය නිසා. ලංකාවේ තත්වයත් ඒක. ලංකාවේ ඉතාම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තත්වයක් තිබෙන්නේ. ඒක වෙනස් කරන්න කට්ටිවාදීව, මුග්ධ ලෙස කරන්න බැහැ.

ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීත්වයට එරෙහිව සටන් කරනවා කියන අය ළඟත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැහැ. ඒ නිසා ඔවුන්ගේ නායකත්වය ජනතාව පිළිගන්නේ නැහැ. අද ජනතාව ජවිපෙන් අහන්නේ තමන් එක්ක එකට වැඩ කළ අයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙන්න බැරි ඔබ කොහොමද රාජපක්ෂ රෙජීමයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීත්වයට එරෙහිව සටන් කරන්නේ, ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා දෙන්නේ කියලා. අද එක්සත් ජාතික පක්ෂයේත් තත්වය ඒකමයි.

අපේ රටේ දේශපාලන සංස්කෘතිය ඝාතන සංස්කෘතියක් බවට පත් වෙලා තිබෙන්නේ. ඒක වෙනස් කළ යුතුයි. ගරා වැටුණු, කුණු වුණු දේශපාලනය වෙනස් විය යුතුයි. ඊට විරුද්ධව අරගල කරන අය කුණුවීමේ ලක්ෂණ පෙන්නුම් නොකළ යුතුයි. නමුත් මේ කුණුවීමේ දේශපාලනයට එරෙහිව අරගල කළ යුතු ජවිපෙ අද කුණුවීමේ උදාහරණයක් බවට පත් වෙලා.

මතවාදයට මතවාදයෙන් මිස ශාරීරික පීඩාවලින් පිළිතුරු දීමේ දේශපාලන සංස්කෘතිය උචිත එකක් නොවෙයි. එය වෙනස් කරන්න මූලාරම්භයක් තබමු කියා අපි සියලූ දෙනාට ආරාධනා කරනවා.’’

මෙම මාධ්‍ය හමුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ජමින්ද සිරිවර්ධන මහතාද සහභාගි විය.

Comments

 
+3 # bandara 2012-06-06 18:36
"මතවාදයට මතවාදයෙන් මිස ශාරීරික පීඩාවලින් පිළිතුරු දීමේ දේශපාලන සංස්කෘතිය උචිත එකක් නොවෙයි. එය වෙනස් කරන්න මූලාරම්භයක් තබමු කියා අපි සියලූ දෙනාට ආරාධනා කරනවා.’’
ඒක ඕගොල්ලන්ගෙ බලපැම තියන විශ්ව විද්‍යාල වලින්ම පටන් ගමු. ඒ නිසා සමානතා පක්ෂය වගේ කන්ඩායම්වලට තර්ජනය කල පේරාදෙනියෙ මෝඩ ශිෂ්‍ය නායකයන්ට පොඩ්ඩක් අවවාද කරන්න
Reply | Reply with quote | Quote
 
 
0 # Pissa 2012-06-09 11:21
danashvara nithiya pili ganna aka ha daneshvara nitheye pihita pathemanma penava ubalage vama vadi kama. balagena hitapalla ubalage oya keruvaval netheya pathen beranna avaoth opathalata mokada vanne keyala.
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

online

We have 140 guests online