Latest news
A+ R A-

හිස්කබල - හිස්කබල සහ හිස් කබල

E-mail Print PDF

මේ හිස්කබල දුමින්දගේය. හිස්කබල යන්නට තවත් තේරුම් දිය හැකිය. පැරැණි ඔළුව යන්නට ද  ඕනෑ නම් හිස්කබල කිව හැකිය. ඇතුළේ කිසිවක් නැති පැරැුණි දේකට ද හිස්කබල කියා කිව හැකිය. එවැනි හිස්කබල් ඡන්ද දායකයන් වනවිට මෙවැනි හිස්කබල් තවතවත් දේශපාලනයට එනු ඇත.

 
ගුණසේන සමාගම විසින් ප‍්‍රකාශිත ජී.පී.මලලසේකර ශබ්දකෝෂයෙහි හත්සිය හැටතුන්වැනි පිටුවේ වම්පස තීරුවේ දෙවැනි වචනය  POLITICAL යන්නයි. එහි තේරුම ලෙස ‘දේශපාලනමය, දේශපාලනයට සම්බන්ධ, දේශපාලන, සිවිල් පාලනයට අයත්’ යන පද දක්වා තිබේ. ඒ පිටුවේම දකුණුපස තීරුවේ දෙවැනි වචනය ද අපූරු එකකි. එය POLLARD නම් වේ. එයට ඇති තේරුම මෙසේය. ‘අං හැලූ හෝ අං කපාදැමූ සතෙක්, අං නැති වර්ගයේ ගවයෙක්, බැටලූවෙක්, එළුවෙක්, අතු පාහින ලද ගහක්, මොළොක් (පිටිවල)  දහයියා’ යනුවෙන් එතැන සඳහන් වේ. වරදවා වටහා නොගන්න මිත‍්‍රවරුනි! අප මේ සැරසෙන්නේ ශබ්දකෝෂ ගැන හෝ ඉංගී‍්‍රසි භාෂාව ගැන ලියන්නට නොව, අං ආ සතුන් මෙන් හැසිරෙන අං නැති දේශපාලනඥන් ගැන කතා කරන්නටය.
 
ඔබ මේ දකින හිස්කබල අයිති පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වාටය. මේ පින්තූරය දුටු සැණින් අප වැනි දුහුනන්ට පළමුව  ඇතිවන්නේ සන්තෝෂයකි. ඒ මන්දයත් දුමින්ද සිල්වා වැන්නකුට ඔළුවක් තිබීම පිළිබඳවය. කෙසේ හෝ වේවා මේ හිස්කබල මේ වන විට ඇත්තේ ‘ඩැමේජ්’ වූ තත්වයේ යැයි කියති. සැබවින්ම එය ‘ඩැමේජ්’ වූයේ ම`ග නැගුමේ පාරක් හදන්නට විල්බැරැක්කයකින් ගල් ගොඩක් රැගෙන යනවිට පය පැටලී ඔළුව කළු ගලක වැදීම නිසා හෝ ගම නැ`ගුමට මහන්සි වෙන්නට ගොස් ගෙයක වහලයක්, වතුර ටැංකියක් උඩින් දෙරි ගසා ඔළුගෙඩිය මහ පොළොවේ හැපීම නිසාද නොවේ. ඔහුගේ ‘හිස්කබල’ තුවාල වූයේ වෙඩි වැදීම නිසාය.
වෙඩි වැදී ඔළුව තුවාල වන්නට දුමින්ද සිල්වා යනු තැන නොතැන නොබලා හැම එකා එක්කම වෙඩි තබාගන්නා ගොපලූ චිත‍්‍රපටයක එන අසරුවෙක් වැනි කෙනෙක්ද? එහෙමත් නැත්නම් කැලෑ පීර පීර හාවුන්ට, මීමින්නන්ට, වල් ඌරන්ට, තුවක්කු බඳින දඩයක්කාරයෙක්ද? ඒ එකක්වත් සත්‍ය නොවන බව ඔබ දන්නා කරුණකි. දුමින්ද සිල්වා යනු ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ (ගරු?) මන්ත‍්‍රීවරයෙකි. ඔහුගේ හිසට වෙඩි වැදුණේ අර කියූ එකක් නිසාවත් නොව කොලොන්නාව හන්දියේ තවත් දේශපාලකයෙක් සමග වෙඩි තබාගත් නිසාය. ප‍්‍රතිවාදී දේශපාලක තෙමේ තම දියණියට දේශපාලන දොර විවර කර දෙමින් පරලෝකප‍්‍රාප්ත වූ අතර දුමින්ද සිල්වා තෙමේ ලංකාවේ සිට සිංගප්පූරුව තෙක් එක් ඝාතනයක් සඳහා පැති මාරු කරගන්නේ, හේතෙමේ නිරන්තරයෙන් ජනාධිපති - ආරක්ෂක ලේකම් කරුණා වැස්සෙන් ද ‘තෙමේ’ය.
අදාළ නඩුව තවමත් විභාග වෙමින් පවතින හෙයින් ඒ ගැන වැඩියමක් පවසන්නට අපට අවශ්‍ය නැත ද සිදුවීම් සිදුවන පෙළ දකින විට නම් බොහෝ දේ පැවසීමට සිතේ.
භාරත ඝාතනය සිදු වූ මොහොතේ පටන් සිදු වූ දේ ඉතා ආශ්චර්යමත්ය. භාරත ඝාතනය සම්බන්ධයෙන් කෙළින්ම ඇඟිල්ල දිගු වූයේ දුමින්ද සිල්වා දෙසට වුව ඔහු අත්අඩංගුවට ගන්නට ලොකු  ඕනෑකමක් පොලිසියට තිබුණේ නැත. කිසිදු පොලිස් ආරක්ෂාවකින් තොරව ජයවර්ධනපුර රෝහලට ඔහු ඇතුළත් කළ අතර එතැනින් ඉවත් කරන විට ද පොලිසිය තබා පොලිසියේ එක බල්ලෙක්වත් (අප අදහස් කළේ පොලිස් බල්ලන් - අර ගිනිවළලූ මැදින් පනින පුෂ්ටිමත් සතුන්) දන්නේ නැත.
ඉන් අනතුරුව දුමින්ද රැගෙන ගියේ  අමෙරිකාවටද  ඕස්ටේ‍්‍රලියාවටද සිංගප්පූරුවට ද යන ශාස්ත‍්‍රීය දේශපාලන සාකච්ඡාව මේ රටේ මිනිසුන් අතර මතුවිය. ආරංචිය සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලෙන් ලැබෙද්දී ඔක්කොටම කලින් තක්කු මුක්කු වුයේ පොලිසියයි. ප‍්‍රශ්නය පැහැදිලිය. ඉන්න තැනක් නොදැන සිටියා නම් ඒ බව කියන්නටවත් තිබිණි. එහෙත් දන්නේ නම් කුමක් කරන්නද? ඉන්ටපෝල් මිතුරන් සමග එක්වී කුමරන් පද්මනාදන්ලා අත්අඩංගුවට ගත් ‘අතිදක්ෂ’ ආරක්ෂක අංශවලට දුමින්ද අල්ලන්නට නොහැකි යැයි කියන්නද?එහෙත් දෛවය එතරම්ම කුරිරු නැත.
වෛද්‍ය වාර්තා, ස්කෑන් ඡායාරූප සමග දිවුරුම් පෙත්සම් තොගයක් කරළියට එන්නේ අන්න එතැනදීය. ‘දුමින්ද සිල්වාගේ තත්වය බරපතළය. ඔහුගේ හිසට බරපතළ හානි වී තිබේ. ඔහුගේ මතකය අමතක වී ඇත. ඔහුගේ ශරීරයේ පැත්තක්ම වැඩකරන්නේ නැත. මිනිසුන් හඳුනාගන්නේ යාන්තමට මෙනි’ වැනි ආරංචිවලින් සමහරක් තහවුරු කරමින් වාර්තා ඉදිරිපත් කෙරිණි. පොලිසියේ වාසනාවට අදාළ වාර්තා පැමිණි අතර කටඋත්තරයක් ගැනීමටවත් බැරි කෙනකුව අත්අඩංගුවට ගන්නේ කෙසේදැයි යන ‘අතිමානුෂීය’ ප‍්‍රශ්නය ඉදිරියේ පොලිසියේ ‘හදවත’ උණු වී ගිය බව අපට වටහාගත හැකිය. පොලීසියේ හදවත උණු වන්නේ මහින්දගේ ගෝඨාභයගේ හෝ රාජපක්ෂ රෙජීමයේ බලවතකුගේ (ඇතැම්විට බවලතකුගේ) හදවත උණුවීමේ ප‍්‍රතිඵලයක් ලෙස බව නොදන්නේ කවුද?
ගෝඨාභය රාජපක්ෂ, ජයවර්ධනපුර රෝහලටත් මහින්ද රාජපක්ෂ, මවුන්ට් එලිසබෙත් රෝහලටත් ගොස් දුමින්ද බැලූ බව දැක්වෙන වාර්තා පළවුවද ඒ එකක්වත් ඒ එකෙක්වත් -සමාවන්න- එක් අයෙක්වත් ප‍්‍රතික්ෂේප කළේ නම් නැත. කතාකරගන්ඩවත් බැරිව ඉන්න ඒ මිනිහා මොන හිතකින් අත්අඩංගුවට ගන්නදැයි කතුවරුන්ගේ සාකච්ඡුාව වැනි වටිනා අවස්ථාවක දී ජනාධිපති ඇසුවේ යැයි වූ වාර්තාවක් ද අපට මතකය.
ඒ සියලූ කයිකතන්දරවලින් පසු දැන් ප‍්‍රවෘත්තිය මෙයයි. දුමින්ද සිල්වා යළි මෙරටට එන්නේලූ. දිනය ජූලි 15 වැනිදාලූ. එන කතාවේ ඇත්ත නැත්ත කෙසේ වුව මෙරට ජනතාවට වැදගත්ම පුවත නම් දුමින්ද සිල්වාගේ රෝහල් ගාස්තුව රුපියල් මිලියන 18ක් වන බවයි. ඒ සල්ලි මොන සල්ලිද? පාර්ලිමේන්තු මන්තී‍්‍ර වැටුපේ මුදල්ද? අයියාගේ ගුවන් විදුලි නාලිකාවෙන් උපයාගත් මුදල්ද? ඇතැම්විට ඒ දෙකම විය හැකිය. ඇතැම් විරුද්ධවාදීන් කියන පරිදි ‘කුඩු සල්ලි’ විය නොහැකිය. මක්නිසාද යත්, ‘මතත තිත’ තැබූ ආණ්ඩුවක් තුළ ‘මත්ද්‍රව්‍ය ජාවාරම්කාර’ මන්තී‍්‍රවරු සිටින්නට විදියක් කොහෙත්ම නැත. ඒ කෙසේ වෙතත් භාරත ඝාතනය සිදුවීමෙන් පසු කොළඹ නගරයේ ක්ෂණික ලෙස උග‍්‍ර මත් කුඩු හිඟයක් මතු වූ බව පැවසුවේ අප නොව ශී‍්‍ර ලංකා පොලිසියේ වාර්තාවලින්මය.
හොඳයි, දැන් දුමින්ද සිල්වා යළිත් ලංකාවට එන්නට සූදානම් නම් අපි මෙන්න මේ ප‍්‍රශ්න කිහිපය අසමු.
ඒ දිනය ජූලි 15 නම් රහස් පොලිසියට දැන්ම සිට කටුනායක ගුවන් තොටුපළේ රැුකවල්ලාගෙන සිටිය හැකිය. එවැනි පියවරක් ගන්නවාද? නැද්ද?
ජනාධිපති උපදේශකයෙක් ඝාතනය වූ සිද්ධියක ප‍්‍රධාන සැකකරු නැවත පාර්ලිමේන්තු පැමිණි විට කථානායක ඔහුව මන්ත‍්‍රීවරයකු ලෙස පිළිගන්නවාද? නැද්ද?
ආණ්ඩුවේ වැඩ ගැන ලැජ්ජයි කියන මෛතී‍්‍රපාල - රත්නසිරි වැනි ඇමතිවරුන් දුමින්ද සම්බන්ධයෙන් ආණ්ඩුවේ හැසිරීම ගැන ලැජ්ජයි කියා කියනවාද? නැද්ද?
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව ඉදිරියට දුමින්දව ගෙනගොස් මර්වින් සිල්වා මෙන් නිදොස් කර නිදහස් කරනවාද?
ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී ධුරයක් දැරුවේ යැයි කියන දුමින්ද සිල්වාගේ එම තනතුර ඔහු ලංකාවට පැමිණි පසු ආරක්ෂක ලේකම්වරයා විසින් නැවත පවරනු ලබනවාද?
ඒ ප‍්‍රශ්න ආණ්ඩුවටය. මේ අවසන් ප‍්‍රශ්නය ජනතාවටය.
අප මේ ලිපියේ මුලින් සඳහන් කළ ඉංගී‍්‍රසි වචන දෙකේ තේරුම (දේශපාලනයට සම්බන්ධ - අං කපා දැමූ සතෙක්) හොඳින් තේරුම්ගෙන මින් ඉදිරියටවත් තේරුම් ගන්නවාද? නොඑසේනම් දෙවැනි වචනයේ තවත් තේරුමක් වන ‘දහයියා’ මෙන් එන එන හුළඟට පාවි පාවී ඔහේ ජීවත් වෙනවාද?
 
 
විමල් කැටිපේආරච්චි

This content has been locked. You can no longer post any comment.

පුවත්