Latest news
A+ R A-

ඔවුන්ගේ යෞවන සිරුරු දැවුණේ නව පරපුරකට පන්නරය තබමිනි

E-mail Print PDF

 

ජුනි 20 දිනට යෙදෙන ශිෂ්‍ය වීර දිනය වෙනුවෙනි

මුරකුටිය තුළ අඩමානයට එල්ලි තිබුණු විදුලි බුබළ සීතලෙන් වෙව්ලමින් දැල්වෙයි. එයින් විහිදුණු ආලෝකයෙන් ලා කහ පැහැයක් බිත්තිවල තවරා දැම්මේය. වාරුනැති සරනේරුවලින් එල්ලූණු එකැස් ජනෙල් පියනක් වරින් වර රාමුව මත හැපෙමින් කුටිය තුළ නිහඬතාවයට බාධා කළේය. වැස්ස තවමත් තුරුල් වී නැත. බොහෝ වේලාවක් කල්පනාවේ ගැලී සිටි විශ්වවිද්‍යාල ආරක්‍ෂකයා සිය දීප්තිමත් දෑස් අප වෙත හෙලමින් යළිත් සිය හඬ අවදි කළේය.

 ‘‘ඒ දවස්වල කැම්පස් එක පිටිපස්සෙ තිබුණෙ කැලෑවක්. දැන් වගේ නෙවෙයි. සමහර දවස් වලට හාවෙක්, මීමින්නෙක් හොයාගෙන අපි ඔය ළඳු අස්සෙ පීරනවා. එදා හුඟ දවසකට පස්සේ අපි හාවෙක් අල්ලගෙන එන ගමන් හිටියේ. සේවකයෝ කියල අපි ගැන කිසිම වෙනසක් ගැමුණුලට තිබුණෙ නැහැ. උන් මහ පුදුම මිනිස්සු. අපි පාරට එන්න එනකොට හෝස්ටල් එක වටේටම ආමි එක දාලා තිබුණා. නවතින්න කියල කොච්චර කිව්වත් ගැමුණු ඇහුවෙ නැහැ. අනිත් උන් ගැන බලන්න  ඕන කියල ගියා ගියාමයි. ආයිමත් දැක්කේ නැහැ. නුවර පාරෙදි අල්ල ගත්ත කියල පස්සෙ ආරංචි වුණා. ඒක මහා කාලකණ්ණි කාලයක්.’’

විශ්වවිද්‍යාල ආරක්ෂකයා හෙලූ ගැඹුරු හුස්මින් අපගේ හදවත් පිරුණි. අපගේ ආත්මයන් සංසුන්ව පැවතුණි. අපගේ හදවත් පහන්ව තිබුණි.

නිදහස් අධ්‍යාපන අයිතියත් සාධාරණ සමාජයකුත් වෙනුවෙන් අව්‍යාජව සටන් වැදුණු පේ‍්‍රමණීය යෞවන පරපුරක මතකය සොයමින් සමූහ මිනී වලවල් ගොඩදැමීම හෝ ඔවුන්ගේ කැපකිරීම් හා පරිත්‍යාගයන් වෙනුවෙන් බර වූ හදවත් වලින් යාඥා කොට ඔවුන් අල්තාරයන්ට ඉහළින් සුරුවම් ලෙස තැබීම අපගේ මෙම ලිපියේ අරමුණ නොවේ. තවද සිදුවීම් සමග පොරබැදීම විසින් ගෙවා දැමුනු වෙහෙසකර දින වලින් අනතුරුව නුදුරේ දී එළැඹෙන තවත් ජුනි 20 වනදාවක් උදෙසා වන පෙරවදනක් ලියා තැබීමට ද නොවේ. මේ උත්සාහය ඔවුන් සමග ජීවත් වූ සමකාලීන ප‍්‍රජාවක හා නම නොදන්නා මතු පරපුරක අයිතීන් දිනාගැනීම වෙනුවෙන් කුලූ ගැන්වුණු සාමුහික යෞවන ප‍්‍රයත්නයක අසිරියත් ඒ උස් අරමුණ වෙනුවෙන්ම ලූහු බැඳ ගිය සටන්කාමී හදවත් උණුසුම් කරමින් දැල්වුණු යෞවන හෘද සාක්ෂියත් අද දවසේ අරගලයට අළු හා දුහුවිලි මතින් නිස්සාරණය කරගත යුතු බැවිනි.

යෞවනයන් හා යෞවනියන් ලෙස අපගේ ජීවිතවල බලාපොරොත්තු මොනවාද? වඩා හොඳ අධ්‍යාපනයක් ලබාගැනීම හා එමගින් ඉහළ වෘත්තීමය ජීවිතයකට මග පාදා ගැනීමත් එමගින් සමාජයට හෝ තම සමීපතයන් වෙනුවෙන් වූ යුතුකම් කොටස ඉටුකිරීමත් මේ ගැටලූවට පිළිතුරු සොයන්නවුන් බොහොමයක් විවිධ ආකාරයෙන් අදහසක් ලෙස ඉදිරිපත් කරනු ඇත. තවද මේ ගැටලූව ජීවිතය තුළ හමුනොවූ බොහොමයක් දෙනෙක්ද අපට හමුවනු ඇත. කෙසේ නමුත් පිළිතුර අසම්පූර්ණය. ඇඟලි තුඩුවලින් එසැවී අප සමකාලීන ජනජීවිතය දෙස බැලූවහොත් ජීවිතය එම අරමුණු සාධනයෙන් පමණක් පුරවා දැමිය නොහැකි බව අපට ඒත්තු යනු ඇත. මන්ද වත්මන් සමාජ ප‍්‍රවාහය හැමකෙකුටම ජීවත්වීම සඳහා දෛනික සූදානම් කිරීම් පමණක් උරුමකර ඇති හෙයිනි. සාම්ප‍්‍රදායික විශ්වාසයන් මත පදනම් වූ භාවිතාවන් වැදගත්ය. ඒවා අපට ජීවිතයේ පොදු අත්විඳීම් අනෙකුන් හා බෙදා හදා ගැනීමට ඉඩ සලස්වයි. නමුත් එම සාම්ප‍්‍රදායික විශ්වාසයන් හා සමාජය තුළ මුල් බැසගත් සුලභ මතවාදයන් පිළිබඳව කෙදිනක හෝ අප අපගේම විනිශ්චයක් සිදුකර ඇත්ද? ගතානුගතික වරපට ලෙහා දමා කරපින්නාගත් ආසියාතික නටඹුන්වල බරින් නිදහස්ව අපගේ ආත්මයට ඔහේ පාවී යන්නට අප ඉඩදී ඇත්ද?

නැත. අප ලබන අධ්‍යාපනය ඒ සඳහා විවිර වූ මංමාවත් නොතනයි. ඒ සඳහා ඇති විවේකය අහුරා දමයි. එය සමාජය තුළ රජයන පාලක වුවමනාවන් වෙනුවෙන් අපව ශික්ෂණය කරයි. අප සියල්ලන්ට මෙම අත්දැකීමට මුහුණ දී ඇත්තෙමු. අප ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස අධ්‍යාපනය තුළ වන අසාධාරණයන්ට එරෙහිව සටන් වඳිමින් සිටිමු. එහෙත් විරු සිසුවන් සහ ඔවුන්ගේ සාමූහික යෞවන ප‍්‍රයත්නය එකට බැඳ දැමුනු හුය අල්ලා ගැනීමට අප සමත්ව නැත. ඔවුන්ගේ සමාජ කි‍්‍රයාකාරීත්වය ඇත්තේ අපට වඩා ගව්ගණනක් දුරිනි. මේ පරතරය පිරවී ඇත්තේ කුමකින්ද ? අද දවසේ අරගලයට අම්ලකරය එක්කිරීම සඳහා අප පිළිතුරු සොයා ගත යුතු පැනය එයයි.

ධවල භිෂණයක් හමුවේ පවා අරමුණු අත්නොහැර සටන් වදින්නට ඔවුන් අචල එකඟතාවකට පැමිණ තිබුණි. එම එකඟතාව සමාජයේ සියලූ සාම්ප‍්‍රදායික හා ගතානුගතික මත පොඩි පට්ටම් කර දැමුණු විනිවිද පෙනෙන යෞවන හෘද සාක්ෂියෙන් ඔපවත් කර ගැනුණු එකඟතාවයකි. අවබෝධයකි. එහෙයින් ඔවුන්ගේ සාමුහික ප‍්‍රයත්නය සමකාලීන සමාජය අතික‍්‍රමණය කර දැමුණි. එය සොලවා දැමුණි. අහිමි වීමේ භීතිය ඔවුන්ට නොතිබුණි. සමාජයට පේ‍්‍රමකිරීම විසින් ගොඩනැගුණු ඔවුන්ගේ ශික්ෂණය ඔවුන් සමාජයට ඉහළින් තැබිණි.

අද දවසේ අරගල බිම ගොදුරු ඉවකරමින් කි‍්‍රයාධරයන්ගේ නිවෙස් පිළිකනුවල පවා ? දිවා සැරිසරන පාලකයන්ගේ මර්දන වුවමනාවන්, අපව වඩා ජවසම්පන්න අරගලයක් දෙසට තවදුරටත් කැඳවමින් ඇත. අද ඒ වඩා පුළුල් අරගලය වෙනුවෙන් උරදීමට අප අපගේ හදවත් වලින් තීරණය කළ යුතුව ඇත. අවසන් වශයෙන් හදවත තීරණ ගන්නා අතර ඉන්පසු සැබවින්ම වැදගත්වන සියල්ල වන්නේ එය තීරණය කරන දෙයයි. එහෙයින් අද දවසේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ අරගලයේ සීමාවන් වඩා පුළුල්කර ගත යුතු අතර එය අසිරිමත් යෞවන ප‍්‍රයත්නයක් දක්වා ඔසවා තැබීම වෙනුවෙන් අප අද දින විරු සිසු හදවත් තුළ උණුසුම්ව දැල්වුණු යෞවන හෘද සාක්ෂිය සොයා යා යුතුව ඇත.  

සංජීව බණ්ඩාර

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

Comments

 
+2 # pankaja 2012-06-19 22:29
owun apata aseemithawa prema kalaha.
Reply | Reply with quote | Quote
 
 
0 # rohana 2012-06-21 04:29
mavbima saha nidahas adyapanaya venuven vatina jivitha pava parithaga kala adaraniya sohoyuriyani sohoyurani numbalata apage pranamaya sada pudakarannemu
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

පුවත්