Latest news
A+ R A-

උතුරේ ඉඩම් කොල්ලය නවතනු - ජන අරගල ව්‍යාපාරය

E-mail Print PDF

alt

උතුරේ ජනතාව සතු ඉඩම් හමුදාව විසින් කොල්ලකෑම වහාම නතර කරන ලෙස ජන අරගල ව්‍යාපාරයේ ජාතික මෙහෙයුම් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය මෙ‍සේය.

"මැණික් ෆාම් කඳවුරේ රැඳී සිටි පවුල් 47ක් යළි පදිංචි කිරීම සඳහා සිය ගම්බිම් වෙත ගෙන ගිය අවස්ථාවේදී ඔවුන්ගේ ඉඩම් රජයේ ආරක්ෂක හමුදා විසින් පැහැර ගෙන තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම පවුල් 47මුරුගන්ඩි ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සිය ඉඩම්වල අයිතිය තහවුරු කිරීම සඳහා ඔවුන් සතුව නීතිමය ලේඛන ඇත. මෙම පවුල් 47න් පවුල් 15කට ඔවුන්ට අයත් ඉඩම් යළි පදිංචිය සඳහා ලබාදී ඇති අතර ඉතිරි පවුල් 32සඳහා ලබාදී ඇත්තේ පදිංචිය සඳහා කිසිසේත්ම නුසුදුසු වගරු බිමකි. ඔවුන් සතු ඉඩම් රජය විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇති අතර ඒවායේ ආරක්ෂක හමුදා විසින් ඉදි කිරීම්ද සිදු කර ඇත. ආණ්ඩුවේ මෙම අත්තනෝමතික ක‍්‍රියාව අපි තරයේ හෙළා දකිමු.

යුද්ධය නිසා අවතැන් වූ ජනතාවගේ ඉඩම් රජය විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම පිළිබඳ සිදුවීම් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවේ. ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ ඉඩම් වර්ග කිලෝමීටර් 675ක් ජනතාවගෙන් උදුරා ගෙන විශේෂ ආර්ථික කලාපයක් ලෙස එය ඉන්දියාවට පවරා ඇත. එම ඉඩම්වල සැබෑ හිමිකාරීත්වය ඇති ජනතාව අදත් ජීවත් වන්නේ අවතැන් කඳවුරුවලය. යාපනය දිස්ත‍්‍රික්කයේ ඉඩම් 1033ක් ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් පවරා ගෙන ඇති අතර ඒ දේපළ අතර සාමාන්‍ය ජනතාවට අයත් නිවාස 558ක් ඇත. කෝපායි, නල්ලූර් තෙල්ලිප්පෙලෙ යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අක්කර 61ක භූමියක් හමුදාව විසින් පවරා ගැනීමට සැරසෙයි. මෙසේ අල්ලා ගනු ලබන ඉඩම් සංචාරක ව්‍යාපාරය, හමුදා කඳවුරු පිහිටුවීම, බලහත්කාරී ජනාවාසකරණය ආදී ව්‍යාපෘති සඳහා යොදා ගැනේ. ආණ්ඩුවේ නව ලිබරල් උපාය මාර්ගය වෙනුවෙන් ජනතාවගේ ඉඩම් පැහැර ගැනීම සිදු වන්නේ උතුරු පළාතේ පමණක් නොවේ. කොළඹ නරගයේ ජනතාව අනවසර පදිංචිකරුවන් ලෙස ලේබල් ගසා බලහත්කාරයෙන් එලවා දමා කොළඹ ඉඩම් අත්පත් කර ගන්නා අතර දිස්ත‍්‍රික්ක 12ක රජයේ ඉඩම් විවිධ ව්‍යාපෘති 25ක් සඳහා නීති විරෝධී ලෙස අත්පත් කර ගනිමින් තිබේ. උතුරු පළාතේ ඉඩම් පැහැර ගැනීමේදී ඍජුවම හමුදා බලහත්කාරය සිදු කරන අතර ඒ බොහෝ ඉඩම් අල්ලා ගෙන සිටින්නේ යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු ආරක්ෂක අංශයි. ඒ සඳහා භාවිත වෙමින් තිබෙන්නේ උතුරු පළාත තුළ ස්ථාපිත කර ඇති මිලිටරි පාලනයයි.

යුද්ධය නිමා වී වසර තුනකට අධික කාලයක් ගත වී ඇතත් ආණ්ඩුව තවමත් ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට හෝ උතුරේ සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීමට කටයුතු කර නැත. යුද්ධයෙන් අනතුරුව කඩිනම් පියවර ගත යුතුව තිබෙන්නේ ප‍්‍රතිසන්ධානය දිශාවට වුවත් ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ ජාතිවාදය හා මිලිටරි බලය භාවිත කර දෙමළ ජනතාව මත සංස්කෘතික බලහත්කාරය, මිලිටරිමය මර්දනය හා අත්තනෝමතිකත්වය හරහා විශේෂ පීඩනයක් ඇති කිරීමයි. මෙම තත්වය සිංහල, දෙමළ, මුස්ලිම් සමගියට මෙන්ම දිගුකාලීන සමාජ යහ පැවැත්මටද බරපතළ තර්ජනයකි. මුරුගන්ඩි ජනතාව මුහුණ දී ඇති ඉරණම මේ මහා ඛේදවාචකයේ එක් පැතිකඩක් පමණි. එබැවින් උතුරේ ජනතාවගෙන් බලහත්කාරයෙන් පැහැර ගත් සියලූ දේපළ යළි ලබා දෙන ලෙසද, උතුරු පළාතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන ලෙසද අපි ආණ්ඩුවට බල කරමු. සමානාත්මතාවයේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පදනම මත අයිතීන් දිනා ගැනීම සඳහා එක්සත් වන ලෙස සිංහල, දෙමළ, මුස්ලිම් සමස්ත පීඩිත ජනතාවගෙන් අපි අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටිමු."

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 139 guests online