Latest news
A+ R A-

ඉල්ලා අස්වීමේ නාඩගම සහ තොත්ත බබා

E-mail Print PDF

 

ජුනි 27වැනිදා, මෙම සටහන ලියන මොහොත වන විට ගුවන් විදුලියෙන් ප‍්‍රවෘත්ති කිහිපයක් විකාශය විය. එක් ප‍්‍රවෘත්තියක් වූයේ උතුරුමැද පළාත් සභාව විසුරුවා හැරීමේ ප‍්‍රවෘත්තියයි. මේ අතර සබරගමුව හා නැගෙනහිර පළාත් සභා දෙක ද විසුරුවා හරින බව කියැවිණි. ආණ්ඩුව නියමිත කාලයට පෙර පළාත් සභා මැතිවරණ කැඳවන මොහොත වන විට රටේ ප‍්‍රමුඛත්වය ගෙන තිබූ සංවාද කිහිපයක් විය. ඒ අතරින් ප‍්‍රධානතම තැනක් ඉසිලූවේ උසස් පෙළ ප‍්‍රතිඵල පිළිබඳ ගැටලූවයි. පසුගිය අපොස උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිටි සිසුන්ට හා පැරණි විෂය නිර්දේශය යටතේ පෙනී සිටි සිසුන්ට ලෙස ප‍්‍රශ්න පත‍්‍ර දෙක බැගින් සකස් විය. ඒ අනුව Z ලකුණු අගයන් එම විෂය නිර්දේශ කාණ්ඩ දෙක සඳහා වෙන වෙනම නිකුත් කළ යුතුව තිබුණ ද ආණ්ඩුව ඒ අගයන් සංයෝජනය කර එක්  Z ලකුණු මට්ටමක් හඳුන්වාදීමට ගොස් මුළු විභාග ප‍්‍රතිඵලයම අවුල් ජාලයක් කරගත්තේය. පසුගිය අඟහරුවාදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් එම පටිපාටිය වෙනස් කිරීමේ නියෝගයක් නිකුත් විය.

නියමිත කලට වසරකට පමණ පෙර පළාත් සභා මැතිවරණ කැඳවෙන ප‍්‍රවෘත්තිය සමගම ගුවන් විදුලි නාලිකාවල මේ විභාග ප‍්‍රතිඵල ජරමරය ගැන ද ප‍්‍රවෘත්ති විකාශය විය. එම ප‍්‍රවෘත්ති අතරින් ලියුම්කරුගේ අවධානය යොමුවූ ප‍්‍රවෘත්තියක් තිබිණි. ඒ විමල් වීරවංශ ඇමැතිවරයාගේ සහචරයකු වන පියසිරි විජේනායක අධ්‍යාපන ඇමැතිවරයාට හා උසස් අධ්‍යාපන ඇමැතිවරයාට පස් පඩංගුවේ බණිමින් ඔවුන් ඉල්ලා අස්විය යුතු යැයි ගෝරණාඩු කරන හඬපටය රැගත් ප‍්‍රවෘත්තියයි. ආණ්ඩුවේම ඇමැතිවරයකු වන විමල් වීරවංශ සිය කැබිනට් සගයන් දෙදෙනකු තදින් විවේචනය කිරීමට සිය ගෝලබාලයන් මෙහෙයවීම පිටුපස ඇති දේශපාලනය කුමක්ද? එය තරමක් ගැඹුරින් විමසා බැලිය යුතු ප‍්‍රශ්නයකි.

වරද කාගෙද?

ලංකාවේ විධායක ජනාධිපතිවරයා සර්වබලධාරී පුද්ගයෙකි. එතරම් බලයක් ලොව අන් කිසිදු රාජ්‍ය නායකයකු අතට ගොනුවී නැත. ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ගත්ත ද රටේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන සමස්ත රාජ්‍ය යන්ත‍්‍රයේම මෙහෙයවීම ඇත්තේ ඔහු අතය. එහෙයින් රටේ දේශපාලනමය සමස්තයට ඔහු වගකිව යුතුය. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මැදමුලන ක‍්‍රමයට සියලූ බලතල තමන් අත කේන්ද්‍ර කරගෙන සිටින තත්වයක් තුළ රටේ පවතින අර්බුද පිළිබඳ ප‍්‍රශ්න කළ යුත්තේ ඔහුගෙනි. නමුත් දැන් ආණ්ඩුව අපූරු උපක‍්‍රමයක් අනුගමනය කරන බව පෙනේ. ඒ ආණ්ඩුවේ සියලූ අර්බුද, අසමත්කම් හා ජනතා විරෝධී ක‍්‍රියාකාරීත්වයන් තනි තනි ඇමැතිවරුන් පිට පටවා ආණ්ඩුවේ කේන්ද්‍රය වන රාජපක්ෂවරුන් චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමයි. ආණ්ඩුවේම ඇමැතිවරයකු වන විමල් වීරවංශ අධ්‍යාපන අර්බුදයේ සමස්ත වගකීම බන්දුල ගුණවර්ධන හා එස්.බී. දිසානායක පිට පැටවීම පිටුපස ඇති දේශපාලනය එයයි. එවිට හැමදෙනාටම පවුකාරයන්ට ගල් ගැසීය හැකි වන අතර එවිට මහින්ද නිදහස් වේ.  රාජපක්ෂ රෙජීමය නිදහස් වේ. අධ්‍යාපනය වැනි මහජන සේවාවන් විනාශ මුඛයට යවන නව ලිබරල් ධනවාදී ප‍්‍රතිපත්තිය නිදහස්ය. විභාග ප‍්‍රතිඵලයක්වත් නිවැරැදිව නිකුත් කිරීමට අසමත්  ලංකාවේ පසුගාමී ධනේශ්වර රාජ්‍යය ද නිදහස් ය.

ආණ්ඩුව, ආණ්ඩුවේ ඇමැතිවරුන් හා ආණ්ඩුවට හිතවත් මාධ්‍ය ක‍්‍රමය බේරාගෙන, රෙජීමය බේරාගෙන පුද්ගලයකු දෙන්නකු බිලිදීමට කරන දේශපාලනය තේරුම්ගත හැක. එය ඔවුන්ගේ ගැලවීමේ මාවතයි. රාජපක්ෂ රෙජීමය එහි ප‍්‍රතිපත්ති හා විධායක ජනාධිපති ක‍්‍රමය ඇතුළු සමස්ත සමාජ ආර්ථික ක‍්‍රමයම ගලවාගත හැක්කේ අවශ්‍ය විටෙක පුද්ගලයන් බිලි දීමෙනි. මේ සියලූ අර්බුද මැද පළාත් සභා මැතිවරණය කැඳවීමට හැකි වී ඇත්තේ ඒ නිසාය. සියලූ කුණු ඇමැතිවරුන්ට, පළාත් සභා මහ ඇමැතිවරුන්ට හා පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට පවරා ‘මේ කිසිවක් නොදන්නා’හා ‘සර්ව නිර්දෝෂී’ජනාධිපතිවරයා වෙනුවෙන් ඡන්දය භාවිත කරන්නැයි දැන් ජනතාවට කිව හැක. ආණ්ඩුවේ උපාය මාර්ගය එයයි.

එය සාර්ථක කරගැනීම සඳහා ආණ්ඩුවට උපරිම සහාය දෙන්නේ නිල විපක්ෂයේ සිටිනා එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණයි. ජුනි 26වැනිදා ජවිපෙ අනුර දිසානායක, එස්.බී. හා බන්දුල ඇමැතිවරු වහාම ඉල්ලා අස්විය  යුතු යැයි මාධ්‍ය හමුවකදී පැවසූ අතර ජවිපෙට සම්බන්ධ විවිධ සංවිධානවල නමින් ඇමැතිවරුන්ට ඉල්ලා අස්වන ලෙස කියන නිවේදන නිකුත් විය. එදිනම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක ද මාධ්‍ය අමතමින් කියා සිටින්නේ අර්බුදය හමුවේ අධ්‍යාපන ඇමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි. ප‍්‍රශ්නයේ කේන්ද්‍රයට පහරදීමට සමත්කමක්, දැක්මක් හෝ පරිණතකමක් නැති නිල විපක්ෂය ආණ්ඩුවේ උපාය මාර්ගයේ අන්තේවාසිකයන් වී ඇත. එනිසා පරාජය කළ යුතුව තිබෙන්නේ අත්තනෝමතික ආණ්ඩුව පමණක් නොවේ. අඳබාල නිල විපක්ෂය ද පරාජය කළ යුතුය. මේ සමස්ත ක‍්‍රමයම පරාජය කළ යුතුය.

අර්බුදයේ මුල

මේ උපාය මාර්ගය ක‍්‍රියාත්මක වූයේ ශිෂ්‍යයන්ට අදාළව පමණක් නොවේ. කම්කරුවන්ට හා ගොවියන්ට අදාළව සිදුවන්නේ ද එයමය. පසුගිය දිනවල විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැඩ වර්ජනයක් දියත් විය. ඔවුහු වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු වෘත්තීය ඉල්ලීම් ගණනාවක් වෙනුවෙන් අරගල කරමින් සිටියහ. එම අරගලය දැන් මාස ගණනාවක් තිස්සේ පැවතුණ අතර පසුගිය වසර කිහිපය තුළ මේ එකම ඉල්ලීම වෙනුවෙන් වැඩ වර්ජන 5ක් පමණ දියත් විය. අවසානයේදී පළාත් සභා විසුරුවීමට පෙර දින එනම් ජුනි 26වැනි දින ජනාධිපතිවරයා අනධ්‍යයන සේවක වෘත්තීය සමිතිවලට සාකච්ඡාවක් ලබා දුන්නේය. එහිදී එළිදරව් වූයේ අපූරු කරුණකි. මාස ගණනක් ඇදීගිය වැඩ වර්ජනය ගැන ජනාධිපතිවරයා කිසිවක් දන්නේ නැත. අවසානයේදී තම ඉල්ලීම් ලිඛිතව ලබාදෙන ලෙසත් ඒවා කියවා අවබෝධයක් ගත්පසු ක‍්‍රියාමාර්ග ගන්නා බවටත් ජනාධිපතිවරයා පැවසූ පසු අනධ්‍යයන සේවක වැඩ වර්ජනය නතර කිරීමට වෘත්තීය සමිති තීරණය කළේය. ඔවුන් මෙපමණකල් අරගල කර ඇත්තේ කිසිවක් නොදන්නා තොත්ත බබෙක් වන මහින්දට සිය ප‍්‍රශ්නය ඒත්තු ගැන්වීම සඳහා යැයි දැන් ඔහු ප‍්‍රශ්නය දන්නා නිසා කුමක් හෝ වනු ඇතැයි ද වෘත්තීය සමිති නායකයන් රූපවාහිනියට කියනු අපට දැකිය හැකි විය.

ආණ්ඩුව උතුරුමැද පළාත් සභාව විසුරුවා හැර මැතිවරණයකට යාමට ධෛර්යමත් තීරණයක් ගත්තේ ගොවිතැනට ජලය ලබාදීමට රජය අසමත් වී අක්කර සිය ගණන් කුඹුරු විනාශ වෙමින් පැවැති අවස්ථාවකය. ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ අනුරාධපුර තලාව ගොවියන්ට පසුගිය 22වැනිදා පොලිස් ප‍්‍රහාරයක් ද එල්ල විය. ප‍්‍රහාරයෙන් අනතුරුව ගොවි නායකයන් හමුවූ රජයේ නියෝජිතයන් කියා සිටියේ පොලිස් ප‍්‍රහාරය පොලිසියේ හිතුවක්කාර ක‍්‍රියාවක් බවය. ජල හිඟයට නිමල් සිරිපාල ඇමැතිවරයා වගකිවයුතු අතර ජනාධිපතිවරයා මේ ජල ප‍්‍රශ්නය ගැන කිසිවක් දන්නේ නැති බවය. ජනාධිපතිවරයා රට කරවන්නේ පත්තරයක්වත් බලන්නේ නැතිවදැයි එවිට ගොවි නායකයන් ඇසුවේ නැත. ගොවියන් ගුටි කෑ පසුව සිද්ධිය දැනගත් ජනාධිපතිවරයා ජලය ලබාදීමට බැරි නිසා වන්දි ලබාදීමට එකඟ වී ඇත. ඒ වන්දි මුදලේ හිලව්වට වැව්-අමුණු නඩත්තු කරන ලෙස ද ගොවියන්ට දැනුම් දී ඇත. දැන් උතුරුමැද පළාතේ ගොවියන්ට ජලය අහිමිවීම ගැන ඇමැතිවරයාට බැණ, ඉදිරි මැතිවරණයේදී ජනාධිපතිවරයා වෙනුවෙන්, ඔහු දුන් වන්දිවලට කෘතගුණ සැලකීමක් ලෙස සන්ධානයට ඡන්දය දීමට අනගි අවස්ථාවක් උදාවී ඇත.

ජනාධිපතිවරයා මේ වන්දි දෙන්නේ සිය පෞද්ගලික බූදලයෙන් නොවේ. සිය අකාර්යක්ෂමතාවේ හා අසමත්භාවයේ වැරැදි වසාගැනීමට වැය කරන්නේ මහජන මුදල්ය. ඒ මහජන මුදල් යළි පියවාගනු ලබන්නේ මහජනතාව මතම බදු බර පැටවීමෙනි. කළ යුතුව ඇත්තේ කෘෂිකර්මය ද ඇතුළු නිෂ්පාදන ක්ෂේත‍්‍රය සවිමත් කිරීමය. එහෙත් නව ලිබරල් උපාය මාර්ගයෙන් සිදුවන්නේ නිෂ්පාදන බිඳවැටීමයි. පසුගිය අයවැයෙන් රජයේ ආදායම 14.4%කින් ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කළ ද මේ වසරේ පළමු කාර්තුව තුළ එය ඉහළ ගොස් ඇත්තේ 5.6%කින් පමණි. ආදායම අඩුවීමට ප‍්‍රදානම හේතුව අපනයන පහත වැටීමයි. වර්තන ගිණුමේ හිඟය හෙවත් සමස්ත ආදායම හා පුනරාවර්තන වියදම් අතර පරතරය පසුගිය වසරේ පළමු කාර්තුවේ රුපියල් බිලියන 53සිට මේ වසරේ පළමු කාර්තුවේ රුපියල් බිලියන 106.8දක්වා දෙගුණයකින් වැඩි වී ඇත. ආණ්ඩුව මේ සියලූ වැරැදි වසාගන්නේ බදු ආදායමෙනි. මේ වසරේ පළමු කාර්තුව තුළ බදු ආදායම් 10.3%කින් ඉහළ ගොස් ඇත. වසර අවසන් වන විට බදු හරහා උපයා ගැනීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 1000.6කි. එනම් එක් පුද්ගලයකුගෙන් මසකට රුපියල් 4169ගණනේ ආණ්ඩුව බදු අයකිරීමට අපේක්ෂා කරයි. මෙතරම් අර්බුදකාරී තත්වයක් යටතේ ආණ්ඩුව කරන්නේ අපෙන්ම ගෙන අපටම දී අප රැවටීම හා ආර්ථිකය සමග සිය බල ව්‍යපෘති වෙනුවෙන් සූදු කෙළීමය.

මේ තිබෙන්නේ ඇමැතිවරයකුගේ ප‍්‍රශ්නයක් නොව සමස්ත ආර්ථික ක‍්‍රමයේම අර්බුදයකි. නිෂ්පාදනය බිඳදමන, ජනතාව මත බදු බර පටවන, සමාජ සුබසාධන සේවා විනාශ කරන ප‍්‍රතිපත්තියේම ප‍්‍රශ්නයකි. ජනතාව තවමත් මේ ඛේදවාචකයේ මුල් හඳුනාගෙන නැත. අවම වශයෙන් මේ ක‍්‍රියාවලියේම ඇති  විනාශකාරීත්වයවත් හරිහැටි හඳුනාගෙන නැත. ඊනියා විපක්ෂය කරන්නේ ද මාධ්‍ය හරහා මතුපිට දේශපාලනයක නිරත වෙමින් ක‍්‍රමයේ අර්බුදය පිළිබඳ අදහස බොඳ කිරීමයි. ඇමැතිවරුන්ට ඉල්ලා අස්වන ලෙස යටිගිරියෙන් කරනා කෑ ගැසීම් ඒ සඳහා ඇති හොඳම නිදසුනයි. මේ විගඩම අවසන් කිරීම සඳහා ප‍්‍රවේශයක් ගත යුතුය. එය දීර්ඝකාලීනය. දුෂ්කරය. එහෙත් එම ප‍්‍රවේශය ගත යුතුමය. 

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

අගෝස්තු මස 19 දිනය සඳහා කාලගුණ අනාවැකිය

අගෝස්තු මස 19 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා - දිවයින පුරා වැසි සහිත කාලගුණයක් සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් තවමත් පවතී. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ... Read more

Advertisment

advertisment