A+ R A-

සාපයක් නොවේ දෙවියන්ගේ - ක‍්‍රමයේ වරදයි කලියුගයේ

E-mail Print PDF

altකඳුසහ ලේ විකුණන මාධ්‍ය වෙළෙ`දපොළේ ලාභ රේට්ටු ඉහළ නංවමින් දිවයින පුරා දරුවෝ ආශ්චර්යමත් යුගයේ නරකම දේ අත්පත් කරගනිමින් සිටිති.

 ඉක්ම ගිය දවස් තුළ තංගල්ලේදීත් කිරුළපනදීත් තව බොහෝ තැන්වලදීත් ජනතාවක් හැටියට අපට නෙළාගන්නට සිදුවී ඇත්තේ ක‍්‍රමයේම අස්වැන්න මිස අන්යමක් නොවේ. මිනිසුනි, මේ සටහන් වන්නේ ආසන්නතම කිරුළපන සාක්ෂියයි. නිවැරැදිව විනිශ්චය කර වහා තීන්දුවක් ගන්න.

සුළං රැලිවලට අවනත වූ සිහින් ඉටි කොළ තීරුවලින් නැ‍ගෙන දුක්මුසු සිරි සිරිය අපට දැනෙන්නට විය. කිරුළපන නගරය සුපුරුදු පරිදිය. නමුත් කිරුළපන කූඹිවත්ත නිවෙස් පේළිය එකම කඳුළු ගංගාවක නැහැවී ගොසිනි. පාපතරයන් අතින් අකාලයේ මිලින වූ මල් කැකුළ බැලීමට අපි ඇගේ නිවසට ගියෙමු. කුරිරු වූ පාපතරයන් වෙසෙන මේ පියවි ලොවෙන් ඔබ්බට ගිය ඇගේ නිසල දේහය සුමුදු දැලකට යටින් ගොස් නිවී සැනසිල්ලේ පසුවුණා.

පාමංකඩ දෙමළ විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ ඇය වේලූ ක‍්‍රිෂාන්ති. අම්මා සහ තම සහෝදරයා සමග ජුනි 30වැනි දින රාත‍්‍රියේ පල්ලියේ තිබූ උත්සවය නැරඹීමට ගොස් දහසකුත් දේවල් දෙවියන්ගෙන් ඉල්ලන්නට ඇති. පූජාව අහවර වූ පසුව ඇය ගියේ තම මිත්තනියගේ නිවසට බව ක‍්‍රිෂාන්තිගේ අම්මා ජී. එම්. ක්වීන් මේරි අපට කිව්වා.

‘‘සිද්ධාර්ථ පාරේ තියෙන නැන්දලගෙ ගෙදර ගියාම එයා බඩගිනියි කියලා බත් ඉල්ලූවා. බත් බෙදලා දුන්නම සේරම එක පිම්මට කාගෙන ගියා.’’

කුස පුරවගත්ත පුංචි ක‍්‍රිෂාන්තිට වැඩි වෙලාවක් යන්නට මත්තෙන් එක්තරා ආරාධනාවක් ආවා. ඒ ඇගේ මාමා වන රවීන්ද්‍ර සුරෙන්ද්‍රන් සුබ‍්‍රමණියන්ගෙනි. සිද්ධාර්ථ පාරේ වැසියන් අතර බෝලේ යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙන ඔහු ක‍්‍රිෂාන්තිව පෙරහර පෙන්නන්න යැයි කියා අඬගසාගෙන ගොස් තිබේ. හයක් හතරක් නොතේරෙන පුංචි ක‍්‍රිෂාන්තිත් මාමා එක්ක ආදරෙන් පෙරහර බලන්න ගියා. මේ සුබ‍්‍රමණියම් මාමා කෙරෙහි ඇයට උතුරා ගලා හැලෙන ආදරයක් තිබුණා. පැණි බෝතලයට ලොල් වූ ෆාමසි මත්පෙතිවලට වහල් වූ සුබ‍්‍රමණියම් මාමාට ඇගේ කටේ කිරි සුවඳ නොදැනෙන්නට ඇති. මත් වී සිටි සුබ‍්‍රමණියම් පෙරහර පෙන්වනවා වෙනුවට පුංචි ක‍්‍රිෂාන්තිට තර්ජනය කර ඉවතට රැගෙන ගියා. තමන්ගේ පාසල් මිතුරකු වූ පාමංකඩ පදිංචි වඩිවේල් කුමාර් ක‍්‍රිෂ්ණන් සමග එකතුවෙලා ඇයව කිරුළපන නගරයේ පිහිටි ජාත්‍යන්තර පාසලක් පිටුපසට  බලහත්කාරයෙන්ම රැගෙන ගොස් තියෙනවා.

මේ දෙදෙනාට මැදි වූ පුංචි ක‍්‍රිෂාන්ති තමන්ගෙ පුංචි දෑස් පොඩි තෙත් කරමින්  ‘යන්න දෙන්න’ යැයි කියා ඇඬුවත් ඔවුන් ඉදිරියේ අයැදුවත් මත් වී සිටි පාපතරයන්ට ඒ කිසිවක් ඇසුණේ නෑ. තමන්ගේ කාම පිපාසය සංසිදවා ගත් ඔවුන් ඇයව පණ පිටින්ම අසල තිබූ කුණු ඇළ වෙත විසිකරලා  තියෙනවා. පුංචි ක‍්‍රිෂාන්ති එක සැරයක් උඩට එන්න හැදුවත් ඇයට ඒ ගැඹුරු ජල දහරාවට යටත් වෙන්න සිද්ධවුණා. පල්ලියේ එදින තැන්පත් කළ මරිය සුරුවම මත ඈ තැබූ බලාපොරොත්තු කුණු ඇළේ කුණු දියට ගසාගෙන ඈතට යන්නට ගියා.

සිද්ධිය එලෙස සිදුවෙද්දී ක‍්‍රිෂාන්තිගේ අම්මා තම සි`ගිති දියණිය නිවසේ නැති බව දැනගෙන තියෙනවා. ක‍්‍රිෂාන්තිගේ අයියාගෙන් ඇගේ මව ‘‘නංගී කෝ පුතේ?’’ කියලා ඇහුවහම ‘‘නංගි කොහෙද දන් නෑ අම්මේ. එළියේ ඇති’’ කියලා ඔහු කිව්වා. තම පුංචි දියණිය ගැන එළිමහනේ විපරම් කර බැලූ ඇය නැවත පුත‍්‍රයාගෙන් ඈ කොහේ ගියාද කියලා ඇහුවා. ‘‘මාමා පෙරහර බලන්න එක්ක යන්න කතා කළා. ගියාද දන් නෑ’’ යැයි කියූ ක‍්‍රිෂාන්තිගේ අයියා නංගී එනතුරු බලාගෙන හිටියා. නමුත් ඇය ආවේ නැහැ. සුබ‍්‍රමණියම් මාමා විතරක් මහ ? තනියම ගෙදර ආවා. ඔහුව දැක්ක ගමන්ම පුංචි දියණිය ගැන මේරි ඔහුගෙන් අහලා තියෙනවා. පෙරදින උපන් කුඩා බිළිඳකු සේ ක‍්‍රිෂාන්තිගේ මව ඉදිරියේ හැසිරුණ ඔහු දීලා තියෙන උත්තරේ.

‘‘මම එයා දැක්කේ නෑ. මම හිටියෙ පල්ලියේ’’ කියලයි.

ඔහු බීමතින් මෙන් සිටි නිසා සුබ‍්‍රමණියම්ගේ මව ඒ පිළිතුර ගැන තැකීමක් කළේ නැහැ. ඒ නිසා ක‍්‍රිෂාන්තිගේ අම්මා පල්ලියට ගිහින් පුංචි දියණිය හෙව්වෙ ඈ අතරමං වෙලා ඇති කියල හිතාගෙනයි. පල්ලියේදී නිවේදනයක් නිකුත් කොට ඈ පිළිබ`දව සෙවීමටත් අම්මා අමතක කළේ නැහැ. නමුත් ඒ වන විටත් පියවි ලොවෙන් ගව් ගණනක් දුර ගොස් තිබෙන පුංචි ක‍්‍රිෂාන්තිට මේ කිසිදු නිවේදනයක් ඇහුණේ නෑ. ඉන්පසුව ක‍්‍රිෂාන්තිගේ තාත්තා කිරුළපන පොලිසියට ගිහින් මේ පිළිබඳව පැමිණිලි කරලා තියෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක‍්‍රියාත්මක වූ කිරුළපන පොලිසිය පුංචි ක‍්‍රිෂාන්ති සෙවීමේ මෙහෙයුම ආරම්භ කළා.

කිරුළපන කුණු ඇළ අසල නිවෙසක අයකු මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පොලිස් නිලදරුවන්ට  ඉතා වැදගත් හෙළිදරව්වක් කොට තිබෙනවා. එනම් සිද්ධිය වූ දින රාතී‍්‍ර 10ත් 11ත් අතර වෙලාවක කිසියම් බර දෙයක් මේ ඇළට වැටෙන ශබ්දය ඇසී ඔහු එළියට පැමිණි බවත් එවිට කිසියම් පිරිසක් එතැනින් දුවනවා ඔහුට ඇසුණ බවත් ඔහු පොලිසියට කියල තියෙනවා. මේ හෝඩුවාවත් එක්කම ඇළ අවට පරීක්ෂා කළ පොලිසියට හමුවුණේ පුංචි වේලූගේ සෙරෙප්පුවක්. ඒ අනුව නාවික කිමිදුම්කරුවන් ගෙන්වා ඇළ ගැඹුරේ සෝදිසි කළ ඔවුන්ට හමුවූයේ පුංචි ක‍්‍රිෂාන්තිගේ නිසල මළ සිරුරයි. ඇයව කුණු ඇළෙන් ගොඩගන්නා විට ද සිද්ධියට සම්බන්ධ ඇගේ මාමා එතැන හිඳ තිබේ. පුංචි ක‍්‍රිෂාන්ති දැන් සදහටම නිහඩ වී අවසන්. නමුත් ඇයට මෙම අපරාධය කළ තරුණයන් දෙදෙනා කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් විසින් ලබන 10වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබෙනවා. සුබ‍්‍ර‍්‍රමණියම් හෙවත් බෝලේට වඩිවේල් සමග සම්බන්ධය ගොඩනැගෙන්නේ පාසලේදී. පාසල් අධ්‍යාපනයෙන් පසුව රැකියාවක් නොමැතිව විවිධ කුලී වැඩවල නිරත වූ ඔවුන් පාසල් අවධියේ සිටම යම් යම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි බව අපට දැනගන්නට ලැබුණා. බටහිර ඖෂධ වර්ග මත්ද්‍රව්‍ය ලෙසින් පානය කරන්නට ඇබ්බැහි වූ සිසුන් දැන් නවතම ආකාරයෙන් සාදන ලද දුම්කොළ ආදී මත් ද්‍රව්‍ය භාවිතයට ද තදින් නැඹුරු වෙලා තියෙනවා. සුබ‍්‍රමණියම් සම්බන්ධයෙන් සිද්ධාර්ථ පාරේ තරුණයකුගෙන් අප කළ විමසුමකදී ඔහු බෝලේ ගැන කීවේ මෙවන් කතාවක්.

‘‘වැඩක් පොළක් කියලා එහෙම හරියට කරපු කෙනෙක් නෙමේ. අහම්බෙන් කුලී වැඩක්  කරොත් ඇරෙන්න චාටරේ කාගෙන ඉන්න එක තමයි කරන්නෙ. ‘ෆාමසි අයිටම්’ නම් ගහනවා හරියට’’

පුංචි ක‍්‍රිෂාන්තිට වඩා වයසින් වැඩිවුවත් සුබ‍්‍රමනියම් ද බාලවයස්කාරයෙක්. වඩිවේල් යාන්්තම් දහඅට පිරුණ තරුණ ගැටයෙක්. වඩිවේල් සුළු රැකියාවක නිරත වූ අතර ඔහු ද මෙම ‘ෆාමසි මත්ද්‍රව්‍ය’ භාවිත කළ අයකු බව අපට දැනගන්නට ලැබුණා. මොවුන් දෙදෙනාම පාසලෙන් ඉවත් වී වැඩි කාලයක් නැහැ. මොවුන් රැකියා නොකළ අතර ඒ  සමාජ පසුබිම අනුව ඔවුන්ට කිසිවකු රැකියාවක් දෙන්නේත් නැති තරම්. පාසල් අධ්‍යාපනයෙන් පසුව සෑම සිසුවකුම වෘත්තීය අධ්‍යාපනයට යොමු කොට ඔවුන් තුළ යහපත් වූ මානසික ස්ථාවරයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු වුණත් මේ දූපතේ එහෙම වෙන්නෙ නෑ.  ඒත් පෞද්ගලික විශ්වවිද්‍යාල සෑදීමට සිසුන් එක්ක ජල්ලි අල්ලන මේ ආඩම්බරකාර ආණ්ඩුවට එහි අරුතක් නොපෙනීම අපට නම් පුදුමයට කරුණක් නෙවෙයි. 

සුබ‍්‍රමණියම්ලා සහ වඩිවේල්ලා ජීවත් වන පරිසරය ද එක්තරා අයුරකින් අපරාධකරුවන් බිහිවීමට සරු පසක්. ඔවුන් සඳහා නිසි ලෙස නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරලා නැහැ. එම ප‍්‍රදේශවල රැකියා විරහිත තරුණයන්ට වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීමටත් ඔවුන් තුළ යම් කිසි ආකාරයක ආකල්පමය වෙනසක් සිදු කරන්නටත් කිසිදු උත්සාහයක් අරගෙන නැත්තෙ රටේ උන්නතිය සඳහා රැකියා විරහිතයන් දායක කරගැනීමට වඩා සමාජ දූවිල්ල තුළම ඔවුන් රඳවා තබාගැනීම පවතින ‘සිස්ටම් එක’ට වාසිදායක නිසා බවට මොන සැකයක්ද?

පුංචි ක‍්‍රිෂාන්ති ඝාතනය කළ සුබ‍්‍රමණියම් සහ වඩිවේල් නිදොස් යැයි අපි කියන්නැහැ. ඒත් මෙම අපරාධය සිදු කළ සමාජය තුළින් ඔවුන්ව වෙන් කරන්න බැහැ. ඒ කෙසේ වුවත් කිරුළපන පුංචි මල් කැකුළ දැන් මිලින වී අවසන්. ක‍්‍රිකට් පිත්ත අතේ තියාගෙන අයියා සමග ආසාවෙන් ක‍්‍රිකට් ගැසීමට ගිය පුංචි දැරිය මේ සමාජයෙන් දැවී ගිහින් හමාරයි. ඉතින් හෙටින් පටන් ගන්නා අනාගතය තුළ මේ වගේ ‘කදුළු කතා’ කීයක් ලියන්න වෙයිද කියලා තීරණය කරන්න  ඕන අපි නෙවෙයි ඔබ!

 

භාසුරු ජයවර්ධන

This content has been locked. You can no longer post any comment.

සේයා සටහන

පිස්තෝලේ ‘සෙල්ලම්’ එකක්ලු ආවේ ආරක්ෂාවටලූ

පිස්තෝලේ ‘සෙල්ලම්’ එකක්ලු ආවේ ආරක්ෂාවටලූ…

  හම්බන්තොට නගර සභාවේ නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පිස්තෝලයක්ද රැගෙන මන්ත්‍රීවරුන් පසුපස පැන්නූ අයුරු ඡායාරූප පළ විය. ඒ පිළිබඳ ඔහු පවසා ඇත්තේ...

Search