Latest news
A+ R A-

ජනතා නියෝජිතයා සහ ජන හතුරා

E-mail Print PDF

 

altආණ්ඩුව නැවත වරක් පළාත් සභා මැතිවරණයක් කැඳවා තිබේ. ඒ උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා සඳහාය. මේ පළාත් සභා මැතිවරණ කැඳවා ඇත්තේ නියමිත කාලයට පෙරය.

නැගෙනහිර පළාත් සභාවේ කාලය අවසන් වීමට අවම වශයෙන් තව මාස 10ක්වත් ඉතිරිව තිබේ. උතුරුමැද හා සබරගමුව පළාත් සභාවල නිල කාලය අවසන් වීමට වසරකට අධික කාලයක් ඉතිරිව තිබේ. ආණ්ඩුව මේ පළාත් සභා තුන විසිරුවා හරින්නේ එම පළාත් සභාවල නිල කාලය අවසන් වීමට පෙරය. එපමණක් නොවේ, ආණ්ඩුව සියලූම පළාත් සභා සඳහා එකම දිනයක මැතිවරණ පැවැත්වීම වෙනුවට එක් එක් පළාත් සභා වෙන වෙනම ගෙන කොටස් වශයෙන් මැතිවරණ පැවැත්වීමට අපේක්ෂා කරන බව පෙනේ. මෙවර කැඳවා ඇත්තේ පළාත් සභා තුනක මැතිවරණය. ඉතිරි ඒවා ද මීට පෙර කළාක් මෙන් එක හෝ දෙක බැගින් කොටස් කර විසිරුවා හැරීමට බොහෝ සෙයින් ඉඩ ඇත. අනෙක් අතට පළාත් සභා ගෙන එනු ලැබුවේ උතුර හා නැගෙනහිර වෙසෙන දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නයට විසඳුමක් යැයි කියමිනි. නමුත් තවමත් උතුරු පළාත් සභාව සඳහා මැතිවරණයක් කැඳවා නැත. ආණ්ඩුවට ඒ ගැන හදිසියක් ඇති බව ද නොපෙනේ. උතුරේ මැතිවරණය නැතත් අනෙක් පළාත් සභා නම් නියමිත කාලයට පෙරම විසිරුවා හැරීමට තරම් ආණ්ඩුවට හදිසියක් තිබේ. ඒ නිසා මේ කැඳවා තිබෙන පළාත් සභා මැතිවරණ ස්වාභාවික කාල සටහනකට අනුව අප හමුවට පැමිණි මැතිවරණ නොව ආණ්ඩුවේ සැලැස්මකට අනුව කැඳවාගත් මැතිවරණ බව පැහැදිලිය.

දේශපාලන අරමුණු

මේ මැතිවරණ කැඳවා ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතියක් ලෙසය. ඒ බව තහවුරු කරගැනීමට තවදුරටත් සාක්ෂි අවශ්‍ය නැත. මෙසේ නියමිත කලට පෙර, කොටස් වශයෙන් මැතිවරණ පැවැත්වීම සඳහා ආණ්ඩුවට බලපාන හේතු ගණනාවක් තිබිය හැක. මුලින් උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභාත් දෙවනුව ඌව පළාත් සභාවත් තෙවනුව දකුණු පළාත් සභාවත් අනතුරුව මධ්‍යම හා වයඹ පළාත් සභාත් අවසානයට බස්නාහිර පළාත් සභාවත් සඳහා කොටස් වශයෙන් මැතිවරණ පවත්වමින් වසර 1 1/2ක්,  2ක් පමණ ගෙවාදැමීමේ සැලැසුමක් ද ආණ්ඩුවට ඇත. එහි අවසන් ඉලක්කය වනුයේ පළාත් සභාවල බලය තහවුරු කරගෙන ඉන් පසු ජනාධිපතිවරණයකට යාමයි. ඒ අනුව එක් අතකින් මේ මැතිවරණ රාජපක්ෂ රෙජීමයේ බල ඉලක්ක සමග ගැට ගැසී ඇත.

අනෙක් අතට ආණ්ඩුවට එල්ල වන ඉතාම බරපතළ ජාත්‍යන්තර පීඩනයක් තිබේ. තව මාස කිහිපයකික් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ මීළඟ සැසිවාරය පැවැත්වීමට නියමිත අතර ආණ්ඩුව ඊට මුහුණ දීමට සැරසෙන්නේ රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමෙන් නොවේ. තමන් මැතිවරණ ජයග‍්‍රහණය කළ බවත් ජනතාව සිටින්නේ ආණ්ඩුව සමග බවත් පෙන්වීමෙනි. ඒ අරමුණ වෙනුවෙන් විධායක ජනාධිපති

බලය ද ඇතුළු බලය, වරප‍්‍රසාද හා මුදල් භාවිත කර මහජන මතය සැබැවින් නිරූපණය නොකරන ව්‍යාජ ඡුන්ද ප‍්‍රතිඵලයක් ලබාගැනීම ආණ්ඩුවේ අරමුණයි.

ආණ්ඩුව පළාත් සභා මැතිවරණයක් කැඳවන මේ අවස්ථාව වනාහී රට තුළ විශාල ප‍්‍රශ්න ප‍්‍රමාණයක් මතු වී ඇති අවස්ථාවකි. මැතිවරණය කැඳවා ඇති උතුරුමැද පළාතේ ගොවි ජනතාව ජල හිඟයෙන් පීඩා විඳිති. නැගෙනහිර පළාතේ ගොවිබිම් ද ජල හිඟයෙන් පීඩා විඳින අතර එම ප‍්‍රදේශයේ ධීවර ජනතාව ඉහළ ගිය ඉන්ධන මිල හේතුවෙන් බලවත් පීඩාවකට ගොදුරු වී සිටිති. එම පළාත් ද ඇතුළු මුළු රටේම ජනතාව ජීවන බරෙන් මිරිකී සිටිති. ඩෙංගු රෝගය පාලනය කරගත නොහැකිව වසංගතයක් සේ පැතිරෙන අතර ඩෙංගු වැලඳෙන රෝගීන්ගේ ජීවිත රැුකගැනීමට පවා ආණ්ඩුව අසමත් වී ඇත.  රට පුරාම උසස් පෙළ සිසු සිසුවියන්ට ඉසෙඞ් ස්කෝර් ජරමරය නිසා තවමත් විභාග ප‍්‍රතිඵල නිකුත් වී නැත. හැමතැනම ප‍්‍රශ්නය. ආණ්ඩුව මැතිවරණ කැඳවා එම ප‍්‍රශ්න පිළිබඳ මහජන අප‍්‍රසාදය වෙනතකට හැරවීමට හා සැබෑ ප‍්‍රශ්න සමාජයට අමතක කරවීමට තැත් කරයි. සිය බලය, ධනය හා වරප‍්‍රසාද භාවිත කර කෙසේ හෝ මැතිවරණ ජයග‍්‍රහණය කර ජනතාව මුහුණ පා ඇති ප‍්‍රශ්න යටපත් කිරීමට හා ආණ්ඩුව අලූතෙන් තිරිහන් වීමට සැරසෙයි.

මේ අතර විපක්ෂයේ ඇති ප‍්‍රතිවිරෝධතා සිය බලය වෙනුවෙන් කළමනාකරණය කරගැනීමේ උවමනාවක් ද මේ මැතිවරණ ව්‍යාපෘතිය පිටුපස තිබෙන බව නිසැකය. දැනටමත් දිස්ත‍්‍රික්ක ගණනාවක රනිල්-සජිත් ගැටුම උණුසුම්කාරී ලෙස මතුවෙමින් තිබේ. සජිත් පිලේ ඇතැම් පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට මෙවර එජාපයෙන් නාම යෝජනා නොලැබෙන ලකුණු පෙනෙන්නට තිබෙන අතර එසේ වුවහොත් ඔවුන් වෙනම ස්වාධීන කණ්ඩායම් ලෙස තරග කිරීම පිළිබඳ කසු කුසු ඇසෙන්නට පටන්ගෙන තිබේ. ජවිපෙ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරුන් කිහිප දෙනකු ද ආණ්ඩුවට හා එජාපයට පිල් මාරු කළ බව වාර්තා වී තිබේ. මෙලෙස ආණ්ඩුව විපක්ෂයේ ප‍්‍රශ්න කළමනාකරණය කරන අතරම මැතිවරණය හරහා සිය අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතා කළමනාකරණය කිරීමට ද සැරසෙයි. උතුරුමැද බර්ටි පේ‍්‍රමලාල්ට එරෙහිව එස්.එම්. චන්ද්‍රසේනත් නැගෙනහිර සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහිව රවුෆ් හකීමුත් ඉදිරිපත් කෙරෙන්නේ ඊට අනුවය. මෙවර මැතිවරණය කැඳවන්නේම ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතියකට අනුව මිස ජනතාවගේ අවශ්‍යතාවක් නිසා නොවේ. ආණ්ඩුව මැතිවරණය අවසන් කිරීමට සැරසෙන්නේ ද සිය ජයග‍්‍රහණයකින් මිස ජනතා ජයග‍්‍රහණයකින් නොවන බව පැහැදිලිය.

මැතිවරණයේ දෙපැත්ත

ජනතාව මැතිවරණවලින් දෑස් නිලංකාර කරගත යුතු නැත. මේ මැතිවරණ සිය ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කෙරෙන, ජනතා නියෝජිතයන් තේරීපත්වන ව්‍යුහයක් යැයි සිතිය යුතු ද නැත. මේ මැතිවරණවලින් සැබෑ ජනතා අභිලාෂයන් නියෝජනය වන්නේ ද නැත. වත්මන් මැතිවරණ වනාහී ‘ක‍්‍රමය තිරිහන් කිරීම’ සඳහා යොදාගනු ලබන උපකරණයක් පමණි. මෙවර පළාත් සභා මැතිවරණය හෝ එවැනි අනෙකුත් මැතිවරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන ආකෘති යැයි අප මුළාවිය යුතු නැත. මේවා ගී‍්‍රසියේ පෞර රාජ්‍යයන්හි සියලූ පුරවැසියන් එක තැනකට එකතු වී, වාද විවාද කර, අත් ඔසවා ඡුන්දය භාවිත කළ මැතිවරණවල ආකාරයේ මැතිවරණ නොවේ. පාලකයන් හැමවිටම තහවුරු කිරීමට උත්සාහ දරන්නේ මේවා එවැනි මැතිවරණ බවය. නමුත් වත්මන් මැතිවරණවල ප‍්‍රතිඵලය තීරණය වන්නේ එක්කෝ බලය මතය. නැතිනම් ධනය මතය. මැතිවරණයක් වෙනුවෙන් පෝස්ටර් ගැසීමට, රැුස්වීම් පැවැත්වීමට, කැන්වසින් යාමට එක් අපේක්ෂකයකු කරන වියදම දකින විට පෙනී යන්නේ මේවා සීමා වී ඇත්තේ වරප‍්‍රසාදලත් පන්තියට පමණක් බවය. එම වියදම දරා මැතිවරණවලින් ජයගැනීමට නම් එක්කෝ ධනවතකු විය යුතුය. නැතිනම් හොරකු විය යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සායම් ආලේප කර තිබුණ ද මේ මැතිවරණවලින් ජයගැනීම පීඩිත පාන්තිකයකුට අසීරු කාරණයකි. එවැන්නෙක් කරළියට පැමිණිය ද ඔහුට හෝ ඇයට ව්‍යාපාරික ජාලයකට යටත් වීමට සිදුවේ. මැතිවරණ වනාහී පීඩිතයන්ගේ කර අඹන යාන්ත‍්‍රණයකි.

මේ අනුව බලන කල පවතින මැතිවරණ වනාහී වංචාවකි. එයින් අදහස් වනුයේ ජනතාවට මැතිවරණ අනවශ්‍ය බව හෝ ප‍්‍රගතිශීලීන් හා වාමාංශිකයන් මැතිවරණවලට ඉදිරිපත් නොවිය යුතු බව නොවේ. මැතිවරණ යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සමාන දෙයක් නොවන බව වටහාගෙන, සවිඥානිකව හා යථාර්ථවාදී ලෙස ඒවාට ප‍්‍රවේශ විය යුතුය.

ආණ්ඩුවට අවශ්‍ය සැබෑ ජනමතය

දැනගැනීමට නොවේ. ජනමතයක් අච්චුවකට අනුව වාත්තු කරගැනීමටය. එම අච්චුව පාලකයන්ගේය. මැතිවරණ කැඳවන්නේ ඒ වාත්තු කළ ජනමතයට අවශ්‍ය වන පරිදිය. මාධ්‍ය හසුරුවන්නේ ඒ වාත්තු කළ ජනමතයට අවශ්‍ය වන පරිදිය. රාජ්‍ය ආයතන හසුරුවන්නේ ඒ වාත්තු කළ ජනමතයට අවශ්‍ය වන පරිදිය. එබැවින් මේ මැතිවරණ නිර්මාණය වන්නේ ජනතාවට වග කියන නියෝජිතයකු වෙනුවෙන් නොව ජන හතුරකු ගොඩනැගීම වෙනුවෙනි. මැතිවරණයට සමාජය ප‍්‍රවේශ විය යුත්තේ මේ අවබෝධය සහිතවය.

දැන් පැවැත්වෙන මැතිවරණ පොදුවේ පාලක පන්තියේත් වත්මන් රෙජීමයේත් රාජපක්ෂ පවුලේත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේත් අතේ හැසිරෙන රූකඩ පමණි. ඔවුන්ගේ බල-දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් සමාජය හැඩගස්වන උපකරණයක් පමණි. මේවායේ ජයග‍්‍රහණ ලැබෙන්නේ පාලකයන්ටය. මේවා ජනතා ජයග‍්‍රහණයෙන් කෙළවර කරගැනීමට නම් මැතිවරණ පිළිබඳ ගැඹුරු සමාජ සවිඥානිකත්වයක් අවශ්‍ය වේ. එමෙන්ම මැතිවරණ සඳහා සක‍්‍රීය, විචාරශීලී ජනතා මැදිහත් වීමක් අවශ්‍ය වේ. ජනතාවට ජයග‍්‍රහණ හිමිකරගත හැක්කේ, සමාජයට ජයග‍්‍රහණ හිමිකරගත හැක්කේ එවැනි විකල්ප ජනතා ක‍්‍රියාකාරීත්වයකින් පමණි. හිමිදිරිය පැමිණෙන විට කුකුලන් හඬලනවාක් මෙන් අවිඥානිකව, පුරුද්දේ බලයට යටවී ආණ්ඩුව කැඳවන මැතිවරණයෙන් මැතිවරණයට ප‍්‍රතිචාර දක්වන දේශපාලන කි‍්‍රයාකාරීත්වය වෙනුවට විකල්ප දේශපාලන ක‍්‍රියාකාරීත්වයක් ගොඩනැගීම හරහා ඒ මාවතට ප‍්‍රවේශ විය හැකිය. 

 

විදර්ශි

 

This content has been locked. You can no longer post any comment.

පුවත්