Latest news
A+ R A-

යුරෝ ගිනි කන්ද පාමුල

E-mail Print PDF

 

altපුරා වසර තුනක් තිස්සේ වර්ධනය වෙමින් පවත්නා යුරෝපීය ආර්ථික අර්බුදය යුරෝපා සංගමයේ පැවැත්මට පවා තර්ජනයක්ව තිබේ. එහි සාමාජික රටවල් වන ග‍්‍රීසිය, ස්පාඤ්ඤය, අයර්ලන්තය, ඉතාලිය වැනි රටවල් දැඩි ආර්ථික පසුබැස්මකට ලක්ව ඇති අතර ජර්මනිය හා නෙදර්ලන්තය වැනි රටවල් ද පිරිමැසුම්දායක ආර්ථිකයට පසුබැස ඇත.

 යූරෝව තම මුදල් ඒකකය වශයෙන් තබාගෙන ඇති රටවල් 17ද ඇතුළුව රටවල් 27ක සාමාජිකත්වයක් ඇති යුරෝපා සංගමය, ඇ.එ. ජනපදයට වඩාත් චීනයට වඩාත් වැඩි ආර්ථික කලාපයකි.

මෙහිදී යූරෝ බිලියන 130ක (ඇ.ඩො. බිලියන 160ක්) ණය බරින් මිරිකී සිටින ගී‍්‍රසිය, ඉන් යාන්තමින් හෝ මුදවා ගැනීම ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් අතැතිව සිටි සයිරීසා වාමාංශික පක්ෂය, පසුගිය ජුනි 17දා පැවැති මැතිවරණයේදී ආරක්ෂිත ජයග‍්‍රහණය නොලබා එහි ‘නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට වඩා 2.9%ක ඡුන්ද ප‍්‍රතිශතයක් අඩුවෙන් ලබා පරාජයට පත්විය. මැතිවරණ තිබියදීම ග‍්‍රීසිය නොනැවතී ආර්ථික අර්බුදයේ ගිලී යමින් පවතී. ඊට හේතුව ඉතාමත් පැහැදිලිය. ධනේශ්වර දේශපාලන පක්ෂයක් නායකත්වය දරන ආණ්ඩුවකට මේ සඳහා ඇත්තේ පැලැස්තර විසඳුම් පමණි. ස්ථිර විසඳුම් ඇත්තේම නැත.

එහෙත් එක් දේශපාලන විශ්ලේෂකයකුගේ මතය වූයේ ග‍්‍රීසියේ මැතිවරණ ප‍්‍රතිඵල කෙසේ වෙතත් යූරෝ කලාපයෙන් ඉවත්වීමට තවමත් ග‍්‍රීසියට අවස්ථා තිබෙන බවයි.

කෙසේ හෝ ඉතාලිය හා ස්පාඤ්ඤය බලාපොරොත්තු වූයේ ද ග‍්‍රීසියේ මැතිවරණ ප‍්‍ර‍්‍රතිඵලවලට අනුව තම ණය බර ද කිසියම් ආකාරයේ මඳ සැහැල්ලූ තත්වයකට පත්වේවි යන්නය. එහෙත් ඉන් අස්වැසිල්ලක් නොලද ස්පාඤ්ඤය පසුගියදා යූරෝ බිලියන 100ක ණයක් යුරෝපා සංගමයෙන් ලබාගන්නා ලදී. එහෙත් ඇත්ත වශයෙන්ම එහි සිදුව ඇත්තේ ජනතාවගේ ජීවන බර තව තවත් වැඩි වීම හා ඔවුන්ට පටි තද කරගැනීමට සිදුවීමත්ය.

ඉතාලිය ද මේ වන විට ස්පාඤ්ඤය එසේ ලබාගත් ණය හේතුවෙන් බියට පත්ව සිටී. තම ආර්ථිකය ද රටට අවශ්‍ය තරම් මුදල් උපයා දෙන්නක් නොවන බැවින් ඔවුන්ට සිදුවනුයේ ද ඉතාම ඉහළ පොලී අනුපාතයක් යටතේ ණය ලබාගැනීමටය.

ඒ අතර ණයගැති යුරෝපා රටවල් සමග ගනුදෙනු කිරීමට ජර්මනිය කැමැත්ත පළ කර ඇති අතර එය එම රටවල් ලබන විශේෂ සහනයක් ලෙසද සැලකේ. ඇත්තෙන්ම එහිදී සැලකිය යුතු කරුණක් වනුයේ ජර්මනිය, යුරෝපයේ ශක්තිමත්ම ආර්ථිකය හිමි රට වීමත් ලෝකයෙන්මත් එය හතර වැනි ප‍්‍රබල ආර්ථිකය හිමි රට වීමත්ය. තනි මුදල් ඒකකයක් ලෙස යූරෝව අනතුරුවලින් ආරක්ෂා කිරීමත් වෙළෙඳපොළට හා ගෝලීය ආර්ථිකයට තර්ජනයක් ලෙසින් මතුවන ණය අර්බුදය නවතාලීමත් ජර්මනියේ නායකත්වය විසින් ඉටුකිරීමේ උත්සාහයක නිරතවනු පෙනේ. ඒ අනුව බොහෝදෙනාගේ මතය වී ඇත්තේ යුරෝපා සංගමයේ නායකත්වය සැබැවින්ම ජර්මනියේ චාන්සලර් අන්ජෙලා ම(ර්)කල් විසින් උසුලමින් සිටින බවයි. අනිත් අතට තව බොහෝදෙනාගේ මතය වී ඇත්තේ ඇය, ග‍්‍රීසිය, අයර්ලන්තය වැනි රටවල් මත පිරිමැසුම්දායක පටි තදකරගැනීමේ ආර්ථිකයක් බලහත්කාරයෙන් පටවමින් සිටින තරමට බොහෝ දුර ගොස් ඇති බවය.

රට සහ රටේ ජනයා ඇපයට තබා මිලියන සිය ගණනින් ලබාගන්නා ණය ක‍්‍රමයට එරෙහි වූ වාමවාදී සයිරීසා පක්ෂය ග‍්‍රීසියේ මැතිවරණයේදී ඉහළ ජයග‍්‍රහණයක් අපේක්ෂා කළත් එය

ලබාගැනීමට ඔවුන් අසමත් විය. එහෙයින් ජයග‍්‍රාහී ‘නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය’ ග‍්‍රීසියේ සිව්වැනි ආණ්ඩුව තව ටික කලෙකින් ස්ථාපනය කරනු ඇත. එහෙත් ඔවුනට ඉතිරිව තිබෙනුයේ ද පෙර තිබූ ආණ්ඩු මෙන් තව තවත් ණය ලබාගෙන ජනතාවගේ වැටුප් කප්පාදු කිරීම, රස්සාවලින් දොට්ට දැමීම, බඩු මිල වැඩි කිරීම, බදු බර වැඩි කිරීම වැනි දේ ලහි ලහියේ සිදුකර ජනතාව හා රට ජර්මනිය ප‍්‍රමුඛ යුරෝපා සංගමයේ ඇපකරයට යටත් කිරීමය.

එමෙන්ම යූරෝවේ අගය අඩුකිරීමට ද ග‍්‍රීසියේ කතා බහක් ඇතිවෙමින් තිබේ. එහෙත් ආර්ථික විශේෂඥයන්ගේ මතය වී ඇත්තේ එසේ යූරෝව අවප‍්‍රමාණය කරනු ලැබුවහොත් එසේ කරනු ලබන පළමු වසරේදීම ග‍්‍රීසියේ ආර්ථිකය 50%කින් පහත වැටීම නියත බවයි.

2000වසර මුලදීම ස්පාඤ්ඤයේ ආර්ථිකය ප‍්‍රබල එකක්ව පැවැතිණ. එහෙත් එම වකවානුවේදීම ඇරඹි අසාර්ථක නිවාස ව්‍යාපෘතියක් 2007වසරේ දී කඩාවැටීමත් සමග එම ආර්ථිකය ද බිහිසුණු ලෙස පහත වැටුණි. එම නිවාස ව්‍යාපෘතිය සඳහා දෙනු ලැබූ උකස් ණය විශාල වශයෙන් බොල් ණය වී පියවාගත නොහැකි මට්ටමට පත් වූ විට රටේ මුළු බැංකු පද්ධතියම අකර්මණ්‍ය විය. පසුගිය මැයි මාසයේදී එරට හතරවැනි විශාල බැංකුව වන ‘බැන්කියා’ ඇ.ඩො. බිලියන 23.5ක ආධාර මුදලක් අවශ්‍ය බව නිවේදනය කරන ලදින් එරට රජය විසින් එය ජනසතු කරන ලදී.

මේ අයුරින් ස්පාඤ්ඤ ආර්ථිකය ඉතාමත් දරුණු ලෙස බිඳවැටී ඇත. එය ලබාගන්නා ණය ප‍්‍රමාණය ඉහළ ගොස් ඇත. රැුකියා වියුක්තිය 25%දක්වා ඉහළ නැඟ ඇත.

මෑත වාර්තා පවසනුයේ, ‘යුරෝපීය ස්ථාවර මූල්‍ය අරමුදලින්’ ණය ලබාගෙන, බංකොලොත් වී ඇති බැංකුවල යළි ආයෝජනය කර ඒවා සක‍්‍රීය කරන ලෙස, ස්පාඤ්ඤය මත ජර්මනිය දැඩි ලෙස බලපෑම් කරමින් සිටින බවයි.

වසර 2008දී දැඩි ආර්ථික පසුබෑමකට ලක්වූ ප‍්‍රථම යුරෝපීය රට වූයේ අයර්ලන්තයයි. එයද ස්පාඤ්ඤය මෙන්ම අසාර්ථක නිවාස ව්‍යාපෘති විසින් එම තත්වයට පත්කරනු ලැබ තිබිණ. එවිට එරට ආණ්ඩුවට සිදුවූයේ සියරට බැංකුවලට මෙන්ම තම රටේ ආයෝජනය කර තිබූ විදේශීය බැංකුවලට පවා අරමුදල් සැපයීමටයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස යුරෝපා සංගමයෙන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇ. ඩොලර් බිලියන 113ක ණයක් ලබාගැනීමට සිදුවිය. කෙසේ වෙතත් මෙම ණය ගැනීමේ අවසන් ප‍්‍රතිඵලය වූයේ අයර්ලන්ත ජනතාවගේ සමාජ සුබසාධනය කප්පාදු කිරීම, බදු වැඩි කිරීම, වැටුප් කැපීම වැනි සුපුරුදු දේ මගින් ජනතාව පිරිමැසුම්දායක ආර්ථිකයක් වෙත කැන්දාගෙන යාමය. අයර්ලන්තයේ රැුකියා වියුක්තිය 14.3%දක්වා ඉහළ නැඟ ඇත.

යුරෝපයේ ආර්ථික ආසාදනයේ ඊළඟ ප‍්‍රහාරය ලබන ගොදුර වනුයේ ඉතාලියයි. අසාර්ථක නිවාස ව්‍යාපෘති මගින් හෝ බංකොලොත් බැංකු පද්ධති මගින් හෝ වෙනත් රටවල සිදුවූ ආර්ථික අර්බුදයන්ට වඩා වැඩි ප‍්‍රබල ආකාරයේ ආර්ථික පසුබෑමකින් ඉතාලිය වෙළාගෙන ඇත. එම අර්බුදය විසින් එරට ආර්ථිකය එක තැන පල්වෙන අවස්ථාවකට රැුගෙනවිත් ඇත.

ඉතාලියේ තිබෙනුයේ යුරෝපා සංගමයේ තෙවැනි ප‍්‍රබල ආර්ථිකයයි. එහෙත් එහි දේශීය දළ නිෂ්පාදිතය 2000සිටම ඉතාමත් ශීඝ‍්‍රයෙන් පහත වැටී ඇත. 2008දී සිදුවූ ගෝලීය ආර්ථික පසුබැස්මේදී ඉතාලි ආර්ථිකය බිංදුව දක්වා පතුලටම ගිලී ගියේය. 2012අප‍්‍රියෙල් වන විට ඉතාලියේ රැකියා වියුක්තිය 10.2%ක් වැනි ඉහළ මට්ටමක පැවැතිණ.

ඉතාලි අගමැති මාරියෝ මොන්ටි, සමාජ විෂමතා අවම කිරීම, අය-වැය සමතුලනය කිරීම හා සංවර්ධනය ඉහළ දැමීම වැනි ප‍්‍රතිසංස්කරණවලින් සමන්විත නව ආර්ථික ප‍්‍රතිපත්ති සමූහයක් පිළිබඳ ජනතාවට පොරොන්දු දෙමින් සිටී. බදු ගෙවීමේ අක‍්‍රමිකතා නවතා දැමීම, විශ‍්‍රාම වැටුප් සංශෝධනය හා සංවිධිත අපරාධ මර්දනය සඳහා දැඩි ක‍්‍රියාමාර්ග ගැනීම යන කරුණු ඔහුගේ අවධානයට ලක්විය. එහෙත් සැකයක් මතුවනුයේ එබඳු දෙයින් පමණක් ශක්තිමත් ආර්ථිකයක් තැනිය හැකිද යන්නය.

ස්පාඤ්ඤය, අයර්ලන්තය මෙන්ම පෘතුගාලය ද අධික ණය බරින් මිරිකී ඇති අතර ඉතාලියේ මෙන් ආර්ථිකය ද හැකිළෙමින් පවතී. 2012වන විට එරට ආර්ථිකය 3.3%කින් සංකෝචනය වී ඇත. පෘතුගාලයේ රැකියා වියුක්තියේ ශීඝ‍්‍රතාව 13%කි.

2011අප‍්‍රියෙල්වලදී පෘතුගාලය ද ඇ. ඩොලර් බිලියන 115ක ණයක් යුරෝපා සංගමයෙන් ලබාගත් අතර එහි බර ද වෙනත්  ඕනෑම ධනේශ්වර ආණ්ඩු පවතින රටක මෙන්ම ජනතාව මත පටවනු ලැබ ඇත්තේ රටවැසියන් භුක්තිවිඳින සියලූ සහන කපා දමමිනි.

ප‍්‍රංශය, මහා බි‍්‍රතාන්‍ය වැනි රටවල ද අඩු වැඩි වශයෙන් ආර්ථික අර්බුදය ජනතාව මත පටවමින් තිබේ. මහා බි‍්‍රතාන්‍යයේ පමණක් මිලියන තුනක පමණ වැඩකරන ජනතාවට රැකියා අහිමිවන තත්වයක් මේ වසරේ ගෙවී ගිය කාලය තුළ උද්ගත විය.

යුරෝපය පුරා සිදුවන මෙම ආර්ථික අවපාතයේ අනිවාර්ය බලපෑම් දැන් දැන් එක්සත් ජනපදයට මෙන්ම චීනයට ද දැනෙමින් තිබේ. යුරෝපයේ ඉහළ මට්ටමක පවතින රැකියා වියුක්ති අනුපාතිකය, පාරිභෝගික භාණ්ඩ වෙනුවෙන් වියදම් කිරීමට යුරෝපීය ජනයාගේ ඇති අඩු ශක්‍යතාව වැනි සාධක ඊට හේතුවේ. මෙයින් යුරෝපයේ වෙළෙඳපොළ වෙනුවෙන් භාණ්ඩ නිපැයුමේ යෙදෙන අමෙරිකන් හා චීන සමාගම්වලට බෙහෙවින් බලපෑම් කරනු ලබයි. එක්සත් ජනපදයේ අපනයනයන්ගෙන් 13%ක් ළඟාවනුයේ යුරෝපා වෙළෙඳපොළවලටය. එහෙයින් යුරෝපයේ ආර්ථික පසුබැස්මට සාපේක්ෂව එක්සත් ජනපදයේ ආර්ථිකය ද කිසියම් කඩාවැටීමක් සලකුණු කරනු ඇත.   

 

This content has been locked. You can no longer post any comment.

පුවත්

Advertisment

advertisment