Latest news
A+ R A-

කටවහගෙන හිටපං බුලට් එකකට යන්නේ රුපියල් විසිහතරයි

E-mail Print PDF

altපසුගිය ජුනි මස 12වැනි දින දහවල් 2.30ට පමණ පිටකොටුව බස් නැවතුම ආසන්න ප‍්‍රදේශයේදී තිරෝද රියකින් පැමිණි පිරිසක් පුද්ගලයකු පැහැරගෙන ගොස් ඇති බව මාධ්‍ය කිහිපයක වාර්තා වී තිබිණි. එහෙත් ‘ජනරළ’ අපි එම සිද්ධිය පරිපූර්ණ ලෙස සොයා බලා කෞතුකාගාර අසිපත් කොල්ලයට පැමිණි වාහන සම්බන්ධව සාක්ෂි ලබාදුන් පුද්ගලයා ආණ්ඩුවේ කුලී හේවායන් විසින් පැහැරගත් බව හෙළිදරව් කළෙමු.

අධි ආරක්ෂිත කලාපයක විශේෂ ආරක්ෂාව යටතේ පවතින ජාතික කෞතුකාගාරය තුළ තිබූ අසිපත් සොරා ගත්තේ බීඩි බොන ‘ගමේ පන්නයේ’ සොරකු බව ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය සියල්ල භාවිත කරමින් කීවේය. එහෙත් එය ආණ්ඩුවේ ඉහළම ප‍්‍රබලයකුගේ වුවමනාව මත සිදු වූවක් බව සමාජයට රහසක් නොවීය. අවශ්‍යව තිබුණේ සාක්ෂි පමණි. ජෝන් ද සිල්වා රඟහලේ ආරක්ෂක නිලධාරී ස්ටැන්ලි ලියනගේ කෞතුකාගාර සොරකමට රාජ්‍ය ආයතන කිහිපයක රථවාහන පැමිණි බව තමන් දුටු බවට ශ‍්‍රී ලංකා පොලිසියට තොරතුරක් ලෙස රහසිගතව ලබාදුන්නේය.  කෞතුකාගාරයේ අසිපත් සොරාගත් සොරුන් අල්ලා ගැනීමට තරම් ‘ධෛර්යයක්’ පොලිසියට තිබුණේ නැත. සිදුවූයේ චෞරයාගේ නියෝග මත ඔත්තුව ලබාදුන් ස්ටැන්ලි ලියනගේ පැහැරගෙන යාමයි.

‘‘මම වැඩට යන්න දවල් දෙක හමාරට විතර කොටුවට වෙලා බස් එකක් එනකන් බලාගෙන හිටියා. එක පාරටම ත‍්‍රී වීලර් එකකින් තුන්දෙනෙක් ඇවිත් මට ඒකට නගින්න කිව්වා. මම අ`දුනන්නේ නැති හින්දා බෑ කිව්වා. පස්සේ ඒ අය කිව්වා එයාලා කොටුව පොලිසියේ. කටඋත්තරයක් ගන්න තියෙනවා කියලා.’’

රජකඩු සොරකම පිළිබඳ ඔත්තුව ලබාදුන් ස්ටැන්ලි ලියනගේ කොටුවේ සිට සුගතදාස ක‍්‍රීඩාංගණය පිටුපසට ගෙන ගියේය. පොලිස් නිල ඇඳුමක් නොමැතිව පොලිස් රාජකාරි කරන මැරවරයන් සුදු වෑන් රියක් ගෙන්වා ස්ටැන්ලිගේ ඇස් බැඳ එයට තල්ලූකර පැය ගණනක් තිස්සේ රවුම් ගසා තවත් කිසියම් තැනකට ගෙන යන ලදී. දෑස් බැඳ තිබූ හෙයින් අඳුරේ බියෙන් සසල වෙමින් සිටි ස්ටැන්ලිට ආණ්ඩුවේ නිල මැරයන් පහර පිට පහර දෙන්නට විය. පහරදීම් අතරතුර විඩාවට පත් මැරවරයන් තම විඩාව නිවා ගත්තේ ද ස්ටැන්ලි දුන් ඔත්තුව ඉල්ලා අස්කර ගන්නා ලෙස බල කරමිනි. පහරදීම් ඉදිරියේ තමන් දෑසින් දුටු සත්‍යය, අසත්‍යය කිරීමට තරම් පුද්ගලයකු නොවූ ස්ටැන්ලි එකම වචනයේ ස්ථිරව සිටියේය. කුලී හේවායෝ දණ්ඩෙන් පහර කෑ සර්පයන් සේ කිපුණහ. ස්ටැන්ලි අල්ලා පාදයේ මාපට ඇඟිලිවලින් එල්ලා පහර පිට පහර දුන්හ. එහෙත් ඔවුන්ට අවශ්‍ය දේ කර ගැනීමට නොහැකි විය. දින විස්සක් තිස්සේ දස වධ දෙමින් වචනයක් ගැනීමට උත්සාහ කළ ද ස්ටැන්ලි තමන් දුටු සත්‍යය එලෙසම ආරක්ෂා කරගැනීමට කැප විය. ආණ්ඩුවට අකීකරු මාධ්‍ය සහ සංවිධාන කිහිපයක් පමණක් ස්ටැන්ලිගේ අතුරුදන් වීමට එරෙහිව එක දිගට හඬ න`ගද්දී පසුගිය සතියේ දිනක ගඩලාදෙණිය ආසන්නයේ පාළු ස්ථානයකට අලූයම එකට පමණ ස්ටැන්ලිව ගෙනැවිත් දමා යාමට මැරවරයෝ කටයුතු කළහ.

‘‘අතෑරලා කිව්වා ඇස් ලෙහා ගනින් කියලා. මීඩියාවලට කියලා දගලන්න එපා, අපට වියදම් කරන්න වෙන්නෙ රුපියල් විසිහතරක් විතරයි කිව්වා. මම හැංගිලා පැය තුන හතරක් කැලේට වෙලා හිටියා ආපහු අරන් යයි කියලා බයට.’’

අලූයම පහ පමණ වන විට හඳුනන තිරෝද රථයකින් තම නිවසට පැමිණි ස්ටැන්ලිට කෙළින්ම මහනුවර මහ රෝහලේ ප‍්‍රතිකාර ගැනීමට සිදුවිය. මේ වන විට ස්ටැන්ලිගේ පාද දෙකම අප‍්‍රාණිකව ශරීරය දැඩි ඔත්පළ තත්වයකට පත්ව ඇත.

‘‘ඔවුන් මාව අල්ලගත්ත ගමන් කිව්වේ ‘උඹ ඒක පිළිගනින්, කඩුව ගත්තේ උඹ කියලා කියපන්. උඹේ පරම්පරා හතක් ලොක්කා ගොඩ දානව ෂුවර්’ කියලා.

ඒත් මම බෑ කිව්වා.’’

දැන් ස්ටැන්ලි ලෙඩ ඇඳේය. තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද ලෙඩ ඇඳේය.  ‘‘කොටුව පොලිසිය ඉස්පිරිතාලෙට ඇවිත් කටඋත්තරයක් ගත්තා. මම කිව්වා සී.අයි.ඞී. එකේ ගුණසේකර කියන කෙනා තමයි දිගටම මාව ප‍්‍රශ්න කළේ, මට මොනවහරි වුණොත් එයා තමයි වගකියන්න  ඕන කියලා.’’

මහජන මිත‍්‍රශීලී සාධාරණ යුක්තිසහගත සේවයක් උදෙසා යැයි පූචානම් කියමින් මහජන මුදලින් නඩත්තු වන පොලිසිය, රාජ චෞරයන්ගේ හිතසුව පිණිස ජනයා පැහැර ගැනීම යුක්තිසහගතද? පොලිසිය මෙම අපරාධවලට සම්බන්ධ නැත්නම් පොලිස් වේශයෙන් පැමිණ අහිංසක මිනිසුන් පැහැර ගන්නේ කවුරුන්ද? පැහැර ගැනීම් කළ මැරයන් සඳහන් කළ ලොක්කා මෙම කල්ලියේ නායකයා විය යුතුය. නැතිනම් ඔවුන් ලොක්කා වෙනුවෙන් සේවය කරන්නේ කුමකටද? මීට පෙර පළාත් සභා මන්ත‍්‍රීවරයෙක් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගිය අවස්ථාවේදී දිවි ගලවා ගත්තේ ලොක්කාගේ නම කියාය.

කෞතුකාගාරයේ රජකඩු සොරකම ගැන පරීක්ෂණ කිරීමට පොලිසිය පස්ස ගසන්නේ ද කොහේ හෝ තැනකට ලොක්කා සම්බන්ධ නිසා බව දැන් පැහැදිලිය. හෙට දවසේ ස්ටැන්ලිගේ ජීවිතයට හානියක් සිදු වුවහොත් පොලිසියත් ඔවුන්ට අණදෙන ආරක්ෂක ප‍්‍රධානියාත් ඊට වගකිව යුතුය.

 

සිතිජ ලක්ෂාන්ත් 

 

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 31 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 31 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කදුකරයේ විටින් විට... Read more

Advertisment

advertisment