A+ R A-

මේ සිදුවීම් ජාතික සමගිය අගයන කිසිවකු අනුමත කරන්නේ නැහැ - උදුල් ප්‍රේමරත්න

E-mail Print PDF

 

altවව්නියාව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විසින් බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු සිය ග‍්‍රහණයෙන් තබා ගනිමින් දියත් කළ විරෝධතාව පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් අවසන් විය. ඉන් පසුව සිදු වූ ක‍්‍රියාදාමය කෙළවර වූයේ නිමල රූබන් නමැති දේශපාලන රැඳවියාගේ මරණයෙනි. මෙම සිදුවීම ඇසුරෙන් ලංකාවේ දේශපාලන සිරකරුවන්ගේ තත්වය පිළිබඳව මානව හිමිකම් සඳහා ක‍්‍රියාකාරිකයෝ සංවිධානයේ උදුල් පේ‍්‍රමරත්න මහතා සමග සාකච්ඡා කිරීමට අප තීරණය කළෙමු. පහත පළ වන්නේ එම සාකච්ඡාවයි.

 

ලංකාවිව්ස් - වව්නියාව බන්ධනාගාරයේ ඇති වූ සිදුවීම නිමල රූබන්ගේ මරණය දක්වා දුර දිග ගියා. අපි එතැනින් අපේ සාකච්ඡාව ආරම්භ කරන්න මම කැමතියි...

උදුල් -මේ සිදුවීම ආණ්ඩුවේ හා ආණ්ඩු හිතවාදී පුවත්පත් වාර්තා  කර තිබුණේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව සිදු කළ තවත් යුද්ධයක් විදියට. ඒ හරහා ආණ්ඩුව සිංහල ජාතිවාදය පෝෂණය කරන්න උත්සාහ කළා. ව්‍යුක්තව ගත්තොත් වව්නියා බන්ධනාගාරයේ නිලධාරීන් තිදෙනකු ප‍්‍රාණ ඇපයට ගනිමින් රැඳවියන්ගේ හැසිරීම අපි අනුමත කරන්නේ නැහැ. නමුත් ඔවුන් නොසන්සුන්කාරී ලෙස හැසිරෙන්න බලපෑ හේතු වසර ගණනාවක් ඈතට දිව යනවා. ඒ නිසා මේක සරල සිද්ධියකට දෙකකට ලඝු කරන්න බැහැ.

ලංකාවිව්ස් - නිමල රූබන්ගේ මරණය ස්වාභාවිකව සිදු වූ එකක් කියා ආණ්ඩුව කියා තිබුණා...

උදුල් -ඔව්! ඒ වගේම පසුව කියා තිබුණා, බන්ධනාගාර රැඳවියන් මුදා ගන්න කළ මෙහෙයුමේදී සිදු වූ පහර කෑම්වලින් මිය ගියා කියලා. ආණ්ඩුව මේ ආකාරයේ එකිනෙකට පරස්පර ප‍්‍රකාශ කරමින් සිටිනවා. ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද? වව්නියාව බන්ධනාගාරයේ සිද්ධියෙන් පස්සේ රැඳවියන්ට දඬුවමක් ලෙස පහර දෙන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් තීරණය කළා. ඒ සඳහා බන්ධනාගාර පොලිසියේ නිලධාරීන් තිදෙනකු ඇතුළු 28දෙනකුගේ කණ්ඩායමක් කොළඹ ඉඳලා වව්නියාවට යැව්වා. ඔවුන් රැඳවියන්ට මාංචු දාලා දණ ගස්සලා පහර දුන්නා. එතැනදී රැඳවියන් විශාල පිරිසක් තුවාල ලැබුවා.

පසුව ඔවුන් අනුරාධපුර, මහර හා බෝගම්බර බන්ධනාගාරවලට මාරු කළා. මහර බන්ධනාගාරයට ගෙනා නිමල රූබන් ඇතුළු හය දෙනෙක්ගේ තත්වය අසාධ්‍ය නිසා ඔවුන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කළා. පසුගිය 3වැනිදා උදේ 11.00ට නිමල රූබන් පරීක්ෂා කළ බන්ධනාගාරයේ වෛද්‍යවරයා ඔහුගේ තත්වය ඉතාම අසාධ්‍ය නිසා වහාම රාගම රෝහලට ඇතුළත් කරන ලෙස ඇඳ ඉහපත් වාර්තාවේ සටහන් කර තිබෙනවා. නමුත් එය කළේ නැහැ. ඒ විතරක් නොවෙයි. නැවත ඔහුව කිසිදු වෛද්‍යවරයකු පරීක්ෂා කළේවත් නැහැ. මුළු රාත‍්‍රිය පුරාම ඔහු මිය යන තුරුම බන්ධනාගාරයේ යකඩ ඇඳක් මත තනි කර දමා තිබුණා. පසුවදා උදේ 6.15ට රාගම රෝහලට රැගෙන ආවේ මිය ගිය නිමල රූබන්ගේ මෘත ශරීරය.

මේ විදියට දෙමළ දේශපාලන සිරකරුවෙක් වුණු නිමල රූබන්ට ආණ්ඩුව අත්අඩංගුවේ සිටියදී පහර දී තුවාල සිදු කළා. ප‍්‍රතිකාර නොදී මරා දැම්මා. ඒ විතරක් නොවෙයි, මරණයට හේතුව ඉදිරිපත් නොකර අර්ධ මරණ පරීක්ෂණයක් පවත්වා අසාධාරණයක් කළා. මරණ පරීක්ෂණය අවසන් කර දැනට දින කිහිපයක් ගත වුණත් තවමත් මරණයට හේතුවක් දක්වා නැහැ.

ඒ විතරක්ද? ඔහුගේ දෙමාපියන්ට, මරා දමන ලද තම දරුවාගේ අවසන් කටයුතු තමන් කැමති පරිදි කරන්න තියෙන අයිතිය උදුරා ගත්තා. ඔවුන් හින්දු භක්තිකයින්, ඥාතීන් ඉන්නේ වව්නියාවේ. නමුත් ඔහුගේ දේහය ඇල්දෙනිය පොදු සුසාන භූමියේ මිහිදන් කරන ලෙස පොලිසිය නියෝගයක් ලබා ගත්තා. ඒ විතරක් නොවෙයි, ඔහුගේ දෙමාපියන්ට තමන්ගේ දුක කියන්න නොදී, නීතිඥයින් හමු වෙන්න ඉඩ නොදී පොලිස්භාරයේ තබා ගත්තා. ඒ නිසා මේක ඉතාම බරපතළ තත්වයක්.

විශාල ජාතිවාදයක් ක‍්‍රියාක්මක වෙන වෙලාවක දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන මේ කෲර ප‍්‍රතිපත්තිය උතුරේ දෙමළ වැසියන් කෙසේ තේරුම් ගනීවිද?

ලංකාවිව්ස් - ආණ්ඩුව පිළිගන්නේ නැහැ, දේශපාලන සිරකරුවන් සිටිනවා කියලා...

උදුල් -ආණ්ඩුව මොනවා කිව්වත් වර්ග තුනක දේශපාලන සිරකරුවන් සිටින බව අප හඳුනා ගෙන තිබෙනවා. එක කොටසක් තමයි, කිසිම චෝදනාවක් නැතිව වසර හය, හත, අට තරම් දිගු කාලයක් පවා බන්ධනාගාර ගතව සිටින පිරිස. මීට මාස තුනකට පෙර අනුරාධපුර බන්ධනාගාරයේ සිටි 55දෙනකුගෙන් 39දෙනකුටම කිසිදු චෝදනාවක් තිබුණේ නැහැ.

දෙවැනි කණ්ඩායම තමයි, චෝදනා එල්ල කර තිබුණත් නඩු විභාගවල ප‍්‍රගතියක් නැති නිසා දිගු කලක් බන්ධනාගාර ගතව සිටින පිරිස. නීතිපති උපදෙස් එන තුරු කියමින්, රස පරීක්ෂක වාර්තා එනතුරු කියමින් ඔවුන් තබාගෙන  සිටිනවා. උදාහරණයක් විදියට වැලිකඩ කාන්තා වාට්ටුවේ රඳවා සිටින තිරුමගල් ඇතුළු පස් දෙනාගේ නඩුවට දැන් අවුරුදු 16ක් වෙනවා. ඔවුන් 429වාරයක් උසාවි ගිහින් තිබෙනවා. නමුත් තවමත් ඔවුන් සැකකාරියන් විතරයි. එවැනි බොහෝ දෙනෙක් ඔවුන්ට දිය හැකි සිර දඬුවම් කාලයට වඩා වැඩි කාලයක්  සැකකරුවන් ලෙස රක්ෂිත බන්ධනාගාර ගතව සිට තිබෙනවා. මේ කණ්ඩායම් දෙකට පවත්නා නීතිය හමුවේ පවා අසාධාරණයක් සිදුව තිබෙන බව පැහැදිලියි.

ලංකාවිව්ස් -තුන්වැනි කණ්ඩායම...?

උදුල් -ඔව්! තුන්වැනි කණ්ඩායම, චෝදනාවලට වරදකරුවන් වී සිර දඬුවම් විඳින පිරිස. ලංකාවේ ජාතික ගැටලූව කිසියම් පුද්ගලයකුගේ හෝ පුද්ගලයින් පිරිසකගේ වරදක් නොවෙයි. ජාතික ගැටලූව විසින් නිර්මාණය කළ යුද්ධයත් එහෙමයි. නමුත් අද සිදුව තිබෙන්නේ  මුළුමහත් සමාජයක් විසින් වගකිව යුතු ප‍්‍රශ්නයකට පිරිසක් වරදකරුවන් වීම. සමාජයක් වගකිව යුතු දේශපාලන වරදකට ඔවුන් චූදිතයින් වීම හා දඬුවම් විඳීම.

ලංකාවිව්ස් - දේශපාලන සිරකරුවන් මුහුණ දෙන අත්දැකීම් ගැන ඔබේ අදහස මොකක්ද?

උදුල් -දේශපාලන සිරකරුවන්ට ලෝකය පුරාම පිළිගත් අයිතිවාසිකම් තිබෙනවා. අනෙක් සිරකරුවන්ගෙන් වෙන් කොට තැබීම ඒ අතරින් ප‍්‍රධානයි. නමුත් ලංකාවේ එය ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ.

ඔබට මතක ඇති 2010ඔක්තෝබර් මාසයේ මැගසින් බන්ධනාගාරයේ සිට අධිකරණයට ගෙන ගිය දේශපාලන සිරකරුවන් අට දෙනකුට අනෙක් සිරකරුවන් බරපතළ ලෙස පහර දුන්නා. ඒ වගේම කළුතර බන්ධනාගාරයේ අනෙක් සිරකරුවන්ගේ පහරදිමෙන් එක් අයෙක් මිය ගියා.

ඒ විතරක් නොවෙයි, මෙහි තිබෙන තවත් බරපතළ අසාධාරණයක් තමයි, ලංකාවේ නීති ආධාර කොමිෂන් සභාව එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ට නීති ආධාර දෙන්නේ නැහැ. සැකකරුවකු වරදකරුවකු වන තුරු නිවැරදිකරුවෙක්ය කියන කොන්දේසිය එතැනදී උල්ලංඝනය වෙනවා.

ඒ වගේම බන්ධනාගාර තුළදීත් ඔවුන්ට ලැබෙන්නේ ඉතාම පහළ තත්වයේ සැලකීමක්. සනීපාරක්ෂක පහසුකම්, ආහාර, වතුර, වැසිකිලි ආදී සීමිත පොදු පහසුකම් පවා ඔවුන්ට ලැබෙන්නේ අනෙක් අයගෙන් පසුව ඉතිරි වුණොත් පමණයි. මේ පීඩාව දිගු කාලීන එකක්. ඇතැම් විට අවුරුදු 10-15මේ පීඩාව එකම ආකාරයෙන් ක‍්‍රියාත්මක වෙනවා. වව්නියා සිද්ධියෙන් ප‍්‍රකාශ වුණෙත් ඒ පීඩාව කියලයි අපි කියන්නේ.

ලංකාවිව්ස් - අවසාන වශයෙන් මොකක්ද ඔබ කරන යෝජනාව...

උදුල් -1983කළු ජූලිය සිදු වෙලා දැනට අවුරුදු 29ක් ගත වී තිබෙනවා. එදා තිබුණු දේශපාලන තත්වය නැවත ඇතිවීම ජාතික සමගිය අගයන කිසිවකුට අනුමත කරන්න හෝ ඒ හමුවේ නිහඬව ඉන්න පුළුවන් තත්වයක් නොවෙයි.

වත්මන් මහින්ද රාජපක්ෂ පාලනය තුළ කළු ජූලිය අවස්ථාවේ තිබුණාට වඩා වැඩි ජාතිවාදී ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක වෙමින් තිබෙනවා. පෙරට වඩා වැඩි පීඩාවක් දෙමළ තරුණයින්ට එල්ල වෙමින් තිබෙනවා. ඒ නිසා පෙරට වඩා වැඩි භයානක ප‍්‍රතිඵල අත්විඳීමේ අවදානමක් අප හමුවේ තිබෙනවා.

ඒ නිසා ජාතික සමගිය අගයන, සියලූ ජාතීන්ගේ සමානාත්මතාවය අගයන සියලූම දෙනාගේ වගකීම වෙන්නේ මේ ජාතිකත්ව පීඩනයට හා අසාධාරණයට එරෙහිව සටන් කිරීමයි. ඒ වෙනුවෙන් සිංහල හා දෙමළ ජනතාව ඒකාබද්ධ අරගලයක් කළ යුතු යැයි අප විශ්වාස කරනවා.

ඒ වගේම, මෙවන් අවස්ථාවන්වලදී මතු වන සිංහල ජාතිවාදය සේම දෙමළ ජාතිවාදයත් අප ප‍්‍රතික්ෂේප කළ යුතු වෙනවා. ඉතිහාසයේ අප ලද අත්දැකීම් පිළිබඳ සලකා බැලූවොත් අපට පැහැදිලිව දකින්න පුළුවන්, මේ ජාතිවාදී කොටස් විසින් සිදු කරන ලද ජාතිවාදී හැසිරීම් නිසා, මේ ප‍්‍රශ්නය ඛේදවාචකයක් බවට පත් වුණා. ඒ නිසා අප උත්සාහ කරන්නේ ජාතිවාදී නොවන, සාධාරණත්වය ඉලක්ක කර ගත් ආස්ථානයක සිට මේ ප‍්‍රශ්නය විග‍්‍රහ කර ගැනීමට සහ ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමටයි.

 

සටහන - අසිත් මධුරංග

This content has been locked. You can no longer post any comment.

Search