A+ R A-

සියලූ සිරකරුවෝ ද මනුෂ්‍යයෝය (එල්.ටී.ටී.ඊ. රැඳවියන් හැර)

E-mail Print PDF

 

වවුනියාව බන්ධනාගාරය වටලා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පසුගිය දිනෙක සිදුකළ පහරදීමෙහි ප‍්‍රතිඵලයක් ලෙස නිමල රූබන් නමැති දෙමළ ජාතික සිරකරු මියගොස් තිබේ. වැඩි සම්භාවිතාවක් තිබෙන්නේ මෙය බහුතරයක් ජනයා තුළ කිසිදු කම්පනයක් ඇති නොකරන සාමාන්‍ය පුවතක් පමණක් වීමටය. 

සිය සගයන් කිහිපදෙනකු අපරාධ විමර්ශන අංශයට රැගෙන යාමට එරෙහිව වවුනියාව සිරකරුවන් විසින් එහි ජේලර්වරුන් කිහිපදෙනකු රඳවා ගනිමින් විරෝධතාවක් දියත් කළ අතර පසුව හමුදාව මැදිහත්ව එය මර්දනය කරනු ලැබීය. විශේෂ කාර්ය බළකායේ මෙම මෙහෙයුම දිනපතා දිවයින පුවත්පත විසින් වාර්තා කර තිබුණේ ‘‘වවුනියාව බන්ධනාගාරයේ කොටි සෙල්ලම් මැඬලයි’’ යන හිසිනි. විමල් වීරවංශ ඇමැතිවරයාට සම්බන්ධ වෙබ් අඩවියක් එය වාර්තා කරන්නට යොදාගත්තේ ‘‘ප‍්‍රාණ ඇපකරුවන් මුදාගෙන කොටි චණ්ඩිත් කුදලාගෙන එයි’’ යන ශීර්ෂයයි.

මෙහෙයුමට පසු දින විශේෂ කාර්ය බළකාය එහි වීඩියෝ දර්ශන රූපවාහිනී ආයතනවලට මුදාහැරියේය. සියලූම මාධ්‍ය  ආයතන තමන්ගේ ප‍්‍රවෘත්ති හරහා සාඩම්බර ලීලාවෙන් විකාශය කළ මෙම දර්ශනවලින් බැ?රුම් සංග‍්‍රාමයකට මෙන් විශේෂ කාර්ය බළකා සෙබළු තුවක්කු මානාගෙන බිමට නැවී බන්ධනාගාරය වට කරන ආකාරය, අණ නිකුත් වූ සැණින් ඔවුහු එක්වර බන්ධනාගාරය තුළට කඩාවදින ආකාරය නිරූපණය කෙරුණි. මෙහෙයුමින් පසු කිලූටු ඇඳුමින් සැරසුණු බන්ධනාගාර රැඳවියන් ඔවුන්ගේ කමිස කොලර වලින් ඇදගෙනවිත් බන්ධනාගාර බස් රථයකට පටවනු ප‍්‍රදර්ශනය වූ අතර පසුව මෙහෙයුමට සම්බන්ධ වූ සෙබළුන්ට ඉහළ හමුදා නිලධාරියෙක් අතට අත දී ආචාර කරන ආකාරය ද පෙන්වන ලදී. සමස්තයක් ලෙස මෙම පුවත් විකාශයන් මගින් මතු කරන්නට උත්සාහ කළ අදහස වූයේ මෙන්න අපේ හමුදාවේ වැඩ වර්ගයේ පණිවුඩයකි. යුද්ධය නිමාවීමෙන් පසු ‘අපේ හමුදාවේ වැඩ’ විකාශය කළ වන්නි සටන පන්නයේ වැඩසටහන් නොමැතිකමේ සාංකාවෙන් පෙළුණු දකුණේ මධ්‍යම පාන්තික පේ‍්‍රක්ෂකාගාරයට බරපතළ යුද මෙහෙයුමක් ලෙස හුවා දැක්වුණු උක්ත මෙහෙයුම ඇතැම් විට රසවත් අත්දැකීමක්  වූවා විය හැක.

සැබැවින්ම මෙම මෙහෙයුමේ ඇති වීරෝදාරභාවය කුමක්ද? බන්ධනාගාර රැඳවියෝ වැඩිම වුවහොත් අතට හසුවූ දෙයකින් සන්නද්ධව සිටින්නට ඇත. මෙය දුබලයන් සමූහයකට එරෙහිව මනා ලෙස නවීන යුදමය උපාංගයන්ගෙන් හෙබි ප‍්‍රබලයන් පිරිසක් විසින් කළ බලය යෙදවීමකි. 1971හා 1988දකුණේ දේශපාලන රැඳවියන් ආරක්ෂක අංශ සමග ඇතිකරගත් මෙවැනි ගැටුම් අපමණ පැවැතිණි. එවැන්නකදී සිදුවණු හමුදා පහරදීමක් වීරෝදාර මෙහෙයුමක් ලෙස විස්තර කෙරෙනු ඇද්ද?

අධිපති සිංහල සිතීම් රටාව තුළ දෙමළ කැරැලිකරුවන් /දෙමළ සමාජය ගැන වන චිත‍්‍රය පදනම් වී තිබෙන්නේ යථාර්ථයේ පවතින කරුණු මත නොව එම සමාජය පිළිබඳකරන ලද පරිකල්පනයක් මතය. මෙම පරිකල්පනය තුළ ‘උන්’ සහ ‘අප’ යනුවෙන් විභේදනයක් පවතී. එහිදී ‘අප’ පිරිසිදුය. වීරෝදාරය. ‘උන්’ දුෂ්ටය. අමනුෂ්‍යය. එල්.ටී.ටී.ඊ. ය වෙනුවෙන් සටන් කළ රැඳවියන් හැඳින්වීමට අධිපති ජනමාධ්‍යයන්  බොහෝ විට භාවිත කරනුයේ කොටි සැකකරුවන්, ත‍්‍රස්තවාදී සැකකරුවන් යන යෙදුම්ය. දිවයින පුවත්පතට ආරක්ෂක කොලම සපයන කීර්ති වර්ණකුලසූරිය ගර්හා සහගතව යොදාගනුයේ කොටි ත‍්‍රස්තයන් යන වචනයයි. බන්ධනාගාර විරෝධතාව වනාහී ඒ අනුව කොටි සෙල්ලමකි.

මෙම යෙදුම් හුදු අහඹු ලෙස උපත ලද ඒවා නොවේ. එමගින් සංකීර්ණ දෘෂ්ටිවාදී සත්‍යයක් පෙන්නුම් කෙරේ. දේශපාලන සිරකරුවන් යන වචනය කෙසේ වෙතත් සිරකරුවන් යන වචනය හෝ භාවිත නොකොට කොටි සැකකරුවන්/කොටි ත‍්‍රස්තයන් වැනි යෙදුම් අධිපති මාධ්‍යයන් විසින් යොදාගන්නේ මෙම රැඳවුම්කරුවන් සෙසු මිනිසුන්ගෙන් වෙනස් කුරිරු දුෂ්ට විශේෂයකි යන අදහස ගම්‍ය කරනු වස්ය.

එබඳු‘නොමිනිසුන්ට’ කවරාකාරයකින් සැලකුවත් ගැටලූවක් නැත යන මනෝභාවය පැනනැඟීමට මෙම භාෂාමය භාවිතය විශාල වශයෙන් උපකාරී වේ.

මේ නිසා සාමාන්‍ය තත්වයක් යටතේ නිර්භීත කි‍්‍රයාවක් යැයි කිසිසේත් විස්තර කළ නොහැකි දුබලයා මැ`ඞීම සඳහා බලවතා කරන බලය යෙදවීමක් වීරෝදාර උතුම් කි‍්‍රයාවක් බවට පත්වනුයේ දෙමළ අනෙකා - විශේෂයෙන් සිංහල බහුතරවාදය ප‍්‍රශ්න කිරීමට ඉදිරිපත් වන විසම්මුතික දමිළයා  - නොමිනිසෙකි/කෲර අඩ මිනිසෙකි  යනුවෙන් පවතින අධිපති අදහස හේතුවෙනි.

යටත් විජිත යුගවල අධිරාජ්‍යමය රටවල පුරවැසියන් සිය යටත් විජිතවාසීන් කෙරෙහි යොමුකරන ලද්දේ යටත් ජාතීන් වනාහී අර්ධ මනුෂ්‍යයන් පිරිසක් වෙති වර්ගයේ දෘෂ්ටියකි. විශේෂයෙන් යටත් විජිත සාහිත්‍යය තුළ ඉන්දියානුවා/අපි‍්‍රකානුවා/චීන ජාතිකයා යනාදීන් පිළිබඳස්ථාපිත වට්ටෝරු ආකෘතියක් විය. එඞ්වඞ් සයිඞ් සිය දරසැබඒකසිප නම් කෘතියෙන් තර්ක කළ පරිදි පෙරදිග පිළිබඳබටහිර සාහිත්‍ය තුළ පවතින මෙම රූපය යථාව ඇසුරින් උපදින්නක් නොව හුදෙක් පෙරදිග පිළිබඳබටහිර තුළ වූ පරිකල්පනයක් මතින් බිහිවන්නකි.

අධිපති සිංහල කතිකාවත තුළ විසම්මුතික දෙමළ ජාතිකයා සම්බන්ධයෙන් තිබෙන්නේ අධිරාජ්‍යවාදී බටහිරට යටත් විජිත පෙරදිග වාසිකයා  සම්බන්ධයෙන් වූවා හා සමාන පරිකල්පිත අදහසකි. එම පරිකල්පනය විසින් අතිඅමානුෂික කි‍්‍රයාව වුව වීරෝදාර කි‍්‍රයාවක් ලෙස දැකීම සඳහා මාවත විවෘත කරයි.

 

- රාමචන්ද්‍ර සටහන

This content has been locked. You can no longer post any comment.

Advertisment

advertisment