රැඳවුම්භාරයේ සිටියදී පහර කෑමට ලක්ව මිය ගිය නිමලරූබන් ගේ ඝාතනයට විරෝධය පලකරමින් සහ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස බල කරමින් අද (10) දහවල් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්විණි. මානව හිමිකම් සදහා ක්රියාකාරිකයෝ සංවිධානය විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතාව සදහා දේශපාලන පක්ෂ, මානව හිමිකම් සංවිධාන නියෝජිතයින් සහ මානව හිමිකම් ක්‍රියාකාරකයින් රැසක් සහභාගී වූහ.
එහිදී අදහස් දැක්වූ මානව හිමිකම් සදහා ක්රියාකාරිකයෝ සංවිධානයේ සාමාජික උදුල් ප්‍රේමරත්න මහතා,
පසුගියදා වවුනියාව බන්ධනාගාරය තුළ සිදුවූයේ එල්.ටී.ටී.ඊ. කුමන්ත්‍රණයක් නොවෙයි. අවුරුදු 3කට අධික කාලයක් කිසිදු චෝදනා විභාගයකින් තොරව රදවා තබා ගැනීමට එරෙහිව ගෙන ගිය අරගලයේ එක් අවස්ථාවක්. නමුත් ආණ්ඩුව කොළඹින් විශේෂ කණ්ඩායමක් ගිනිහිල්ලා. ඔවුන්ට පහරදීලා ඔවුන්ගේ ඉල්ලීම්වලට මර්දනයෙන් උත්තර දුන්නා. නිමලරූබන් තුවාල වුණේ එම පහරදීම්වලින්. තුවාළ වුණු ඔහුට ප්‍රතිකාර කළේ නැහැ. වෛද්‍යවරු නිර්දේශ කර තිබියදී ප්‍රතිකාර කළේ නැහැ. එම නිසා ඒක මරණයක් නොවෙයි ඝාතනයක්. මේවන තෙක් ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාව එළිදක්වා නැහැ. ඔහුගේ අවසන් කටයුතු කරන්න ඥාතීන්ට ඉඩදුන්නෙත් නැහැ.
නිමලරූබන්ගේ සිදුවීම එක් සිදුවීමක් පමණයි. දේශපාලන සිරකරුවන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ට එරෙහි චෝදනා කිසිවක් විභාග නොකර වසර ගණනාවක් තිස්සේ රදවා තබා ගෙන සිටිනවා. මෙම සිදුවීම් හරහා සිදුවන්නේ 83 කළු ජූලියට පදනම්වූ සිදුවීම් වැනි සිදුවීම් යළි මතුවීමයි. මෙම සිදුවීම් උතුරේ ජනතාව ජාතිවාදී කෝනයකින් බැලීමේ අනතුරක් තිබෙනවා. එනිසා මෙම තත්ත්වයන්ට එරෙහිව මානව හිමිකම් ක්‍රියාකාරකයින් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා නැගී සිටිය යුතුව තිබෙනවා.
මෙම උද්ඝෝෂණය සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය, නව සමසමාජ පක්ෂය, ප්රජාතන්ත්රවාදී ජනතා විමුක්ති පෙරමුණ, සමාජවාදී පක්ෂය ආදී දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින්ද, සත්යවේලි පියතුමා ඇතුළු මානව හිමිකම් ක්‍රියාකාරිකයින් රැසක්ද සහභාගීවූහ.
විරෝධතාව සඳහා මාලිගාවත්ත ප්‍රදේශයේ මුස්ලිම් වැසියන් රාශියක්ද සහභාගීවී සිටීම විශේෂයකි.






