රාජපක්ෂ පාලනයේ බල සීමාවට පිටින් සිට සැබෑ තත්වය වාර්තා කළ පුවත් වෙබ් අඩවි මර්දනය සඳහා ආණ්ඩුව අලුත්ම උපක්‍රමයක් යොදා ගෙන තිබේ.
ඒ අනුව වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ ගාස්තුව ලෙස රුපියල් ලක්ෂයක් අය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. වෙබ් අඩවියකින් අය කරනු ලබන වාර්ෂික ගාස්තුව රුපියල් 50,000කි.
වෙබ් අඩවියක් පවත්වාගෙන යාමට වැය වන මුදල පුවත්පතක්, ගුවන් විදුලි හෝ රූපවාහිනී මාධ්‍යයක් පවත්වා ගෙන යාම තරම් අති විශාල මුදලක් නොවේ. ඒ නිසා විකල්ප මත දරන බොහෝ දෙනකු තවත් මිතුරන් කිහිප දෙනකු සමග එක්ව වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාම සාමාන්‍ය තත්වයක් විය.
මේ නිසා ආණ්ඩු විරෝධී මතයට විශාල වේදිකාවක් අන්තර්ජාලය හරහා නිර්මාණය විය. මෙම වේදිකාව සිය පාලනයට නතු කර ගැනීමේ හැකියාවක් ආණ්ඩුවට නොවීය. ඒ නිසා ඊට විවිධාකාරයේ වැට බැඳීම් පසුගිය කාලයේ සිදු විය.








