A+ R A-

හිරකරුවන් මරා දැමීමේ සදාචාරය

E-mail Print PDF

 

alt“ එල්. ටී.ටී. ඊ. නායකයෙකු මිය යයි. ’’ “ ත්‍රස්තවාදී කැරලිකරුවකු රෝහලේදී මිය යයි’’ මේ ආදී නොයෙක් සිරස්තල ලියවී තිබුණි.

 මේ අතරම රෝහලට බාරදුන්නේ  මළ මිණියකි යන්න  රෝහල් ආරංචි මාර්ග පවසති.හැබෑව නම්, අත්අඩංගුවේ සිටි සිරකරුවෙකු මරා දමා ඇත. හිරකරුවෙකු යනු තම ජීවිතය හැර අන් කිසිවකට හිමිකම් නොකියන මනුෂ්‍යයෙකි. එවැන්නකු මරා දැමීම සාප සහගත දෙයකි.

පසුගිය වසර ගණනාව තුල අත්අඩංගුවේ පසුවන අය විශාල ප්‍රමාණයක් මරා දමනු ලැබීය. බොහෝ දෙනකු පොලිස් අත් අඩංගුවේ පසුවෙද්දී ය. ලංකා සමාජය එයට නෑසූ කන්ව සිටිති. එහි නීතිය ද එසේමය. මෙය විමසිය යුතු නො වන්නේද?

පසුගිය වකවානුවේ මෙසේ පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය අය එසේ මරා දැමීමට ප්‍රථම එම පුද්ගලයා  හෝ පුද්ගලයන් ගැන වාරතා කිරීමේ මාධ්‍ය කලාවක් ලංකාවේ ප්‍රධාන මාධ්‍යෙයේ මාධ්‍ය කරුවන් ප්‍රගුණ කර ඇත. ලාංකීය ජනමාධ්‍ය සහ එහි මාධ්‍යෙව්දීන් යම් අපරාධයක් ගැන වාර්තා කරන අයුරු බලමු.

යම් අපරාධයක් සිදු වී ඇති විට එය මෙම මාධ්‍ය ලේ රසය මතු කරමින් තලු මරමින් වාර්තා කරයි.  මෙම මාධ්‍යවේදීන් එම ලේ රසයට තම ෆැන්ටසිය ද ඇතුළු කරමින් සමාජ මනසට විෂ එන්නත් කරවනු ලබයි.   අපරාධය කල එකා මරා දැමිය යුතුයි යන අදහස ජන මනස ආක්‍රමණය කරන තුරු, මේ ලේ රස තලු මරන මෙම මාධ්‍යය ඊ ළඟට අරඹන්නේ එම අපරාධය කළා ය යන සැකකරුවා ගැන වාර්තා කිරීමට යි. එහිදී ඔහු හෝ ඔවුන් සැකකරුවන් නො ව අපරාධකරුවන් ය යන නිගමනයෙන් ඒ අයගේ නම් ගම් සහිතව ඒ අය අපරාධය කළ ආකාරය පවා ෆැන්ටසි කරන මෙම මාධ්‍යකරුවන් නීතියක් ඉදිරිපස වැරදිකරු වීමට ප්‍රථම තම මාධය කඩමළු තුල අර සැකකරුවන් පිළිබඳ නිගමන දෙනු ලබයි. ඒ මදිවාට එම සැකකරුවාට මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, කුඩු වෙළෙඳාම ආදියට ඇති මොනවා හෝ සම්බන්ධයක් ද ඔවුන් විසින් වාර්තා කරනු ලබති. අන්තිමට මෙම සැකකරුවන් පොලිස් අත් අඩංගුවේදී ‘‘ පැන යාමට තැත් කිරීමේදී’’ “අයුධ පෙන්වීමට ගොස් බෝම්බ දමා ගසද්දී’’ “මාන්චු පිටින් දියට පැන පීනා යාමේ දී’’ පොලිස් වෙඩි පහරින් මිය ඇදෙති. ඇත්තෙන්ම මෙහි සිදුවන්නේ  සැකකුවකු සාපරාධී ලෙස මරා දැමීමකි. ලංකාවේ ජනමාධ්‍යයෙන් මේ මරණයට පෙර මෙම පුද්ගලයා මරා දැමිය යුතු බව සමාජ මනසට එන්නත් කරති. පොලීසිය එසේ මේ මිනිස් ඝාතනය කරන විට සමාජය එය සාධාරණීකරණය කරන්නේ “ ඕකව ඔහොම නෙමේ මරන්න තිබුණේ’’ “ඕකුන්ව මරලත් මදි ’’ ආදී වදන් ද එයට එක් කරමිනි.

මෙම මාධ්‍ය භාවිතාව ඒකාධිපති  සහ ෆැසිස්ට් රාජ්‍යයන් තුළ පැවති එකකි. මෙම සමාජ මනස ද  අඩු වැඩි වශයෙන් ෆැසිස්ට් සමාජ මානසිකත්වයේම පැතිකඩකි. යම් වරදක් කල අයකු නීතිය ඉදිරියට ගෙනවිත් ඒ ගැන විමසා එම වරදට දඩුවමක් නියම කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක විධි ක්‍රමයයි. සැකකරුවකු නීතිය ඉදිරියේ වරදකරුවකු වන තුරු ඔහු හෝ ඇය නිවැරදිකරුවෙකු ලෙස සැලකීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සමාජ මනෝභාවයයි. එසේම පොලීසියේ දී හෝ අත් අඩංගුවේදී සැකකරුවෙකු මරා දැමීම පිළිකුල් කරන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් එය සාපරාධී මිනී මැරුමක් ලෙස සලකා එයට නීතියේ දඬුවම් නියම කරයි.ලංකා සමාජය සහ එහි මාධ්‍යය තවත් තැනක ක්‍රියාත්මක වන හැටි බලමු.

රාජ්‍ය බලය ඇති අයෙකු යම් වරදකට සැකකරුවෙකු වූ විට ඔවුන්ගේ භාවිතාව මීට හාත්පසින්ම වෙනස් ය. ඔවුන් එහිදී ලේ පැල්ලම් මකා දමති. වරදක් සිදු නො වුණු බවට කරුණු ඉදිරිපත් කරති. මහ මඟ  මිනිසුන් බලා සිටිද්දී මිනිසුන් මරා දමන දේශ පාලඥයෙකු ගැන එසේත් නැතිනම් සංචාරකයකු මරා දමා ඔහුගේ බිරිඳට ලිංගික බලහත්කාරකම් කරන දේශපාලන මැරයින් ගැන වාර්තා කරන ආකාරය වෙනස් එකකි. රාජ්‍ය නිලධාරියෙකු මහ දවල් කැමරා අභියස ගස් බඳින මැර ඇමතියකු ගැන වාර්තා කරන ආකාරය තවත් එකකි. වරෙන්තු විස්සක් පමණ ඇති රාජ්‍ය මාධ්‍යවේදියෙකු වන රදලියගොඩ වැනි අය මැති ඇමැතිවරු සමඟ ගැවසෙන නමුත් ඒවා මාධ්‍යයට හසු නො වෙති. ඉතින් මේ බලය ඇති උන්ගේ අපරාධ ගැන මුණිවත රකින මාධ්‍ය  මෙහි දී  “මාධය සදාචාරය’’ ‍ඔවුන්ගේම වූ ආකාරයකින් පෙන්වති. ලංකා සමාජය ද මෙහි දී මුනිවත රකිති.

වව්නියා හිරගෙදර රැඳවියන්ගේ ආහාර වර්ජනය ගැන මාධය වාර්තා කළේ කෙසේ ද? ඒල්.ටී.ටී.ඊ. ය නැවත යුද්ධයකට අර අඳින බව සමාජ ගත කිරීමට ඔවුන් වාර්තා සැපයූහ. විශේෂයෙන්ම දිවයින සහ ලංකාදීප වැනි පුවත්පත් වහසි බස් ආකාරයෙන් වාර්තා සැපයීය. අවසානයේ මේ සිදුවන්නේ තම අතපය හැර වෙනත් යමක් නැති, හිර ගෙදරක රැඳවියන් කරන ආහාර වර්ජනයක් බව පවා මේ මාධ්‍ය “සදාචාරයට’’හසු නො වීම ය. එම වාර්තාවන් තුලින් සමාජ මනසට එන්නත් කරන පණිවිඩය වූයේ “නැවතත් කොටින් යුද්ධයකට සැරසේ’’ “මුන්ට හොඳ පාඩමක් ඉගැන්විය යුතු යි’’ “ ත්‍රස්තවාදී උවදුර නැවත හිස ඔසවයි’’ වැනි අදහසකි.

කෙසේ වුවත් අවසානයේ විශේෂ හමුදා කණ්ඩයක් හිර ගෙදර “ ආක්‍රමණය’’ කර රැඳවියන් ගේ අත් පා කඩා අත්අඩංගුවට ගනී. මෙහිදී මාධ්‍ය සුපුරුදු සංදර්ශනය නැවත අරඹයි.

පුවත් පත් මුල් පිටු පිරුණේ යකඩ පොලු, උල් කටු, ටෙලිෆෝන් ආදියෙනි. සිරස්තල සැරසුවේ “චන්ද්‍රිකා සංඥා ටෙලිෆෝන් ’’ “ විස්කෝතු තොග’’ආදියෙනි. මාධ්‍ය දුන් පණිවිඩය වූයේ, මොවුන් සිරගෙය තුල සිට යුද්ධයකට සැරසී ඇත යන්න ය. අතපය කඩා දැමූ රැඳවියන් අනුරපුරයට සහ මහර බන්ධනාගාර වෙත ගෙනයනු ලබන අතර පහර දී මෙන්ම මරා දැමූ අයකුගේ මළ සිරුර රාගම රෝහල වෙත ගෙන යන්නේ “ප්‍රතිකාර’’ කිරීමට යි. මිය ගිය වූවන්ට ප්‍රතිකාර කිරීම ද දැන් මේ දිවයිනේ ආශ්චර්යය න් අතරට එක්ව ඇතිවාක් මෙනි.

මම 1971 අප්‍රේල් කැරලිකරුවෙක්මි. අප්‍රියෙල් 6 වැනි දින යාපනය කොටු පවුර මත දී තවත් අය සමඟ හමුදාවන්ට යටත් වුණෙමි. වසර 6 කට වැඩි කාලයක් දිවයින පුරා ඇති සිරගෙවල් තුළ හිරකරුවෙකු ලෙස ජීවත් වු  අයෙක්මි.

තම අතපය හැරුණු විට හිරකරුවකු සතු වන්නේ තම ආත්ම ශක්තිය පමණි. දේශපාලන හිරකරුවා සාමූහික සත්වයෙකි. ලංකාවේ හිරගෙවල් පිරී ඉතිරී යන තරු පුරවා දස දහස් ගණනින් සිටින අනෙක් සිරකරැවන්  මෙන් මොවුන් තනි තනි පුද්ගලයන් නො වෙති. තම දේශපාලන ක්‍රියාවන් හරි හෝ වැරදි හෝ, මොවුන් ක්‍රියාත්මක වූයේ සාමූහික මතයකට, සාමූහික උවමනාවන් සඳහා ය. ඔවුන්ගේ ගති ස්වභාවය වන්නේ සාමූහිකව නැගිටීම යි. ඔවුන් තම අයිතීන් වෙනුවෙන් සාමූහිකව කතා කරති. එය වැළකිය නො හැක. ඒ ඔවුන් මෙසේ හිරවී සිටින්නේ ද සාමූහික ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටි නිසාවෙනි. හිරකරුවකුගේ අයිතීන් පැහැර ගන්නා බන්ධනාගාර “වධකයන්ට’’ එරෙහිව දේශපාලන සිරකරුවන් සාමූහිකව නැගීසිටීම ඉතා සාමාන්‍ය දෙයකි. මෙවැනි දේ වලදී නීතිමය රාමුවක් තුළ ක්‍රියාත්මක වේ නම් ජීවිත වලින් වන්දි ගෙවිය යුතු වන්නේ නැත.

1971 සිට 1977 දක්වා ලංකාවේ විවිධ හිර ගෙවල්වල සහ හිර කඳවුරු තුල මේ අයුරින් නො ව මීට වඩා ඉතා වැඩි ප්‍රමාණයකින් මෙවැනි අරගල සිදුවුණි. අප්‍රේල් සිරකරුවන් රඳවා සිටි බොහෝ හිරගෙවල් තුළ හිර ගෙවල පාලනය පවා තම අතට ගනු ලැබී ය. අද ලංකා ආණ්ඩුවේ සමහර මැති ඇමැතිවරු පවා මෙසේ එකල මෙම හිර ගෙවල් තුළ සිටි එම හිර ගෙවල් කරැළිවල කොටස්කරුවන් ය.

1971 මා යාපනයේ හැමන් හිල් දූපත් හිරගෙදර හිරකර සිටි අවධියේ දී, හැමන් හිල් දූපත මූදෙන් වට වී කිසිම මිනිසෙකුට අපගේ හඬ නො ඇසෙන බව දැන දැනත් බන්ධනාගාර නිලධාරීන්ගේ අයතා පාලනයට එරෙහිව කැරළි ගැසූවෙමු. අපව සිරකර සිටි බිම් ගෙවල යකඩ දොරවල් අත්වලින් අල්ලා අඹරා ගලවා දැමූයේ විනාඩි ගණනක දී ය. ඒවා මිදුල මැද ගොඩ ගසා අපේ විරෝධය පෑවෙමු.

අපි මෙසේ මේ අරගලය ඇරඹීමට ප්‍රථම සති ගණනාවක් තිස්සේ අපට දෙන කෑම වේලෙන් පාන් වේලා බිම් ගෙවල රැස් කළෙමු. ටින්වලට ජලය පුරවා ගත්තෙමු. මේ යම් අයුරකින් ජලය කපා ආහාර නො දී සිටියහොත් දින ගණනක් අල්ලා සිටීමේ අරමුණෙනි.

පුවත්පත්වලට වව්නියා හිරගෙදර ගැන ලියන සිංහල උමතු මාධ්‍යකරුවන් යුද්ධයකට මෙන් විස්කෝතු රැස්කර ඇති අයුරු ලියා ඇත. මේවා දුටු මට සිනා පහල විය. ඒත් සිංහල සිංහලයෙකු මෙම සිංහල උමතු වාර්තාවන් කියවන්නේ යුධ බිය ද සිතට නගා ගනිමිනි. මේ සිරකරුවන් තම සතුරා කර ගනිමිනි. 71 දී 20,000 කට වැඩි ප්‍රමාණයක් සිරගත විය. අද වව්නියාවේ සිදු වූ දෙය හා සමාන සිදුවීමකට, මේ විසි දහසින් වැඩි දෙනෙකු කොතනක හෝ සිරගෙයක් තුළ මුහුණ දුන්නේය. ඉතින් මේ තත්වය ගැන, මේ කරන අගතිගාමී වාර්තාකරණයට අපි විරුද්ධ විය යුතු නො වන්නේ ද?

එදා බන්ධනාගාරය තුළ අපව සිරකර සතුන්ට මෙන් සලකද්දී අප විඳි වේදනාව අපි දන්නෙමු. අපි එදා අපට මෙසේ  සැලකීමට එරෙහිව අප සතුව අපගේ අතපය සහ අපේ ආත්ම ශක්තිය මෙන්ම  සාමූහිකත්වය ද පාවිච්චි කළ බව අමතක නො කළ යුතු යි.

අද මේ වව්නියාවේ සිරකර සිටින්නේ ද දේශපාලන සිරකරුවන් ය. ඔවුන් කුමන දේශපාලන මතයක් දැරුව ද ඔවුන් නැගිට ඇත්තේ දේශපාලන උවමනාවකට ය.

මේ වව්නියා හිරගෙය තුළ නැගී ඇත්තේ ද දේශපාලන සිරකරුවන් ගේ සාමූහිකත්වයේ ආත්ම ශක්තිය බව වටහා ගැනීම ට නම් විශාල පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නැත. ඒ ඔවුන්ගේ හඬින් මා දෙසවන රැව් දෙන්නේ එදා මගේම හඬි වන බැවිනි.

1971 සිට මේ දක්වා දේශපාලන සිරකරුවන් ලෙස සිරගතව නිදහස් වූ අය දස දහස් ගණන් ලංකා සමාජය තුළ ජීවත් වෙති. මෙම දේශපාලන සිරකරුවන් වෙනුවෙන් වචනයක් පැවසීම ඔබේ ද යුතුකමක් බව මතක් කර දීමට  කැමැත්තෙමි.

එදා හැමන් හිල් දූපත් බිං ගෙයක ලමා‍ හේවා අවසන් සුසුම හෙලූ විට අපගේ ආත්මයන් කොතරම් නම් සසළ වූවා ද? අද නිමලරූබන් මරාදැමූ විට ඔහුගේ සහෝදර සිරකරුවන්ගේ හදවත් කෙතරම් නම් කම්පා වනු ඇත්ද?

එදා දේශපාලන සිරකරුවන්ගේ අද සටන් පාඨය විය යුතතේ “දේශපාලන සිරකරුවන් නිදහස් කරනු !!!. “ යන්න නොවේ ද

 

රංජිත් ‍හේනායකආරච්චි  

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 25 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 25 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පළාතට... Read more

Advertisment

advertisment