A+ R A-

මළ සොහොනේ සාමය

E-mail Print PDF

 

altඅවසානයේදී නිමල රූබන් මියගියේය. මියගියා නොව මරාදැමීමට ලක්විය. නිමල රූබන් වනාහී එක් පැත්තකින් රාජ්‍යයේ කෲරත්වය හා ම්ලේච්ඡත්වය විදහා දක්වන සංකේතයකි.

 අනෙක් අතින් 1983කළු ජූලියට වසර 29ක් පිරෙන මේ ජූලි මාසයේදී කළු ජූලියට තුඩුදුන් ජාතිවාදී අවරසිකතාවන් සමාජය තුළ නොනැසී පවතින බවට සාක්ෂියකි. ඒ නිසා නිමල රූබන් පිළිබඳ ප‍්‍රශ්නය රාජ්‍යය පිළිබඳ ප‍්‍රශ්නයක්, එහි මර්දනකාරීත්වය පිළිබඳ ප‍්‍රශ්නයක් පමණක් නොව සමස්ත සමාජයේම හෘද සාක්ෂිය පිළිබඳ ප‍්‍රශ්නයකි.

ම්ලේච්ඡත්වය කරා

සිද්ධිය ආරම්භ වූයේ ජුනි 26වැනිදා වවුනියාව බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු බන්ධනාගාරයෙන් පිටතට ගෙනගිය පසු ඔවුන්ට අත්වූ ඉරණම කුමක්දැයි විමසා එහි දේශපාලන සිරකරුවන් නොසන්සුන් වීමත් සමගිනි. රැඳවියන් බන්ධනාගාර නියාමකවරුන් ප‍්‍රාණ ඇපයට ගෙන තිබෙන බව පවසමින් පොලිස් විශේෂ කාර්ය බළකාය වවුනියාව බන්ධනාගාරයට ඇතුළු වූ අතර රැඳවියන් අනුරාධපුර බන්ධනාගාරයට ගෙනගොස් අමානුෂික ලෙස පහරදී තිබේ. පොලූවලින් පහරදීම නිසා බොහෝ දෙනකුගේ අත් පා බිඳී ගොස් ඇති අතර පසුව රැඳවියන් අතරින් තුන්දෙනකු මහර බන්ධනාගාරයට ගෙන එන ලදී. මහර බන්ධනාගාරයේදී පහරදීමෙන් අසාධ්‍ය තත්වයට පත් නිමල රූබන් නමැති රැඳවියා ජූලි 4වැනිදා මරුමුවට පත්වූ අතර එදින උදෑසන රාගම රෝහලට ඇතුළත් කරනු ලැබුවේ රෝගියකු නොව මළ සිරුරක් පමණක් බව රෝහල් බලධාරීන් පවසා තිබිණි. අනෙකුත් රැඳවියන්ගේ තත්වය විමසා බැලීමට ජූලි 4වැනිදා සවස මහර බන්ධනාගාරයට ගිය ‘මානව හිමිකම් ක‍්‍රියාකාරිකයෝ’ සංවිධානයේ නීතිඥයන් පිරිසක් හා එම අවස්ථාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකු බන්ධනාගාර නිලධාරීන් විසින් පැය භාගයක පමණ කාලයක් බලහත්කාරයෙන් රඳවාගෙන තිබිණි. ජූලි 5වැනිදා නිමල රූබන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර එහිදී මහර මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ඔහුගේ සිරුර ඔහුගේ ගම් පෙදෙස වන වවුනියාවේ නෙළුක්කුලමේ නොව රාගම පොදු සුසාන භූමියේදී අවසන් කටයුතුවලට භාජනය කරන ලෙසය. නිමල රූබන්ගේ මව රාජේශ්වරී හා පියා ගනේෂන් හට නීතිඥයන් මුණගැසීමට හෝ ඉඩ ප‍්‍රස්ථා නොලැබුණු අතර ඔවුන් ද පොලිසියේ අත්අඩංගුවේ රඳවා තිබිණි.

මේ අතර හිසට බරපතළ ලෙස පහර එල්ල කිරීම නිසා සිහිමුර්ජා තත්වයෙන් තවත් දේශපාලන සිරකරුවකු අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු කර ඇත. ඔහු නමින් මුත්තුරාසා දිල්රුක්ෂන්ය. ඔහු 2006වසරේදී විදේශගත වීමේ අපේක්ෂාවෙන් කොළඹ පැමිණි පසු අතුරුදන් වූවකු වන අතර ඉන් පසුව ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් ඥාතීන්ට දැනගන්නට ලැබී නැත. පොලිසියට හා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ පසුව ද ඔහු බන්ධනාගාර ගත කර සිටින බවක් ඥාතීන්ට දැනුම් දී නැත. ඔහු පිළිබඳව ප‍්‍රථම වරට දැනගන්නට ලැබුණේ වවුනියාව බන්ධනාගාරයේදී පහරකෑමට ලක්වී රෝහල් ගත කිරීමෙන් අනතුරුවය. අත්අඩංගුවට ගත් අය පිළිබඳව ඥාතීන්ට දැනුම් දීමේ වගකීම පවා රජයේ ආරක්ෂක අංශ විසින් පැහැර හැර ඇත. මෙය පුදුමයක් නොවන්නේ එකී ආරක්ෂක අංශම සිරකරුවන්ට මාංචු දමා අමානුෂික ලෙස පහරදී අත් පා කඩාදැමීමට ඉදිරිපත් වූ නිසාය. පහරදීමෙන් අසාධ්‍ය වූවන් මියයන තුරු රෝහල්ගත කිරීමට හෝ ක‍්‍රියා නොකළ නිසාය. මියගිය රැඳවියන්ගේ සිරුරු ඔවුන්ගේ මව්පියන්ට හෝ භාර නොදී අත්තනෝමතික ලෙස අවසන් කටයුතු කිරීමට රජයේ ආයතන කටයුතු කර ඇති නිසාය. මෙකී ම්ලේච්ඡත්වය සමග සසඳන කල රජය සිදුකරන අනෙකුත් කෲරතර මර්දනයන් කෙතරම් සුළු ඒවාදැයි පෙනී යනු ඇත.

අප මුලින් ද පැවසූ ආකාරයට වවුනියාව සිද්ධියෙන් හෙළිදරව් වූයේ රාජ්‍යයේ කෲරත්වය පමණක් නොවේ. මෙම සිදුවීමේදී මාධ්‍යවල හැසිරීම ඉතා නින්දිත හැසිරීමක් විය. ඇතැම් පුවත්පත් දිගින් දිගටම වවුනියාවේ දේශපාලන සිරකරුවන් හඳුන්වා දුන්නේ ‘කොටි නායකයන්’ යන නමිනි. සැබැවින්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයන් ලෙස කටයුතු කළ කේ.පී., කරුණා, පිල්ලෙයාන් අද ඉන්නේ ආණ්ඩුව සමගය. එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායිකා තමිලිනී ද පුනරුත්ථාපනයට යොමු කරනු ලැබ ඉක්මනින් නිදහස් කිරීමට නියමිතය. ඔවුන්ට නිදහස ලබාදී ඇත. දේශපාලන අයිතීන් ද ලබාදී ඇත. ඒ, ආණ්ඩුව තමන්ට ගැති වන නායකයන්ට බෙදන හැන්දයි.  එහෙත් වවුනියාව රැඳවියන්ගෙන් බොහෝදෙනකුට චෝදනා පවා නැත. නඩු නැත. එහෙත් මාධ්‍යවලට ඔවුන් ‘කොටි නායකයන්’ ය. ඒ ඔවුන්ට බෙදන හැන්දයි. සිදුවීම ඇතිවූ මොහොතේ සිටම මාධ්‍ය කළේ ජාතිවාදය වැපිරීමයි. ජාතිවාදය වපුරා දේශපාලන සිරකරුවන්ට පහරදීම හා මරාදැමීම සාධාරණිකකරණය කිරීමයි. අද  ඕනෑම බන්ධනාගාරයක සිරකරුවන් අත දක්නට ලැබෙන ජංගම දුරකථන මාධ්‍යවලින් වාර්තා කළේ ‘රහසිගත සන්නිවේදන උපකරණ’ ලෙසය. ඇතැම් මාධ්‍ය රැඳවියන් සතුව තිබූ බිස්කට් ගණන් කොට ඔවුන් මාස එකහමාරකට සෑහෙන ආහාර ගබඩා කරගෙන සිටි බවට විසුළුකාරී ප‍්‍රවෘත්ති පවා විකාශය කළේය. මේ අවස්ථාවේදී මාධ්‍ය ප‍්‍රදර්ශනය කළේ ද වසර 29කට පෙර කළු ජූලියේ තිබූ ජාතිවාදයමය.

ආධාරකයක් සොයා යාම

වවුනියාව බන්ධනාගාරයේ සිදුවීම එක් අතකින් සිංහල සමාජයේ හෘද සාක්ෂිය පිළිබඳ ප‍්‍රශ්නයකි. අනෙක් අතින් එය සමස්ත සමාජයේම අනාගතය පිළිබඳ ප‍්‍රශ්නයකි. යුද්ධය නිමා වී වසර තුන හමාරක් පමණ ගෙවී ගොස් ඇත. මේ මුළු කාලයම ආණ්ඩුව සමාජයට ප‍්‍රවේශ වූයේ ප‍්‍රතිසන්ධානයේ හා සංහිඳියාවේ දෘෂ්ටි කෝණයෙන් නොවේ. ජාතිවාදයේ හා ආධිපත්‍යයේ දෘෂ්ටි කෝණයෙනි. ඒ මැදිහත්වීම තුළ තිබූ අසාධාරණය, අයුක්තිය හා ම්ලේච්ඡත්වය වටහා ගැනීමට වවුනියාව රැඳවියන් මර්දනය කිරීමේ සිද්ධිය පමණක් වුව ප‍්‍රමාණවත්ය. ආණ්ඩුව මුලින් උත්සාහ කළේ යුද්ධයේ නිමාව, ජාතික ගැටලූවේ නිමාවට සමාන වන බවට සරල සමීකරණයක් ගොඩ නැඟීමටය. එහෙත් යුද්ධයේ නිමාවෙන් පසු ජාතික ගැටලූව තවදුරටත් සංකීර්ණ වෙමින් තිබේ. ඒ සෑම ආකාරයකම ජාතිවාදයේ ප‍්‍රසාරණය මගිනි. යුද්ධයෙන් පසුවත් අඛණ්ඩව දියත් වූ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීත්වය, අත්තනෝමතිකත්වය හා මර්දනය විසින් දෙමළ සමාජය තුළ ජාතිවාදී දේශපාලනයට සරු පසක් නිර්මාණය කරමින් තිබේ. එය අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා රාජ්‍යය සමග ගැටිය යුතු බව දෙමළ ජනතාව දන්නාමුත් රාජ්‍යයේ බලයට එරෙහිව හුදෙකලාව කරනු ලබන අරගලවලින් ජයග‍්‍රහණය නොලැබෙන බව අද එම සමාජය වසර 30ක අත්දැකීම් තුළින් ඉගෙනගෙන තිබේ. ඒ නිසා ඔවුන් සිය මූලික මිනිස් අයිතීන් ඇතුළු අයිතීන් වෙනුවෙන් සහායකයන් හා ආධාරක සොයමින් සිටී.

එහෙත් ඒ සඳහා ප‍්‍රගතිශීලී  හෝ මානවවාදී සහායකයන් ලෝක යථාර්ථය තුළ නැත. සිටින්නේ විවිධාකාර බල ව්‍යාපෘති සහිත බලවේගයන්ය. අමෙරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවලට ද ඉන්දියාව ප‍්‍රමුඛ කලාපීය බලවතුන් ද තමන්ගේම වූ බල-දේශපාලන න්‍යාය පත‍්‍ර ඇත. දෙමළ සමාජය සිටින්නේ විශාල පීඩාවක හා විලංගුවක සිරවීගෙනය. මිනිස් ශිෂ්ටාචාරයේ පොදු ජයග‍්‍රහණවලට පවා එම සමාජය අස්වාමික කර ඇත. එනිසා දෙමළ සමාජය පිටස්තර මිතුරන් සොයමින් සිටී. ඒ අතර සිංහල සමාජය සහජයෙන් හුදෙකලාවාදයක්, කොදෙව් මනෝභාවයක්, විදේශ විරෝධයක් ගැබ් කරගෙන සිටින අතර ඔවුන්ට මේ පිටස්තර සහායකයන් පිළිබඳව ඇත්තේ සැකයකි. සිංහල සමාජය මේ මහා විනාශයන්ගෙන් පසුවත් තවමත් සිටින්නේ මළ සොහොනේ සාමයෙන් තෘප්තිමත් වී ගෙනය. මේ තත්වය තුළ සිංහල හා දෙමළ ජන සමාජයන් දෙක අතර පරතරය ශීඝ‍්‍රයෙන් වැඩිවෙමින් තිබේ. දකුණේ සමාජයට යුද්ධයට හේතු වූ කරුණු ගැන ගැඹුරු විග‍්‍රහයක් නැති වීමත් එවැනි විග‍්‍රහයක් සකස් කිරීමට අවශ්‍ය ධෛර්යය නැති වීමත් විසින් මේ තත්වය උග‍්‍රකර ඇත.

මේ තත්වය තුළ දෙමළ සමාජය ජාතිවාදය වෙත ඇදීයාමට ද විවිධ බල ව්‍යාපෘති සහිත බලවේගයන් ආධාරක බවට පත්කර ගැනීමට ද ඉඩක් ඇත. මළ සොහොනේ සාමය වැඩිකල් නොපවතින අතර එය ඉක්මනින්ම පුපුරා යාමට නියමිතය. එවැනි තත්වයක් තුළ දෙමළ සමාජයට අධිරාජ්‍යවාදයේ කිහිලිකරුවක් වීම පිළිබඳව පසුව චෝදනා එල්ල කර ඵලක් නැත. අද සිදුවෙමින් පවතින විනාශය නතර කිරීමට නම්, දෙමළ සමාජය දැවැන්ත වෛරයකින් යුතුව සිංහලයාට එරෙහිව පෙළ ගැසීම නැවැත්වීමට නම්, සිංහල සමාජය ඉටුකළ යුතු වගකීමක් තිබේ. ඒ නිමල රූබන්ගේ මරණය වැනි සිදුවීම් තුළ ගැබ්ව ඇති අසාධාරණයට හා අයුක්තියට එරෙහිව හඬ නැඟීමයි. දෙමළ සමාජයේ ස්වේච්ඡුා සහභාගීත්වයක් හරහා පොදු සාමූහිකත්වයක් ගොඩනැඟීමට සිංහල සමාජය ඉදිරිපත් විය යුතුය. අමෙරිකාවට වඩා, ඉන්දියාවට වඩා, ජයලලිතාට වඩා, හිලරි ක්ලින්ටන්ට වඩා වැඩි උනන්දුවකින් හා වැඩි කැපකිරීමකින් යුතුව මැදිහත් වීමට සිංහල සමාජය අසමත් වුවහොත් දෙමළ ජනයා අධිරාජ්‍යවාදයේ ගොදුරක් බවට පත්වීම, බෙදීම හා වෙන්වීම අනිවාර්යයක් වනු ඇත. ගෝඨාභයගේ භාෂාවට වඩා වෙනත් භාෂාවක් චම්පිකගේ, විමල්ගේ හඬට වඩා වෙනත් හඬක් තිබෙන බව පෙන්වීමට සිංහල සමාජය අසමත් වුවහොත් දෙමළ සමාජයට ප‍්‍රතිගාමීන්ගේ ඇෙඟ් එල්ලීමට සිදුවනු ඇත. එවැන්නක් සිදුවීමේ වාසිය පාලකයාටය. එවිට පාලකයන්ට  එල්.ටී.ටී.ඊ. අවතාරය මවා පෙන්වා දකුණේ සියලූ ප‍්‍රශ්න යටපත් කළ හැක. දෙමළ ප‍්‍රභූ පන්තිය වුවත් ඒ තත්වයට කැමති වනු ඇත. ඒ ඔවුන්ගේ අධිපති පන්තිමය අවශ්‍යතා එමගින් සපුරාගත හැකි වන බැවිනි. මාධ්‍ය හා රජය දෙමළ දේශපාලන සිරකරුවන් පිළිබඳ ප‍්‍රශ්නයට කොටි ලේබල් අලවන්නේ දකුණේ සමාජය එහි බර කරට ගැනීම වැළැක්වීමටය. එහෙත් ඒ බර දැරීමට එම සමාජයේ ඇති සූදානම අනුව ඉතිහාසය අලූතින් ලියැවෙනු ඇත.

මේ මළ සොහොනේ නිහැඬියාවට එරෙහිව, සිංහලයා, දෙමළා වෙනුවෙන් හඬ නැඟීම ඇරඹිය යුතුය. මේ යුගයේ ඛේදවාචකය වනුයේ නරක මිනිසුන්ගේ නරක හැසිරීම නොව හොඳ මිනිසුන්ගේ නිහඬතාවයි. 1983කළු ජූලියේදී දැක්වූ නිහඬතාවට තිස් අවුරුදු යුද්ධයක් තුළින් ද වන්දි ගෙවීමට සිදුවිය. 2012ජූලියේදී දක්වන නිහඬතාව වෙනුවෙන් ගෙවීමට සිදුවන වන්දිය කොපමණද? ඒ වන්දිය සතු රුධිර ප‍්‍රමාණය කොපමණද?

 

විදර්ශිගේ විග‍්‍රහය

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 23 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 23 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහිත කාලගුණයක් ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී.   දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්... Read more

Advertisment

advertisment